මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රි ලංකා ආර්ථිකය 2018 වර්ෂයේ පළමු කාර්තුවේ දී සියයට 3.2 කින් වර්ධනය වේ

    ජූනි 19, 2018

    ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2018 පළමු කාර්තුව (ජනවාරි, පෙබරවාරි, මාර්තු) සඳහා දළ දේශීය නිෂ්පාදිතය සහ අනෙකුත් සාර්ව ආර්ථික දර්ශක නිෂ්පාදන ප්‍රවේශය අනුව පවතින මිල ගණන් යටතේ
    සහ ස්ථාවර මිල ගණන් (2010) යටතේ ඇස්තමේන්තු කර නිකුත් කොට ඇත.


    ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව අනාවරණය කරන පරිදි 2018 පළමු කාර්තුව සදහා ඇස්තමේන්තු කර ඇති ආර්ථික වර්ධන වේගය සියයට 3.2 කි. මෙම වසරේ පළමු කාර්තුව සදහා ස්ථාවර මිල (2010) ගණන් යටතේ ඇස්තමේන්තු කරනු ලැබු ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය රුපියල් මිලියන 2,223,856 කි. තව ද පසුගිය වසරේ පළමු කාර්තුවේ දී මෙම අගය රුපියල් මිලියන 2,154,971 ක් විය.

    ආර්ථිකයේ ප්‍රධාන සංරචක වන කෘෂිකර්මය, කර්මාන්ත, සේවා සහ භාණ්ඩ මත අය කෙරෙන සහනාධාර අඩුකල බදු 2018 වර්ෂයේ පළමු කාර්තුවේ පවත්නා මිල ගණන් යටතේ දළ දේශීය නිෂ්පාදිතයට දක්වනු ලබන දායකත්වය පිළිවෙලින් සියයට 7.0 ක්, සියයට 30.4 ක්, සියයට 53.6 ක් සහ සියයට 8.9 ක් ලෙස වාර්තා වේ.

    අහිතකර කාලගුණ තත්ත්වයේ බලපෑම නිසා පසුගිය කාර්තු ගණනාවක ඝෘණ වර්ධන වේගයන් වාර්තා කළ කෘෂිකාර්මික ආර්ථික කටයුතු 2017 වර්ෂයේ සිව්වන කාර්තුවේ සිට ධන වර්ධන වේගයන් වාර්තා කරමින් නැවත යථා
    තත්වයට පත් වී තිබේ. ඒ අනුව කෘෂිකාර්මික ආර්ථික කටයුතු පෙර වර්ෂයේ පළමු කාර්තුවේ වාර්තා වු සියයට 4.4ක ඝෘණ වර්ධනයට සාපේක්ෂව 2018 වර්ෂයේ පළමු කාර්තුවේ දී සියයට 4.8 ක ධන වර්ධන වේගයක් වාර්තා කර තිබීම කැපී පෙනේ. එසේ ම සේවා අංශයේ ආර්ථික කටයුතු තවදුරටත් සියයට 4.4 ක ධන වර්ධන වේගයක් වාර්තා කර ඇත. තව ද කර්මාන්ත ආර්ථික කටයුතු 2018 වර්ෂයේ පළමු කාර්තුවේ දී සියයට 1.0 ක වර්ධනයක් වාර්තා කර ඇත.

     

    ප්‍රධාන කෘෂිකාර්මික ආර්ථික කටයුතු අතුරින් “වී වගා කිරීම” පසුගිය වර්ෂයේ පළමු කාර්තුවේ දී වාර්තා කර තිබු සියයට 49.6 ක පසුබෑමට සාපේක්ෂව 2018 වර්ෂයේ පළමු කාර්තුවේ දී සියයට 56.6 ක ඉහළ ධන වර්ධන වේගයක් වාර්තා කර ඇත. එසේ ම “වී හැර අනෙකුත් ධාන්‍ය වගා කිරීම”, “එළවළු වගා කිරීම”, “තේ වගා කිරීම”, “පළතුරු වගා කිරීම”, “සත්ව නිෂ්පාදන”, “වනවගා සහ දැව” සහ “මිරිදිය ධීවර කටයුතු” යන අංශ පිළිවෙලින් සියයට 40.2ක්, සියයට 22.3 ක්, සියයට 10.6 ක්, සියයට 6.0ක්, සියයට 5.4ක්, සියයට 3.2 ක් සහ සියයට 37.4ක් යනාදී වශයෙන් සැලකිය යුතු ධන වර්ධන වේගයන් වාර්තා කර ඇත. කෙසේ වෙතත් පොල් වගා කෙරෙන ප්‍රදේශවල දිගින් දිගටම පැවති වියළි කාලගුණික තත්ත්වය නිසා “පොල් වගාව ඇතුළත් තෙල් සහිත බෝග වගාව” 2018 වර්ෂයේ පළමු කාර්තුවේ දී සියයට 13.5ක පසුබෑමක් වාර්තා කර ඇත. එසේ ම “රබර් වගා කිරීම” සහ “කරදිය ධීවර කටයුතු” පිළිවෙලින් සියයට 13.9 ක් සහ සියයට 2.0 ක් වශයෙන් පසුබැසීම් වාර්තා කර ඇත.

    කර්මාන්ත ආර්ථික කටයුතු සමස්තයක් වශයෙන් 2018 වර්ෂයේ පළමු කාර්තුවේ දී සියයට 1.0 වර්ධනයක් වාර්තා කර ඇත. එහිදී “නිමැවුම් කර්මාන්ත කටයුතු” වාර්තා කර ඇති සියයට 2.8 ක වර්ධනය සදහා “ආහාර පාන සහ දුම්කොළ නිෂ්පාදන”, “රෙදිපිළි, නිමි ඇදුම්, සම්භාණ්ඩ සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන”, “දැව හා දැවමය නිෂ්පාදන”, “රසායනික ද්‍රව්‍ය නිෂ්පාදන”,“රබර් හා ප්ලාස්ටික් භාණ්ඩ නිෂ්පාදන” සහ“මුලික ලෝහ සහ ව්‍යුවහාත්මක ලෝහ නිෂ්පාදන” පිළිවෙලින් සියයට 5.2ක්, සියයට 4.7ක්, සියයට 11.9ක්, සියයට 6.1ක්, සියයට 7.9ක්, සියයට 9.1ක් වශයෙන් ධන වර්ධන වේගයන් වාර්තා කරමින් දායක වී ඇත. තව ද “විදුලිය, ගෑස්,වාෂ්ප සහ වායු සැකසුම් සැපයුම ” පෙර වර්ෂයේ පළමු කාර්තුවේ දී වාර්තා කළ සියයට 0.9 ක පසුබෑමට සාපේක්ෂව සියයට 10.2 ක ඉහළ වර්ධනයක් වාර්තා කර ඇති අතර “ඉදිකිරීම් කර්මාන්තය” මෙම කාර්තුවේ දී සියයට 4.9ක ඝෘණ වර්ධනයක් වාර්තා කර ඇත.

    දළ දේශීය නිෂ්පාදිතයට සියයට 53.6 ක් වු ඉහළම දායකත්වය ලබා දෙන සේවා ආර්ථික කටයුතු පෙර වර්ෂයේ පළමු කාර්තුවට සාපේක්ෂව 2018 වර්ෂයේ පළමු කාර්තුවේ දී සියයට 4.4 ක ධන වර්ධනයක් වාර්තා කර ඇත. එහිදී “තොග හා සිල්ලර වෙළඳාම් කටයුතු”, “ආහාර හා නවාතැන් පහසුකම් සැපයීම”, “විදුලි සංදේශ සේවා”, “මුල්‍ය හා මුල්‍ය අතරමැදි සේවා”, “දේපොළ වෙළදාම් හා නිවාස අයිතිය”, “වෘත්තීය සේවා” සහ “අනෙකුත් පෙද්ගලික සේවා” පිළිවෙලින් සියයට 5.4ක් , සියයට 7.6ක් , සියයට 11.1 ක්, සියයට 12.2ක්, සියයට 4.9 ක්, සියයට 3.9ක් සහ සියයට 5.0 ක් වශයෙන් සැලකිය යුතු වර්ධන වේගයන් වාර්තා කර ඇත. “රාජ්‍ය පරිපාලනය හා ආරක්ෂාව” සහ “අධ්‍යාපන සේවා” පිළිවෙලින් සියයට 0.4 ක් සහ සියයට 1.7 ක් වශයෙන් ඝෘණ වර්ධන වේගයන් වාර්තා කර ඇත.

    ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව කාර්තුගත ජාතික ගිණුම් ඇස්තමේන්තු කිරීමේ දී දත්ත සපයන්නන් විසින් ලබාදෙන යාවකාලික දත්ත පදනම් කර ගනී. තහවුරු කරන ලද දත්ත ලැබීමෙන් පසු 2017 වර්ෂයේ තෙවන සහ සිව්වන කාර්තුවල සහ 2017 වාර්ෂික ආර්ථික වර්ධන වේගයන් පිළිවෙලින් සියයට 3.2ක්, සියයට 3.5ක් සහ සියයට 3.3ක් වශයෙන්යාවත්කාලීන කොට ඇත.

    2018 පළමු කාර්තුවට අදාල ජාතික ගිණුම් ඇස්තමේන්තු පිළිබඳව විස්තරාත්මක තොරතුරු ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ www.statistics.gov.lk වෙබ් අඩවියේ ප්‍රකාශයට පත් කොට ඇති බව දෙපාර්තමේන්තුව පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya