ඔබ දන්නවාද පිළිකාවලින් 1/3ක් ම කලින් හඳුනාගැනීමෙන් සම්පූර්ණයෙන්ම සුව කළ හැකි බව. ලංකාවේ කාන්තාවන් අතර බහුලවම වාර්තාවන පිළිකාවන් වන්නේ පියයුරු, ගැබ්ගෙල වගේ ම ඩිම්බ කෝෂ පිළිකාවන්. පිරිමි පක්ෂයේ බහුලවම වාර්තා වන්නේ මුඛ, පෙනහළු වගේ ම ගලනාලයේ පිළිකාවන්. ශ්‍රී ලංකාවේ වසරකට අලුතින් පියයුරු පිළිකා රෝගීන් 2500ක් පමණ හඳුනාගන්නාවා. ඒ වගේ ම බොහෝ අය පියයුරු පිළිකාවක් තිබෙනවා කියා සැක කරන්නේ පියයුරේ ඇති වන ගැටිත්තක් නිසයි. නමුත් සෑම ගැටිත්තක්ම පිළිකාවක් නොවන අවස්ථාවන් ද තිබෙනවා. පිළිකාවක් වීමේ අවදානමක් තිබෙන්නේ එවැනි ගැටිතිවලින් සියයට 20ක් පමණයි.
කාන්තාවන්ට පමණක් නොව පිරිමි පාර්ශවයට ද පියයුරු පිළිකා වැළඳීමේ හැකියාව ඇති නමුත් එය කාන්තාවන් හා ගත් කළ 1%ක පමණ ප්‍රතිශතයකි. පියයුරේ කිරි නිපදවන ග්‍රන්ථ හා නාලවල සෛල පාලනයකින් තොරව අසාමාන්‍ය ලෙස බෙදීම නිසා ඇතිවන තත්ත්වයක් හේතුවෙන් පියයුරු පිළිකාවන් ඇති වනවා.
පියයුරු පිළිකාවලට හේතු විය හැකි දෙයක් වන්නේ ඊස්ට්‍රජන් හෝමෝනයයි. ඒ නිසා අඩු වයසින් මල්වර වූ අයට, හුඟක් ප්‍රමාද වී ආර්ථවහරණය සිදු වූ අයට, වයසට ගොස් දරුවන් බිහි කළ හෝ කිසිදාක දරුවන් බිහි නොකළ අයට මෙන්ම කෘතිම හෝමෝන භාවිත කරන අයට පියයුරු පිළිකා වැලඳීමේ වැඩි ප්‍රවණතාවක් තිබෙනවා. ඒ වගේම මේදය මගින් ඊස්ට්‍රජන් හෝමෝනය නිෂ්පාදනය කරන නිසා තරබාරු අයට එම අවදානම වැඩියි. ඊට අමතරව තවත් බලපෑ හැකි දෙයක් වන්නේ ශරීරයේ ඉන්සියුලීන් ප්‍රමාණය අධික වීමයි. අනික් අතට මෙලටෝනින් නමැති හෝමෝනය අඩු වීමත් පියයුරු පිළිකා ඇති වීමට හේතු විය හැකියි. මෙලටෝනින් අඩුවෙන් නිෂ්පාදනය වන්නේ අඩු නින්දක් ලබන අයගේ බව මතක තබාගන්න.
මෙම හේතුකාරකවලින් තොරවූ ඔබ අවදානම් සාධක ඇති අයට පමණක් පියයුරු පිළිකා වැළඳීමේ හැකියාව ඇතැයි සිතුවහොත් එය වැරදයි. අවාදනම් සාධක නැති අයට ද පියයුරු පිළිකා වැළඳීමේ හැකියාවක් තිබෙනවා. ඒ වගේ ම අවදානම් සාධක සහිත සමහර කාන්තාවන් ට ඔවුන්ගේ ජීවිත කාලය තුළදී පියයුරු පිළාකවන් ඇති නොවීමට ද ඉඩ තිබෙනවා.
පියයුරුවල අලුතෙන් ඇති වූ අසමමිතික බවක්, යම් කොටසක් ඇතුළට නෙරා යාමක්, සමෙහි ඇතිවන යම් වෙනස්කමක් ( දදයක්, ඝනවීමක්, පැහැයේ වෙනසක්, ඉදිමීමක්, දොඩම් ලෙල්ලක වැනි මතුපිට ස්වභාවයක්), තන පුඩු ඇතුළට ගිලී යාමක් හෝ වෙනසක්, තනපුඩුවෙන් කිරි නොවන ශ්‍රාවයක් පිටවීම, පියයුරුවල අසාමාන්‍ය වේදනාවන් පියයුරු පිළිකාවේ බහුලව හමුවන රෝග ලක්ෂණයන් බැවින් පියයුරු පිළිකාව කලින් හඳුනාගැනීම සඳහා පියයුරු පරීක්ෂා කළ යුතුය. අවුරුදු 20ට වැඩි සෑම කාන්තාවක් ම මසකට වරක් ස්වයං පියයුරු පරීක්ෂාව කළ යුතුය. ඒ සඳහා මාසික ඔසප්වීමබසිදුවන කාන්තාවන් ඔසප්වීම අවසානයෙන් සතියකට පමණ පසුව දිනයක් යොදා ගත වන අතර ම ඔසප්වීම නතර වී ඇති කාන්තාවන් සෑම මසකම නිශ්චිත දිනයක් පියයුරු පරීක්ෂාව සඳහා යොදාගත යුතු වනවා.
පෙර සඳහන් කළ රෝග ලක්ෂණ එකක් හෝ ඇත්නම් වහාම වෛද්‍යවරයෙක් හමුවී සායනික පියයුරු පරීක්ෂාව කරගත යුතුය. සායනිකව සිදුකරනු ලබන පරීක්ෂාව පුහුණුව ලත් සෞඛ්‍ය නිලධාරියෙක් හෝ නිලධාරිනියක් විසින් සිදු කරන අතර මෙම සේවාව ප්‍රදේශයේ පැවැත්වෙන සුවනාරි සායන, රජයේ හෝ පෞද්ගලික රෝහල්වල පැවැත්වෙන ශල්‍ය වෛද්‍ය සායන, නාරිවේද සායන, සුවදිවි සායන හෝ පියයුරු සායනවලින් ලබාගත හැකියි.
පියයුරු පිළිකා කලින් හඳුනාගනෙ සාර්ථක ප්‍රතිකාර මගින් සහ පියයුරු නැවත සකස් කිරීමෙන් ඔබගේ සුන්දරත්වය සහ ජීවිතය රැකගත හැකියි. වෛද්‍ය ක්ෂේත්‍රය කොතෙක් දියුණු වුණත් ලෙඩ රෝග සම්පූර්ණයෙන්ම නැති කිරීමටවත් හෝ මරණය නතර කිරීමට බැහැ. නමුත් පියයුරු පිළිකා ඇතුළු රෝග රැසක් කලින් හඳුනාගෙන ප්‍රතිකාර කිරීම තුළින් රෝගය වළක්වාගත හැකියි!
- දිල්හාරි බණ්ඩාර -