මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    “යළි පිබිදෙන යාල”

    සැප්තැම්බර් 05, 2016
    2016 වසරේ ජනවාරි මාසයේ සිට අගෝස්තු මාසය දක්වා පමණක් රුහුණ යාල ජාතික උද්‍යානයෙන් පමණක් රුපියල් මිලියන 600 ආදායමක් රටට ලැබී තිබෙන බවත් වසරකට සාමාන්‍යයෙන් දෙස් විදෙස් සංචාරකයින් ලක්ෂ 5 කට ආසන්න සංඛාවක් යාල ජාතික උද්‍යානය නැරඹීමට පැමිණෙන බවත් තිරසර සංවර්ධන හා වනජීවී නියෝජ්‍ය අමාත්‍ය සුමේධා ජී. ජයසේන මහත්මිය පවසයි.
    නියෝජ්‍ය අමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළේ “යළි පිබිදෙන යාල” සංවර්ධන ව්‍යාපෘතිය යටතේ පසුගියදා සංවර්ධන ව්‍යාපෘති රැසක වැඩ ආරම්භ කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිණි.
     
    තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාගේ මග පෙන්වීම යටතේ යාල ජාතික උද්‍යානයේ වනජීවී සංරක්ෂණය සහ පාරිසරික සංචාරක පහසුකම් වැඩිදියුණු කිරීමේ අරමුණෙන් මෙම සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කරන ලද්දේ තිරසර සංවර්ධන හා වනජීවී නියෝජ්‍ය අමාත්‍ය සුමේධා ජී. ජයසේන මහත්මියගේ සහ නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙනි.
    yala 3 
    යාල ජාතික උද්‍යානයේ පලටුපාන ප්‍රධාන දොරටුව අසල ප්‍රවේශ පත්‍ර කවුන්ටරය ඇතුළු නව පරිපාලන ගොඩනැගිල්ල ඉදිකිරීම, වනජීවී නිලධාරීන්ගේ නිල නිවාස, යාල බීට්ටු කාර්යාලය, යාල සංචාරක බංගලාව ඉදිකිරීම ඇතුළු සංවර්ධන ව්‍යාපෘති කිහිපයක වැඩ කටයුතු “යළි පිබිදෙන යාල” සංවර්ධන වැඩසටහන යටතේ මෙසේ ආරම්භ කෙරිණි.
    මෙම සියලු සංවර්ධන ව්‍යාපෘති සඳහා රුපියල් මිලියන 67ක මුදලක් වැයවෙන අතර නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ උපදෙස් අනුව මෙම ඉදිකිරීම් කටයුතු සිදුකරණු ලබන්නේ ජාතික යන්ත්‍රෝපකරණ මධ්‍යස්ථානයයි.
     
     
    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය සුමේධා ජී. ජයසේන මහත්මිය ප්‍රකාශ කළේ වසර 30 ක ත්‍රස්තවාදය අවසන් කළ නිසා යාල ඇතුළු ජාතික උද්‍යාන රැසක ආදායම මේ වන විට ඉහල යමින් තිබෙන බවයි.
    අපේ උරුමය මතු පරපුරට ලබාදීම වෙනුවෙන් යාල ජාතික උද්‍යානය කරගෙන යනු ලබන කටයුතුද තවත් පහසුකිරීමේ අරමුණින් යාල පලටුපාන ප්‍රධාන ප්‍රවේශ දොරටුව අසල ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමේ කවුන්ටරයක් ඉදිකිරීමේ කටයුතු අද ආරම්භ වෙනවා.නවීන තාක්ෂණයත් සමග ඉදිකෙරෙන මෙම ප්‍රවේශ පත්‍ර නව කවුන්ටරයෙන් අන්තර්ජාලය හරහා ලෝකයේ ඕනෑම තැනක ඉන්න කෙනෙකුට තම ප්‍රවේශ පත්‍ර වෙන්කරගන්න පුළුවන්.
     
    තම ජීවිත පරදුවට තබා දිවා රාත්‍රි නොතකා විශාල සේවයක් කරනු ලබන වනජීවී නිලධාරීන් වෙනුවෙන් නිල නිවාස පහසුකම් වැඩි දියුණු කිරීම, යාල බීට්ටු කාර්යාලය අලුත්වැඩියාකර  යළි ස්ථාපනය කිරීම, යාල සංචාරක බංගලාව ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීම ඇතුළු සංවර්ධන වැඩසටහන් රැසක්ම අද ක්‍රියාවට නංවනවා.
    තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා  මහතාගේ උපදෙස් පරිදි යාල ජාතික උද්‍යානයේ වනජීවී සංරක්ෂණ සහ පාරිසරික සංචාරක පහසුකම් වැඩිකිරීම සඳහා “යළි පිබිදෙන යාල” සංවර්ධන ව්‍යාපෘතිය මෙසේ ක්‍රියාවට නැංවෙනවා. 
     
    2016 වසරේ ජනවාරි මාසයේ සිට අගෝස්තු මාසය දක්වා පමණක් රුපියල් ලක්ෂ 6,000ක පමණ ආදායමක් යාල ජාතික උද්‍යනයෙන් පමණක් රටට ලබාදී තිබෙනවා. පසුගිය මාසයේ එක් දිනක යාල ජාතික උද්‍යානය රුපියල් ලක්ෂ 45 ක් පමණ ආදායමක් උපයාගෙන තිබුණා. අනෙක් දිනවල සාමානය ආදායම රුපියල් ලක්ෂ 25 වගේ සීමාවන්වල තිබුණා.
    මෙම ආදායම් තත්වය පසුගිය වසරට වඩා ඉහළ අගයක් ගෙන තිබෙන බව යාල ජාතික උද්‍යනයේ භාරකරු ඩී. වී. සිහාසිංහ මහතා ප්‍රකාශ කරනවා.
     
    වනජීවී සම්පත සුරකිමින් අපේ උරුමයන් රැකගනිමින් දෙස් විදෙස් සංචාරකයින්ගේ ඉහළම ප්‍රසාදය ලබාගනිමින් යාල ජාතික උද්‍යානය රටට ලබාදෙන ආදායමත් සමග යාල ජාතික උද්‍යානයේ වටිනාකම හැමපැත්තකින්ම පේනවා.
    දකුණු ආසියාවේම රටවලින් වැඩිම දිවියන් ඝණත්වයක් තිබෙන එකම ස්ථානය වශයෙන් යාල හැදින්වෙනවා. මෙය ඓතිහාසික තත්වයක්. ඊට අමතරව තවත් වන සතුන් රැසක් යාල ජාතික උද්‍යානයේදී දැකගතහැකියි.
     
    මෙම යාල ජාතික උද්‍යානය ගැන කතාකරද්දි බ්‍රොහියර් ජාතිකයෙකු වු වැන් එංගල් බ්‍රේක් මහතා ගැන අමතක කරන්න බැහැ. ප්‍රථම වන සත්ව ආරක්ෂක නිලධාරිවරයා වශයෙන් වසර 1900 -1928 දක්වා යාල උද්‍යානය භාරව කටයුතු කරමින් ඔහු විශාල සේවාවක් කළ බව ඉතිහාසයේ සඳහන් වෙනවා. ඊට පෙර මෙය ඉංග්‍රිසි ජාතිකයන්ගේ දඩබිමක් වශයෙනුයි යාල හැදින්වුනේ.
     
    1937 දී වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂණ පනත ක්‍රියාත්මක වෙනවා. එම පනතේ තියෙන ප්‍රතිපාදන වලට අනුව යාල රක්ෂිතයේ කොටස රුහුණු ජාතික උද්‍යානය බවට පත්වු අතර කැළැ දෙපාර්තමේන්තුව මගින් තමයි රුහුණු ජාතික උද්‍යානය පාලනය කළේ. ඉන්පසුව 1949 දී වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ස්ථාපිත වීමෙන් පසුව ඒ යටතේ යාල ජාතික උද්‍යානය පාලනය වෙනවා.
     
    වනජීවීන්ගේ ආරක්ෂාව වෙනුවෙන්  දිවා රෑ නොබලා වෙහෙසෙන වනජීවී නිලධාරීන් කිහිපදෙනෙකුම දඩයක්කරුවන්ගේ ඉලක්ක බවට පත්වුණා. කොටි ත්‍රස්තවාදී ප්‍රහාරයන්ට ලක්වෙලා වනජීවී නිලධාරීන් රැසක්ම ජීවීතක්ෂයට පත්වුණා. ඒ සියළුම නිලධාරීන් මේ අවස්ථාවේදී ගෞරවපුර්වකව සිහිපත් කරන්නේ ඔවුන් සියළුදෙනාම දිවි පිදුවේ මේ රටේ උරුමය රැකගැනීම වෙනුවෙන්.
     
    වන අලින් ගම්වැදීම නිසා සිදුවන ගැටලු විසඳන්නත් වනජීවී නිලධාරීන් මැදිහත් වෙනවා. තම දිවි පරදුවට තබා රාජකාරි කටයුතු කරන මෙම වනජීවී නිලධාරීන් හා ඔවුන්ගේ පවුල් වෙනුවෙන් විශේෂ සුබ සාධනයන් ලබාදීම පිළිබඳව අමාත්‍යවරයා ඇතුලු අපගේ අවධානය යොමුවෙලා තියෙන්නේ. වනජීවී නිලධාරීන්ට විශේෂ රක්ෂණ ක්‍රමයක් ලබාදීමට සහ තවත් විශේෂ වරප්‍රසාද ලබාදීම පිළිබඳව මේ වන විට සාකච්ඡා සිදුකරනවා.yala3
     
    වන අලින්ගේ ගැටලුවලට ප්‍රධානතම විසඳුම අලිමංකඩවල් යළිත් වන අලින්ට ලබාදීම. විවිධ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් අලිමංකඩවලින් 95% ක් ඇහිරිලා එම ඇහිරුණු අලිමංකඩවල් නැවත අලින්ට ලබාදීමේ වැඩසටහනට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවුණා. අලි මංකඩවල් 75ක් පමණ සොයාගෙන තිබෙනවා. ඒ හරහා නිවෙස් ඉදිකර හෝ නැත්නම් වගා කටයුතු කරගෙන. මේවා ඉවත්කරලා ඔවුන්ට යම් වන්දි මුදලක් ලබාදී අලින්ට මෙම අලිමංකඩවල් ලබාදීමේ වැඩසටහන ආරම්භ කිරීමට පියවර ගන්නවා.
     
    රටේ උරුමය සුරකිමින් වනජීවී සම්පත අනාගත දරු පරපුර වෙනුවෙන් සුරකිමින් රටට විශාල ආදායමක් ලබාදෙන යාල ජාතික උද්‍යානය සුරැකීම අප සියලු දෙනාගේම වගකීමක්. කිසිදු බේදයකින් තොරව අප එම වගකීම වෙනුවෙන් පෙළ ගැසෙමු. යනුවෙන්ද නියෝජ්‍ය අමාත්‍ය සුමේධා ජී. ජයසේන මහත්මිය වැඩිදුරටත් පැවසුවාය.
      
    යාල ජාතික උද්‍යානයේ සේවය කරන නිවාස නොමැති සියලුම සේවකයින් වෙනුවෙන් නිවාස ගම්මානයක් ඒ අසලම ඉදිකරන බවත් ඉඩම් නොමැති සියලුම සේවකයින්ට ඉඩම් කච්චේරියක් පවත්වා ඉඩම් ලබාදීමට කටයුතු කරන බවත් නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී පැවසීය.
     
    වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඩබ්ලිව්. එස්. කේ. පතිරත්න, රුහුණ යාල ජාතික උද්‍යනයේ භාරකරු ඩී.වී. සිහාසිංහ යන මහත්වරු ඇතුළු නිලධාරීහු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුහ.
     
    AP
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya