නොවැම්බර් 15, 2018

tami eng youtube google twitter facebook

    සංවර්ධන සන්නිවේදනයේදී තොරතුරු තාක්ෂණයේ කාර්යයභාරය

    අගෝස්තු 31, 2018

    සංවර්ධනය (Development) යන සංකල්පය නූතන ලෝකයේ විවිධ සන්නිවේදන මාධ්‍යයන්හි වැඩිම වාර ගණනක් ප‍්‍රචාරණයවන  පදයක් බවට පත්ව ඇත.

    එය එසේ වී ඇත්තේ සංවර්ධනය සමස්ථ ලෝකයේම  අවධානයට හසු වූ ප‍්‍රබල සමාජ සාධකයක් බැවිනි.  තුන්වන ලෝකයේ රටවල් ලෙස සළකන ආසියා, අප‍්‍රිකා සහ ලතින් ඇමරිකානු රටවල සංවර්ධනය පිළිබඳ විවිධ මතවාද රැසක් ඇත.  එසේම චීනය , ජපානය වැනි සීග්‍ර ආර්ථික හා සමාජීය සංවර්ධනයක් අපේක්ෂාවෙන් ලොවපුරා දියුණු සහ දියුණු වෙමින් පවතින රටවල පාලකයින් සහ ප‍්‍රතිපත්ති සම්පාදකයින් මෙන්ම සාමාන්‍ය ජනතාවද කටයුතු කරනු බොහෝ දුරට දක්නටලැබෙන තත්ත්වයකි.  මේ නිසාම සංවර්ධනය යන සංකල්පය පිළිබඳ විවිධ මතවාද රැසක් පැන නැගී ඇත. එබැවින් මෙම විෂය පිළිබඳ ලොව පුරා විවිධාකාරයෙන් සාකච්ඡ සිදුවනු දැකිය හැකිය. කෙසේ වෙතත් මෙහිදී සංවර්ධනය යන්න  කුමක්දැයි පළමු මුව අර්ථ කථනය කරගත යුතුව තිබේ.

    ආර්ථික වර්ධනය ඇති කිරීම පමණක් සංවර්ධනය යනුවෙන් 60 දශකයේ මුල්ම අවධියේදී ආර්ථික විද්‍යාඥයෙකු වු ඩබ්ලිව්.ඩබ්ලිව් රොස්ටෝ පැවසීය. ආර්ථික වර්ධනය මඟින් රටක ඇතිවන දියුණුව සමාජයේ  සෙසු කොටස්වලට ද පැතිරී යන බව රොස්ටෝ පැවසීය. නමුත් ආදායම් සමතුලිතතාවය සමාජ සංවර්ධනය සහ සමාජ සාධාරණත්වය  ගැන මෙම ආර්ථික න්‍යායන් තුළ සඳහන් වී නොමැත. අද්‍යතනයේ සංවර්ධනය යනු ආර්ථික සංවර්ධනයම පමණක් නොවන බවට ද  මත පළත වී ඇත. 1982 මෙක්සිකෝ නගරයේදී පැවැත්වුණු යුනෙස්කෝ ජාත්‍යන්තර සමුළුවේදී සංවර්ධනය යන්නට පුළුල් අර්ථ  නිරුපණයක් ඉදිරිපත් කරන ලදි. එහිදී සංවර්ධනය යනු ආර්ථික වර්ධනය ඉක්මවා පැතිරෙන සංකීර්ණල පුලුල් හා බහුමානනීය  ක්‍රියාවලියකි. මෙම ක‍්‍රියාවලියට ජන ජීවිතයට අදාළ සියළු අංග ද ඔවුන්ගේ ශක්තිය ද ඇතුලත්ව සමස්ථ ජනතාවම එම කි‍්‍රයාවලියට දායක වී එතුතුළින් ලැබෙන වාසි
    භුක්ති විඳිය යුතුය’ යන්න අනාවරණය කරගෙන ඇත. මීට අමතරව සංවර්ධනය යන්නට පළ වී ඇති ප‍්‍රබල නිර්වචන ඇසුරෙන් ද මෙය සනාථ කර ගත හැකි ය. නොබෙල් ත්‍යාග ලාබී ශී‍්‍රමත් ආතර් ලෙවිස් සඳහන් කරන අන්දමට
    සංවර්ධනය යනු ආර්ථික වර්ධනය පමණක් නොව ඕනෑම රටක්, මානව වර්ගයක් ජාතියක්,භාෂාවක් හෝ ආගමක් දැනුම් ප‍්‍රමාණයක් නැති මට්ටමක සිට ඇති මට්ටමකට පත් කිරීමයි. ගුර්නාල් මිඩාල්
    දක්වන අන්දමට සමස්ථ සමාජයේම ඉදිරි ගමන සඳහා අත්‍යවශ්‍ය  විප්ලවීය වෙනස’ සංවර්ධනය යනුවෙන් අර්ථ කථනයක සඳහන්ය.

    බටහිර සංවර්ධන විශේෂඥයෙකු වන ඩෙනිස් ගොලේ ට අනුව සංවර්ධනය යනු පුළුල් අර්ථයක් ඇති සංකල්පයකි. එය එක් අංශයක් හෝ එක් පාර්ශවයක් පිළිබඳ වර්ධනයක් හෝ ප‍්‍රගතියක්  ගෙනහැර
    දක්වන සංකල්පයක් නොවේ. සංවර්ධනය හුදෙක් සමාජ ව්‍යූහයේ. පොදු ආකල්පවල.පොදු ආයතන වල සමාජ විපර්යාසයක් මෙන්ම ආර්ථික සංවර්ධනය ෙව්ගවත් කරලීම, සමාජ විෂමතා බැහැර කරලීම හා දුගී දුප්පතකම මුලිනුපුටා දැමීම  යනාදිය ඇතුලත් වන්නා වු සම්පූර්ණ ක‍්‍රියාවලියකි. සංව ර්ධනය යන්න ඉදුරාම  විවිධ පුද්ගලයන්ගේ මෙන්ම විවිධ සමාජ කොටස්වල  අවශ්‍යතා සහ අපේක්ෂාවන් සාක්ෂාත් කර ගැනීමට තුඩුදිය යුතු සංකල්පයකි. තව ද මීට පවතින සමාජ අස්ථාවර තත්ත්වයන්ගෙන් මිදී  යහපත් සහ ගුණවාදී සමාජ හා ආර්ථික තත්ත්වයක් කරා ළඟා වීමට හේතුකාරක වන තත්ත්වයන් අදාළ ක‍්‍රියාදාමයට අන්තර්ගතව  තිබිය යුතු ය.

    අද්‍යතන ජන සමාජය තුළ සංවර්ධනය සමඟ කථිකාවේ යෙදෙන තවත් ප‍්‍රබල මාතෘකාවක් ලෙස සන්නිවේදනය  (Communication) හඳුනාගත හැකිය. සංවර්ධනය සහ සන්නිවේදනය යනු එකම කාසියක දෙපැත්ත මෙන් සංයුක්තව පවත්නා  සංඝටකයන් දෙකකි. සන්නිවේදනයෙන් තොර සංවර්ධනයක් නොමැති තරම් ය. සන්නිවේදන  විශාරදයෙකු වු මහාචාර්යය විල්බර්  ශ‍්‍රාම් පෙන්වා දෙන්නේ සන්නිවේදනයෙන් තොරව මානව කණ්ඩායම්හි හෝ සමාජයන්හි පැවැත්මක් නොමැති බව යි. එනම් මානව  සමාජයන්හි සියළු සබඳතා ගොඩනැගෙන්නේ සන්නිවේදන ක‍්‍රියාවලියත් සමග බව පැහැදිලි වේ. මහාචාර්යය හැරල්ඞ් ලැස්වෙල් සිය  The Future Of the World කෘතියෙන් ලෝකයේ ඉදිරි ගමන සන්නිවේදනය මත රැඳී පවතින බව සඳහන් කරයි. ලෝකය මෙතෙක්  ආ ගමන් මගේ තීරණාත්මක සාධකය වූයේ ද සන්නිවේදනයයි. ඕනෑම සමාජයක පුද්ගලයන් එකිනෙකා හා සම්බන්ධ වන්නේ  සන්නිවේදනය තුළිනි.සන්නිවේදනයේ ක‍්‍රමික සංවර්ධනයත්, සමාජයේ සංවර්ධනයත් එකිනෙකින් බැඳී ඇති සාධක දෙකකි. ඒ අනුව  සන්නිවේදනයෙන් තොරව සමාජ සංවර්ධනයක් ගැන ද සිතිය නොහැක.

     

    කෙසේ වෙතත් සංවර්ධන සන්නිවේදනය (Development Communication)බිහිවනුයේ 1950 දශකයේ අගභාගයේදී ය. ගුවන්  විදුලිය,රූපවාහිනිය,පුවත්පත් ආදී ප‍්‍රධාන ජනමාධ්‍යයන් බහුතර පිරිසකගේ සමාජ, ආර්ථික සුබ සිද්ධිය සඳහා යෙදවිය යුතුය යක  සංකල්පය බටහිර සන්නිවේදකයන් තුළින් ම ජනිත විය.මේ අතුරින් 1964 විල්බර් ශ‍්‍රාම් විසින් රචනා කරන ලද ”ජන සන්නිවේදනය  සහ ජාතික සංවර්ධනය” කෘතිය දියුණුව කරා යන රටවල ජන සන්නිවේදන විශේෂඥයන් අතර මහත් බලාපොරොත්තුවක් ඇති කරන්නට විය 60 දශකයේ අගභාගයේදී නෝරා ක්වෙබ්රාල් සංවර්ධන සන්නිවේදනයට අර්ථ කථනයක් සපයමින් පවසන ලද්දේ ”  රටක් දුගී දුප්පත්කමින් බැහැර කොට එහි ආර්ථික හා සමාජ සුබ සිද්ධිය ඇති කිරීම සංවර්ධන සන්නිවේදනය බවයි ”සංවර්ධන  සන්නිවේදනය යනු මානව සන්නිවේදනය නැමැති කලාව මෙන්ම විද්‍යාවයි සංවර්ධන සන්නිවේදනය තුතුළින් පුළුල් ආර්ථික සහ  සමාජ සමානාත්මතාව ඇතිකරලිය හැකිවනවා මෙන්ම එමගින් මානව අවශ්‍යතා සියල්ල සපුරාලීමට ද හැකියාව ඇති බවයි.

    20 වන  සියවසේ මැද භාගය වනවිටත් බොහෝ දුරට තොරතුරු සන්නිවේදන තාක්ෂණයේ (Information Communication Technology)  වැඩි ප‍්‍රතිලාබ හිමි කර ගැනීමට සමත් වූයේ සංවර්ධිත රටවලටයි. එහෙත් එම තත්ත්වය කෙටි කලකින්ම වෙනස් වී 20වන සියවස  අවසාන භාගය වනවිට සංවර්ධනය වෙමින් පවත්නා රටවලට ද මෙම තාක්ෂණය සීග්‍රයෙන් පැතිරෙන්නට විය. සංවර්ධනයන් අත්පත්  කර ගැනීමේදී තොරතුරු සන්නිවේදන තාක්ෂණය අතිශයම බලපවත්වනු නොඅනුමාන ය. ඇමරිකාව, ජපානය වැනි සංවර්ධිත  රටවල තොරතුරු ගලා යාමේ වේගය දෙස බලන විට එය පැහැදිලි වේ. නුතන තොරතුරු සන්නිවේදන තාක්ෂණයේ අග‍්‍ර ඵලය ලෙස  අන්තර්ජාලය හැඳින්විය හැකි ය. අන්තර්ජාලය ලෝකයට එකතු වීම ලෝකයේ විප්ලවීය වෙනස්කම් අතරට එකතු වු සුවිශේෂී  සිදුවීමකි. 1944 සිට ශී‍්‍ර ලංකාවේ ද අන්තර්ජාල සේවා පවත්වාගෙන යනු ලබයි. ඉතා කෙටි කාලයක් තුළ සුළු ශක්තියක් වැය කරමින්  තොරතුරුවලට ප‍්‍රවිෂ්ට වීමේ කාර්යය පහසු කරන නිසා සංවර්ධන සන්නිවේදනයෙහිලා ප‍්‍රමුඛ කාර්යයක් අන්තර්ජාලයෙන් සිදු වේ. එමෙන්ම ග‍්‍රාමීය සංවර්ධනය ඇතුළුව ප‍්‍රාදේශීය සංවර්ධන කටයුතු වලදි ඈත දුර බැහැර ප‍්‍රදේශවල සංවර්ධන අවශ්‍යතා කටයුතු  කාර්යක්ෂම කිරීමට තොරතුරු තාක්ෂණය බෙහෙවින් ඉවහල් වනු ඇත. තව ද ආර්ථික සංවර්ධනය සඳහා අවශ්‍ය කරන විදේශ විනිමය  උපයා ගැනීම සඳහා නුතන ලෝකයේ බොහෝ රටවල් විවිධ උපක‍්‍රම භාවිතා කරයි. මේ සඳහා තොරතුරු සන්නිවේදන තාක්ෂණයේ  දායකත්වය ඉතා පුළුල් ලෙස ලබා ගනී.රටක භෞතික සංවර්ධන සාධක අතර තවත් වැදගත් තැනක් හිමි කරගන්නා සාධකයක්  වශයෙන් සෞක්‍ය සාධකය පෙන්වා දිය හැකිය. සංවර්ධනය නොවූ සහ සංවර්ධනය වෙමින් පවත්නා රටවල සෞක්‍ය සංවර්ධනය  පිළිබඳ පවතින ගැටළු සහ සාමාන්‍ය ජනතාවට සෞක්‍ය අංශ පිළිබඳ දක්වන ඌණතාවන් මග හරවා ගැනීමට සන්නිවේදන මෙවලම්  සහ අතිනවීන අන්තර්ජාල තාක්ෂණය උපයෝගී කරගනී. රටක සංවර්ධනයේදී පාරිසරික සංවර්ධනය ද අතිශය වැදගත් සාධකයකි. 

    තිරසාර සංවර්ධනයේදී පාරිසරික ගැටළු නිරාකරණය කර ගැනීමෙහිලා අන්තර්ජාලය ප‍්‍රමුඛ සන්නිවේදන තාක්ෂණය භාවිතා කරයි.  සංවර්ධනය සතු තවත් ප‍්‍රබල පුරුකක් ලෙසින් සංස්කෘතිය සඳහන් කළ හැකි ය. ඒ අනුව රටක සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමේදී ඒ  ඒ ඒ රටවලට ආවේණික සංස්කෘතික අංග අමතක කොට ඒවා සංවර්ධනය නොකොට යහපත් සං වර්ධනයක් බලාපොරොත්තු විය  නොහැකි බවයි.පාරම්පරික ඥානය අවධි කිරීමට අවැසි දැනුම් සම්භාරයක් සහිත තොරතුරු පද්ධතියක් අඩංගු සන්නිවේදන ජාල  නිපැයීම සහ ඒවා ජනතාව අතර ව්‍යාප්ත කිරීම සන්නිවේදනයට සිදු කළ හැකි ය. එය සාම්ප‍්‍රදායික තොරතුරු සන්නිවේදන තාක්ෂණය  භාවිතා කරන ගුවන්විදුලිය, රූපවාහිනිය වැන් මාධ්‍ය මගින් මෙන්ම අන්තර්ජාලය වැනි අති නවීන මාධ්‍යයන් මගින් ද සිදු කළ හැකි ය.

    එනම් තිරසර සංවර්ධනයේදී 21 වන සියවසේ දියුණු වෙමින් පවත්නා රටවල මානව සම්පත් තහවුරු කිරීම යනු ප‍්‍රජාවගේ  සාර්ථකත්වයේ ප‍්‍රවේශය වෙයි. මෙහි අදහස නම් තොරතුරු හා සන්නිවේදන
     ක්ෂේත්‍රයෙහි සීග්‍ර ව්‍යාප්තියයි. නුතන මිනිසා ජීවත්  වනුයේ තොරතුරු සමාජයකයි. මිනිස් මනස හා බැඳුනු අන්තර් කි‍්‍රයාකාරීත්වය සිදු කෙරෙන්නේ උක්ත සන්නිවේදනය සහ තාක්ෂණය
    මුල් කොට ගෙනයි. එබැවින් සංවර්ධන සන්නිවේදනය යනු මිනිසා තොරතුරු තාක්ෂණය සමග ඉදිරියට ගමන් කිරීමේ  කි‍්‍රියාදාමයයි,  තොරතුරු තාක්ෂණය සහ දැනුම විසින් සමාජය සක‍්‍රීය කරවනු ලබයි. එය වර්තමාන මිනිසාගේ අනාගතය වෙයි. මානව සංහතිය  ඉදිරියට ගමන් කරවීම හෙවත් සංවර්ධනය කිරීම කෙරෙහි තොරතුරු සන්නිවේදනය සහ ඊට සම්බන්ධ තාක්ෂණය කෙතරම් වැදගත්  වේද? සන්නිවේදනය එහි කේන්ද්‍රීය සංවාහකයා බවට පත්වෙයි. සංවර්ධන සන්නිවේදන කි‍්‍රයාවලියෙහිලා සන්නිවේදන තාක්ෂණයේ  මැදිහත් වීම සහ පෙනී සිටිම ප‍්‍රබල ලක්ෂණයකි. මීට දශක ගණනාවකට ඉහතදි මහාචාර්යය විල්බර් ශ‍්‍රාම් විසින් ඉදිරිපත් තර ඇති  අදහස සනාථ වී ඇති බැව් අපට පැහැදිලි වේ. එනම් සන්නිවේදනයෙහි කාර්යයභාරය වන්නේ සංවර්ධනය සඳහා වන සමාජ වෙනස්  වීම වේගවත් කොට එය පහසු කිරීම යන්නයි. අවසාන වශයෙන් සංවර්ධනය සහ තොරතුරු තාක්ෂණය සම්බන්ධව සසළකා බලන  විට තොරතුරු තාක්ෂණය යනු සංවර්ධනය කෙරෙහි බලපාන අතිශය ප‍්‍රබල සාධකයක් බවත් සංවර්ධන සන්නිවේදනයේදී ප‍්‍රබල  භූමිකාවක් ඉටු කරනු ලබන්නක් බව ද පැහැදිලි වෙයි.

     

    කේ. කේ.නිපුණි නිශාදිනි
    B.A. (Hons). Mass Media
    University of Colombo

     

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu