නොවැම්බර් 15, 2018

tami eng youtube google twitter facebook

    කාලය සහ අවකාශය (Time and Space)

    නොවැම්බර් 07, 2017
    අහස් කුසදෙස බලන විට ළමා කාලයේ පටන් මා මනසට නැගෙන ප්‍රශ්න කිහිපයක් තිබේ. මේ ඉහළ අහසේ කෙලවර කොතැනද? එය අනන්තයද? අනන්තයට එහා පවතින යමක් වේද? අහසත්, පොළොවත් සමඟ ලෝකය හෝ විශ්වය ඇතිවූයේ කවදාද? Childcare.articleඑසේ විශ්වය “ඇති වුයේ නම්” විශ්වය ඇති වීමට කලින් “විශ්වයයේ” තිබුනේ කවරක්ද? විශ්වයයේ අවසානය කවදා සිදුවේද? විශ්වයේ අවසානයක් ඇත්නම් ඒ අවසානයට පසුව ඇත්තේ කුමක් විය හැකිද? ආදී වශයෙනි.
    ළමාවියේදී පමණක් නොව ඉහත ප්‍රශ්ණ අදටත් මා මනසට නැගෙනවිට පිළිතුරක් සොයා ගැනිමට මම අපොහොසත් වෙමි. මා පමණක් නොව බොහෝ මනුෂ්‍යයින්ට ද ඉහත ප්‍රශ්නවලට පිළිතුරු නැත. ඉහත ප්‍රශ්න බොහොමයක් දර්ශණය හා මුසු වු ප්‍රශ්න ලෙසද සැලකේ. දාර්ශනික ප්‍රශ්න නැගෙන්නේ දාර්ශනිකයින් ලෙසින් හැඳින්වෙන අය තුළ පමණක් නොවේ. සාමාන්‍ය මනුෂ්‍ය මනසටද දාර්ශනික ප්‍රශ්න යම්තාක් දුරකට නැගේ. දාර්ශනික ප්‍රශ්න විමසීම සඳහා සාමාන්‍ය මනුෂ්‍ය මනසද තෝතැන්නකි. සාමාන්‍ය මිනිසුන් දාර්ශනිකයින් ලෙස මනස හසුරුවන්නේ කිනම් අවස්ථාවන් වලදීද? 
     
    ඉහළ අහසේ කෙලවර කොතැන දැයි හා ඒ කෙලවරට එහායින් ඇත්තේ කවරක්දැයි අසන ප්‍රශ්නයෙහි පදනම වන්නේ අවකාශය (Space) පිළිබඳව මනුෂ්‍යයාගේ අත්දැකීම් යැයි මම විශ්වාස කරමි. එසේම ලෝකයෙහි ආරම්භය හා අවසානය පිළිබඳව නැගෙන සිතිවිලිවලට පදනම් වන්නේ කාලය (Time) පිළිබඳව මනුෂ්‍යයින්ගේ අත්දැකීම් විය හැකිය. මනුෂ්‍යයන්ගේ අත්දැකීම වන්නේ අවකාශය සැබෑවට පවතින්නක් (existent) හා යථාර්ථයක් (real) බවයි. අපට දැනෙන, අප ඔබ මොබ සැරිසරන අවකාශය අනන්තය දක්වා ඇත්තටම විහිදෙන්නේද? අපට දැනෙන පරිදි කාලය ගලායන්නේද? 
     
    කාලය හා අවකාශය සත්‍ය ලෙසින්ම පවතින යථාර්ථයන් බවත්, වස්තූන් (Objects) අවකාශයෙහි ගිලි ඇති බවත්, සිද්ධීන් (Events) කාලයෙහි සිදුවන බවත් අයිසැක් නිවුටන් උපකල්පනය කළේය. වෙනත් ආකාරයකින් ප්‍රකාශ කරන්නේ නම් වස්තූන් 11606අවකාශයෙන් වෙන්වන අතර  සිද්ධීන් කාලයෙන් වෙන්වේ. යථාර්ථයක් වු අවකාශය, දිග, පළල හා උස යන ත්‍රිමානයන්ගෙන් සමන්විත බවත්, කාලය යන්න අවකාශයෙන් ස්වායත්ත වුවක් බවත්, කාලය රේඛීයව ඉදිරියට ගලා යන බවත් අයිසැක් නිවුටන් විශ්වාස කළේය. ලයිබ්නිස්ට (Leibniz)අනුව කාලය හා අවකාශය යනු පිළිවෙලින් සිද්ධීන් අතර හා වස්තූන් අතර සම්බන්ධය දැක්වීම සඳහා අප විසින් නිර්මාණය කරන ලද මනසේ කල්පිතයන් මිස යථාර්ථයන් නොවේ. ඔහුට අනුව සිද්ධීන් නැති අවස්ථාවකදී කාලය නොපවතී.  එමෙන්ම වස්තූන් නැති තැන අවකාශයක්ද නැත. 
     
    නිව්ටන් විසින් කරන ලද උපකල්පනයන් සාමාන්‍ය මනුෂ්‍යාගේ සංවේදනයන්, සංජානනයන් හා සමපාත වේ. සාමාන්‍ය මනුෂ්‍යයාට වැටහෙන පරිදි අවකාශය දිග, පළල හා උස යන ත්‍රිමානයන්ගෙන් යුක්තය. අවකාශයෙහි දිග, පළල, උස අපට අත්දැකීමෙන් හෝ මනසින් අවබෝධ කරගත හැකිය. එම මානයන්වලින් පෙන්වන දිශාවන්ට අපට චලනය විය හැකිය. අපට දැනෙන පරිදි අවකාශයට පරිබාහිරව කාලය පවතී. අපට දැනෙන පරිදි දිනක් අවෑමෙන් තව දිනක් උදා වේ. ඒ කාලය ගත වන බැවිණි. අපට කාලය ගලා යාමක් පිළිබඳ අදහසක් ඇත. අතීතයක්, වර්තමානයක්, අනාගතයක් ගැන අපි සංවේදී වෙමු. අපට දැනෙන පරිදි කාලය හා අවකාශය පවතින්නක් හෙවත් යථාර්ථයකි. අපට එසේ දැනුනත් අවකාශය සහ කාලය ඇත්තටම පවතින යථාර්ථයන්ද?
     
    නූතන භෞතික විද්‍යාවට අනුව ලෝක යථාර්ථයන් තේරුම් ගැනීම සඳහා නිව්ටන්ගේ ඉහත කී අදහසට වඩා විශ්වාසනීය වෙනත් අදහස් තිබේ. භෞතික විද්‍යාව පෙන්නුම් කරන්නේ කාලය යනු දිග, පළල, උස යන මානයන්ට අමතරව පවතින වස්තූන්ගේ සිවුවැනි මානය බවයි. එය සෑම වස්තුවකටම පොදු මානයක් බව අයිස්ටයින් විසින් පෙන්වා දෙන ලදී. මේ අදහසට අනුව ලෝකය ත්‍රිමාණ නොව චතුර්මාන බව සැලකීම වඩා විශ්වාසනීයය. මෙම අදහසට අනුව ලෝකය අවකාශ - කාලයෙන් (Space-Time) සමන්විතය. චතුර්මාන ආකෘතියට අනුව කාලය ගලා යාමක්ද නැත. අයිස්ටයින්ට අනුව අතීතය, වර්තමානය සහ අනාගතය ලෙස බෙදන සීමා ඉර මායාවකි. ලෝක යථාර්ථය වඩා හොඳින් තේරුම් ගැනීමට නිව්ටන්ගේ ඉහත ආකෘතියට වඩා චතුර්මාන ආකෘතිය හා අවකාශ-කාලය යන සංකල්ප වඩා විශ්වාසනීය බව නූතන භෞතික විද්‍යාව ඔප්පු කරයි.  එනමුත් මනුෂ්‍යයාගේ පසිඳුරන් අවකාශ-කාලයට සංවේදී නැත. වෙනත් ආකාරයකින් කියනවානම් මනුෂ්‍යයාට ලෝකය වඩා විශ්වාසනීය අවකාශ-කාලය ලෙසින් ග්‍රහණය කරගැනීමට ඔහුගේ/ ඇයගේ මනස හා පසිඳුරන් සකස්වී නැත. 
     
    unnamedඅවකාශ කාලයට සංවේදී සත්වයෙකුට, දෙවියෙකුට, බඹකුට මේ ලෝකය සහ විශ්වය කෙසේ නම් සංවේදනය වේද? එවැන්නකු විසින් කාලයෙහි ඉදිරියට හෝ පසුපසට යෑමට ඉඩකඩ තිබේ. කාලයෙහි ඉදිරියට පසුපසට යන විට එවැන්නෙකුගේ දිග, පළල, උස යන මානයන් වෙනස් වී යන බව අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදය අනුව ගම්‍ය වේ. ආලෝකයේ ප්‍රවේගයෙන් ගමන් කළ හැකි නම් එවැන්නෙකුගේ දිග, පළල, උස යන මානයන් සියල්ලම නැති වී යන බවත්, කාලය ගැලීම නතර වන බවත් අයින්ස්ටයින් විසින් සෛද්ධාන්තිකව ඔප්පු කර ඇති බව මාගේ කල්පනාවයි. මනුෂ්‍යයාගේ පසිඳුරන් අනුව මේ ආකාරයට අපට පෙනෙන්නට තිබෙන ලෝකය, වඩාත් යථාර්ථයක් වූ අවකාශ කාලයට සංවේදී අයකුට වෙනත් ආකාරයකින් නිරීක්ෂණය විය හැකි නිසා, අපට පෙනෙන්නට ඇති ලෝකය යථාර්ථයක්දැයි අප විසින් විමසිය යුතුව තිබේ. මනුෂ්‍ය සංවේදනයන්ගේ සීමා සහිත බව නිසා අවකාශ - කාලය යන්න වෙන වෙනම කාලය හා අවකාශය යන මායාවන්  (Illusions) ලෙස සංවේදනය කර, ඊට ගොඳුරු වී මනුෂ්‍යා විසඳාගත නොහැකි ගැටළු රාශියකට මැදිවී තිබේයැයි අවකාශ කාලයට සංවේදී  එවන් දෙවියෙකුට, බඹකුට වැටහෙනු ඇත්නම් ඒ පිළිබඳව අප පුදුම විය යුතු නොවේ. මනුෂ්‍යයාගේ අත්දැකීම්වල සීමාවන් පිළිබඳව දෙවියන්, බඹුන් කම්පාවනු ඇත. 
     
    නිව්ටන් විසින් කාලය හා අවකාශය පරමාර්ථයන් ලෙස සලකා දියුණු කරනු ලද විද්‍යාවක් තුලින් මනුෂ්‍යාට සඳට යාමට පවා පුලුවන්වුනු බව අප විසින් වටහා ගත යුතුය. එමෙන්ම ඉහත කී පරිදි කාලය හා අවකාශය යනු මනුෂ්‍ය මනසින් නිර්මාණය වු 220px Redshift blueshift.svgසම්මුතීන් ලෙස සැලකීම පසිඳුරන් විසින් පොදු ජනයා වෙත මවන ලෝකය පිලිබඳ යථාර්ථය හා එකඟ නොවන බවද අප විසින් වටහා ගත යුතුය. 
     
    ඉහත පළමු ඡේදයේදී නගන ලද ප්‍රශ්නවලට පිළිතුරු සොයාගත නොහැකිබවක් අපට පෙනෙන්නේ ඒවා වැරදි ප්‍රශ්ණ නිසාද? වෙනත් ආකාරයකින් පවසන්නේ නම් එම ප්‍රශ්ණ වලට පිළිතුර සොයාගත නොහැක්කේ ඒවා කාලය සහ අවකාශය යන මායාවන්වලට රැවටුණු අපේ මනස මගින් අසනු ලබන වැරදි ප්‍රශ්න නිසාද? කාලය සහ අවකාශය පරමාර්ථ සත්‍යයන් නැතහොත් යථාර්ථයන් නොවන්නේද? එසේනම් යථාර්ථය හෙවත් සැබෑ ලෙස පැවතීම යනු කුමක්ද? මීළඟ ලිපියෙහිදී යථාර්ථය යනු කුමක්දැයි අපි සාමාන්‍ය මනුෂ්‍යයාට වැටහෙන පරිදි දාර්ශනිකව සාකච්ඡා කර බලමු.
     
     
    Dr. Ruwan Ferdinando 
    MBBS, MSc, MD, MAAA, MA (Sociology), Adv. Dip. Psychology, Adv. Dip. Psychological Counselling and Psychotherapy 
    Consultant Community Physician 

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu