ගරු කථානායකතුමනි,
විදුලි බලය අද මහජනතාවගේ ජන ජීවිතයට අත්‍යවශ්‍ය සාධකයක් වී ඇත. මේ දිනවල විදුලිබල ක්ෂේත්‍රය පිළිබඳව වෙනදාට වඩා මහජනයා අතර කතාබහට ලක් වී ඇති බැවින් විදුලිබල ක්ෂේත්‍රයේ වර්තමාන සංවර්ධනය, මුහුණ පෑමට සිදු වී ඇති අභියෝග සහ පසුගිය දිනවල දිවයින පුරා සිදු වූ විදුලිබල බිඳවැටීම් පිළිබඳව මෙන්ම අභියෝග ජයගැනීමට අවශ්‍ය කෙටිකාලීන හා දිගුකාලීන සැලසුම් පිළිබඳව ගරු පාර්ලිමේන්තුව දැනුවත් කිරීමට අදහස් කරමි.
ගරු කථානායකතුමනි,
1950 සිට අප ආ ගමන ශ්‍රී ලංකාවේ විදුලිබල ක්ෂේත්‍රයේ නිර්මාතෘ ලෙස සැලකෙන දිවංගත ජේ.ඩී. විමලසුරේන්ද්‍ර මහතා විසින් ලක්ෂපාන ජල විදුලි බලාගාරය ඉදි කිරීමත් සමග මේ රටේ විදුලිබල ක්ෂේත්‍රයේ සංවර්ධනය ආරම්භ විය. 1950 අංක 69 දරණ විදුලිබල පනත මගින් ක්ෂේත්‍රයේ සංවර්ධනයට අදාළ නෛතික රාමුවක් පළමු වරට හඳුන්වා දී ඇත.
1969 අංක 17 දරණ ලංකා විදුලිබල පනත මගින් ලංකා විදුලිබල මණ්ඩලය පිහිටුවන ලද අතර එතැන් පටන් අද දක්වා ලංකා විදුලිබල මණ්ඩලය දීර්ඝ ගමනක් පැමිණ ඇත. මේ සඳහා පසුගිය වසර 70කට අධික කාලය තුළ පැවති රජයයන් විශාල කැප කිරීමක් සිදු කර හැකි සෑම පියවරක්ම ගෙන ඇත. විශේෂයෙන් මහවැලි ව්‍යාපාරය යටතේ, එවකට පැවති රජය කොත්මලේ, රන්දෙණිගල, රන්ටැඹේ, වික්ටෝරියා වැනි ජල විදුලි බලාගාර ඉදි කිරීමත් සමග මෙම ක්ෂේත්‍රයේ විශාල පරිවර්තනයක් සිදු විය.
මීට පසු 90 දශකය වන විට වැඩි වූ විදුලි ඉල්ලුමට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකාවට ඉන්ධන බලාගාර හඳුන්වා දී ඇති අතර මේ සඳහා පෞද්ගලික අංශයේ දායකත්වයද උපරිම වශයෙන් ලබාගෙන ඇත.
ඉන් පසුව 2011 වර්ෂයේදී ආරම්භ කළ නොරොච්චෝලේ ගල් අඟුරුබලාගාරයත් සමග ශ්‍රී ලංකාවේ ජාතික විදුලිබල පද්ධතියට ගල් අඟුරු බලාගාර ද එක් වී විදුලි පද්ධතියේ විවිධත්වය ඉහල ගොස් ඇත.
එමෙන්ම 1990 හා 2000 දශකවලදී විදුලි පද්ධතියට සම්ප්‍රදායික නොවන විකල්ප බලශක්ති ප්‍රභව මගින් විදුලිය ජනනය සිදු කරන කුඩා ජල විදුලි බලාගාර, සුළං බලාගාර, සූර්ය බලාගාර, ජෛව ස්කන්ධ බලාගාර වැනි බලාගාර එක් වීමෙන් පද්ධතියේ විවිධත්වය තව දුරටත් වැඩි වී ඇත.
මේ වන විට මෙ.වො 3932 ක විදුලිබල ජනන ධාරිතාවක් සහිත විදුලි බලාගාර 199ක් ශ්‍රී ලංකාවේ පිහිටුවා ඇත. මේ අතර විශාල ජල විදුලි බලාගාර 17ක්, ඉන්ධන බලාගාර 06ක්, ගල් අඟුරු බලාගාර 01 ක් සහ සුළං බලාගාර 01 ක් ලංකා විදුලිබල මණ්ඩලය සතු වන අතර පෞද්ගලික අංශය සතුව කුඩා ජල විදුලි බලාගාර 144ක්, ඉන්ධන බලාගාර 06ක්, සුළං බලාගාර 15ක් සහ සූර්ය බලාගාර ඇතුළු අනෙකුත් බලාගාර 09ක් ඇත.
සමස්ත විදුලි ජනනයෙන් මෙගා වොට් 1,357ක් ජල විදුලි බලාගාර මගින්ද, මෙගා වොට් 900ක් ගල් අඟුරු බලාගාර මගින්ද, මෙගා වොට් 544ක ධාරිතාවක් තාප බලාගාර මගින්ද, මොගා වොට් 574ක් පෞද්ගලික තාප බලාගාර මගින්ද, මෙගා වොට් 554ක ධාරිතාවයක් පුනර්ජනනීය බලශක්ති බලාගාර මගින්ද ලබා ගනී.
රටේ දෛනික උපරිම විදුලි ඉල්ලුම දැනට වාර්තා වී ඇති පරිදි මෙගා වොට් 2,350ක් පමණ වේ. මේ අනුව අප සතු සමස්ත විදුලි ධාරිතාව, රටේ දෛනික උපරිම ඉල්ලුමට වඩා වැඩි වන්නේ 65% කිනි. එමෙන්ම වර්තමානයේ අප සතුව කිලෝ වෝල්ට් 220 අධිබලැති සම්ප්‍රේෂණ රැහැන් මාර්ග කිලෝ මීටර් 601ක්, කිලෝ වෝල්ට් 132 අධිබලැති සම්ප්‍රේෂණ මාර්ග කිලෝ මීටර් 2,310ක් සහ ජාල උපපොලවල් පද්ධතියක් ඇත. මීට අමතරව කිලෝ වෝල්ට් 33 විදුලි බෙදැහැරීමේ මාර්ග කිලෝ මීටර් 29,304 ඇති අතර කිලෝ වෝල්ට් 11 මධ්‍ය වෝල්ටීයතා විදුලි බෙදාහැරීමේ රැහැන් මාර්ග කිලෝ මීටර් 2,334ක් සහ අඩුසැර විදුලි රැහැන් පද්ධතිය කිලෝ මීටර් 254,457ක් ඇත.
මේ වන විට විදුලි සම්බන්ධතා ලබා දී ඇති ගෘහස්ථ පාරිභෝගිකයින් සංඛ්‍යාව 5,592,710 ඉක්මවා ඇති අතර වාණිජ පාරිභෝගිකයින් සංඛ්‍යාව 688,139 ඉක්මවයි. කර්මාන්ත ක්ෂේත්‍රය සඳහා 62,078 කට විදුලිය ලබා දී ඇත.
වසර 70ක කාලයක් තුළ විවිධ රජයයන් යටතේ රාජ්‍ය අංශයේ උපරිම කැප කිරීම සහ පෞද්ගලික අංශයේ සුවිශේෂී දායකත්වය මගින් මහජනයාට සිහිනයක්ව තිබූ මෙරට තුළ 100%ක විදුලියනයක් ඇති කිරීමේ ඉලක්කය සාර්ථක කර ගැනීමට හැකි වී ඇත. සමස්ත ශ්‍රී ලංකාවටම විදුලිය ලබා දීමට හැකි වීම සැබැවින්ම ආශ්චර්යයකි.
මෙහි ගෞරවය මුළුමනින්ම ලංවිම ඉංජිනේරුවන් හා සේවකයින්ට මෙන්ම ඒ සඳහා කැපවුනු රාජ්‍ය හා පෞද්ගලික අංශවල කාර්ය මණ්ඩල වලටද රජයන්ට සහ රාජ්‍ය නායකයින්ටද ලබා දිය යුතුය. ඒ සියළු ව්‍යායාමයන්හි ප්‍රතිඵලයක් ලෙස අප අද වර්ෂය පුරාම දවසේ පැය විසි හතරේම අඛණ්ඩව විදුලිය ලබාදෙන දකුණු ආසියාවේ එකම රට බව කිව යුතුය.
ගරු කථානායකතුමනි,
මා අමාත්‍ය ධූරය බාරගෙන පසුගිය මාස 06 තුල අප ආ ගමන
පසුගිය හය මසක කාලය තුල මගේ මඟපෙන්වීම යටතේ වැදගත් යෝජනා රාශියක් ක්‍රියාත්මක කලා.
1. ජාතික විදුලි සත්කාරය වැඩසටහන
තම නිවස අසලම විදුලි ප්‍රවේශය පැවතියද ආර්ථික අපහසුකම්, නෛතික ගැටළු හෝ නොදැනුවත්කම නිසා විදුලි සේවාව ලබා නොගත් පවුල් ලක්ෂ තුනකට වැඩි ප්‍රමාණයක් සිටින බව ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ හා සියළු දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල සහය ඇතිව මාගේ අමාත්‍යාංශය මගින් සිදු කරන ලද සමීක්ෂණයකින් අනාවරණය විය.
අතිගරු ජනාධිපතිතුමාගේ නායකත්වය හා ගරු අග්‍රාමාත්‍යතුමාගේ මඟ පෙන්වීම මත මේ රටේ දුප්පත් පොහොසත් භේදයකින් තොරව සියළු පුරවැසියන්ට විදුලිය ලබා දීමේ ප්‍රතිපත්තිය ක්‍රියාවට නංවමින් මගේ අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍යතුමා හා ලංකා විදුලිබල මණ්ඩලයේ සියළුම නිලධාරීන්ගේ හා සියළුම රජයේ නිලධාරීන්ගේ සහයෝගය ඇතිව මෙම විදුලිය නොමැති ලක්ෂ තුනකට අධික ජනතාවට විදුලිය ලබා දීමේ කඩිනම් වැඩපිළිවෙලක් ම විසින් “ජාතික විදුලි සත්කාරය” නමින් ක්‍රියාත්මක කරන ලදී.
මේ යටතේ කිසිදු ආරම්භක මුදලක් අය නොකර සහනදායී ක්‍රමයක් යටතේ පවුල් ලක්ෂ 03කට විදුලිය ලබා දී මේ රටේ සියළුදෙනාටම විදුලිය ලබා දී අවසන් යන ප්‍රකාශය ලබන අප්‍රේල් මාසය අවසන් වීමට පෙර නිකුත් කිරීමට මාගේ අමාත්‍යාංශය සැලසුම් කර ඇති බව සතුටින් දන්වා සිටිමි. මෙමඟින් දිවයිනේ පහලම මට්ටමේ සිටින අපගේ සහෝදර ජනතාව නගාසිටුවීමටත් එමඟින් භුමිතෙල් ලාම්පු එළියෙන් පාඩම් කරන පාසල් දරුවන් ලක්ෂ 06 කට පමණ ප්‍රතිලාභ ලැබෙන බව කිව හැකිය.
2. කර්මාන්තකරුවන්ට සහනදායී පදනම මත විදුලිය ලබාදීම
කුඩා සහ මහා පරිමාණ කර්මාන්තකරුවන්ට තම ව්‍යාපාර සඳහා විදුලිය ලබාගැනීමේදී ගෙවීමට සිදුවන ආරම්භක ගාස්තුව ඉතා ඉහළ මට්ටමක පැවතීම ගැටළුවක්ව පැවතිණ. මේ නිසා කර්මාන්තකරුවන්ට මූලික ගාස්තුවෙන් 25% පමණක් අය කොට ඉතිරි මුදල වාර්ෂික වශයෙන් අවුරුදු 05 ක් තුල ගෙවීමට සහන වැඩසටහනක් ලෙස සළසා දී රටේ ආර්ථික වර්ධනයට ධනාත්මක දායකත්වයක් ලබා දී ඇත.
3. අර්බුදයට ලක්වී තිබූ ගල් අඟුරු මිලදී ගැනීමේ ක්‍රියාවලිය ක්‍රමවත් කිරීම.
පසුගිය කාලයේ විශාල අර්බුදයකට ලක්වී තිබූ ගල් අඟුරු මිලදී ගැනීමේ ක්‍රියාවලිය, සැපයුම් කරුවන් ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය, ක්ෂණික මිලදී ගැනීමේ (Spot Tender) ක්‍රියාවලිය හඳුන්වා දී ඉතාමත් සරළ කෙටි විනිවිදභාවයෙන් යුත් ලෙස ක්‍රමවත් කිරීම.
4. ගල් අඟුරු ප්‍රවාහන ගැටළුව විසඳීම
මුහුද රළු වන මාස 05 ක කාලයක් තුල ගල් අඟුරු ප්‍රවාහනය කිරීමට නොහැකි නිසා ඇති වී තිබෙන ගැටළුව විසඳීම සඳහා ත්‍රිකුණාමලය වරායේ සිට මහමාර්ග වලින් සහ දුම්රිය මාර්ගවලින් ගල් අඟුරු ප්‍රවාහනයට වැඩ පිළිවෙලක් සකස් කරන ලදී.
5. මිනිස්බල සේවකයන්ගේ ගැටළු විසඳීම
විශේෂයෙන් මෙවැනි විශාල රාජ්‍ය ආයතන පවත්වා ගැනීමේදී සේවක අභිප්‍රේරණය අත්‍යවශ්‍ය. ඒ නිසා පසුගිය කාලයේදී මණ්ඩලයේ සිටි මුළු සේවක සංඛ්‍යාවෙන් 30%කට වැඩි ප්‍රමාණයක් වන මිනිස්බල සේවකයින්ගේ ගැටළු විසඳීමට මිනිස්බල සේවකයින් 2363 ක් ලංවිම ස්ථිර සේවයට බඳවා ගැනීමට කටයුතු කර, ඔවුන්ගේ ඇති ගැටළු විසඳීමටද මා විසින් කටයුතු කර ඇත. ඉතිරි මිනිස්බල සේවකයින්ගේ ගැටළු ද විසඳීමට කටයුතු සූදානම් කර ඇත.
6. රාජ්‍ය ආයතන වලට බලශක්ති කළමනාකරුවන් පත්කිරීම
7. පුනර්ජනනීය විදුලිබල ව්‍යාපෘති බලපත්‍ර විකිණීමේ ජාවාරමට පිළියම්
පසුගිය කාලයේ පුනර්ජනනීය විදුලිබල බලපත්‍ර විකිණීම ව්‍යාපාරයක් බවට පත්වී තිබූ අතර, සැබෑ ආයෝජකයෙකුට බලපත්‍රයක් ලබාගැනීම ගැටළුවක්ව පැවතුණි. එම නිසා ඇමතිවරයා වශයෙන් මා හට පැවරී ඇති බලතල අනුව නියෝග නිකුත් කොට ප්‍රගතියක් නැති සියළුම බලපත්‍ර අවලංගු කොට ඒවා සුදුසු ආයෝජකයන්ට ලබා දීමේ වැඩපිලිවෙලක් සකස් කරන ලදී. මේ අනුව මෙම බලපත්‍ර විකිණිමේ ජාවාරම අවසන් කළ හැකි යැයි විශ්වාස කරමි.
8. විදුලි ඉල්ලුම් කළමනාකරණ වැඩසටහන් ක්‍රියාත්මක කිරිම තුලින් බලශක්ති සංරක්ෂණය දිරිමත් කිරීම.
9. සාම්පුර් හා මන්නාරම සුළං බලාගාර ඉදිකිරීම කඩිනම් කිරීම
ගරු කථානායකතුමනි,
අද විශේෂයෙන් කථාබහට ලක්වී ඇති විදුලිය බිඳවැටීම්
විදුලිබල ක්ෂේත්‍රය රටේ සංවර්ධන ක්ෂේත්‍ර වලින් විශාල ජයග්‍රහණ ලබා ගත් සාර්ථක ක්ෂේත්‍රයක් වුවද, පසු ගිය මාස 06 ඇතුළත අපට මුහුණ දීමට සිදු වූ දිවයින පුරා විදුලිය බිඳවැටීම් තුනක් නිසා විදුලිබල ක්ෂේත්‍රය පිළිබඳව මහජනතාව තුළ දැඩි කථාබහට ලක් විය.
මෙයින් පළමු විදුලි බිඳවැටීම 2015 සැප්තැම්බර් 27 වන දින රාත්‍රී 11.53 ට පමණ සිදුවූ අතර, මෙයට ප්‍රධාන හේතුව වශයෙන් හඳුනාගෙන ඇත්තේ නොරොච්චෝලේ විදුලි බලාගාරයේ බලාගාරයක ආරක්ෂණ පද්ධතිය ක්‍රියාත්මක වීම නිසා බලාගාරය විදුලි පද්ධතියෙන් ඉවත්වීමයි. එදින පැවති අසාමාන්‍ය කාලගුණික තත්වය නිසා පද්ධතියේ ඇතිවූ විදුලි ඉල්ලුම හා සැපයුම අතර වෙනස නිසා ඇති වූ තත්වයට මුහුණ දීම සඳහා බලාගාරය ස්වයංක්‍රීයව ක්‍රියාවිරහිත වී ඇත. මේ නිසා ඇතිවූ බලපෑමෙන් දිවයිනේ අනෙකුත් සියළුම බලාගාර ක්‍රියාවිරහිත වීමෙන් දිවයින පුරා විදුලිය බිඳ වැටුනි. කෙසේ වෙතත් ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන්ට පැය 03 ක පමණ කාලයක් තුල සම්පුර්ණයෙන් විදුලි පද්ධතිය යථාවත් කිරීමට හැකිව ඇත. මෙම බිඳ වැටීම සම්බන්ධව සොයාබැලීම සඳහා මා විසින් මොරටුව විශ්ව විද්‍යාලයේ මහචාර්ය රංජිත් පෙරේරා, මොරටුව විශ්ව විද්‍යාලයේ හිටපු මහචාර්ය රොහාන් ලූකස් හා විදුලිබල ක්ෂේත්‍රයේ විශේෂඥයන් වන රියන්සි ප්‍රනාන්දු සහ ජයසිරි කරුණානායක යන අයගෙන් සමන්විත විද්වත් කමිටුවක් පත් කරන ලදී. ඔවුන්ගේ කමිටු වාර්තාව මඟින් විදුලි පද්ධතිය යාවත්කාලීන කිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කර ඇති අතර, මෙම නිර්දේශ සුදුසු පරිදි ලංකා විදුලි බල මණ්ඩලය මඟින් දැනට ක්‍රියාත්මක කරමින් සිටී. එම වාර්තාව ගරු සභාවේ දැනගැනීම සඳහා සභාගත කරමි. මීට අමතරව ලංකා විදුලිබල මණ්ඩලයද අභ්‍යන්තර කමිටුවක් මෙම සිද්ධිය අධ්‍යයනය කිරීම සඳහා පත් කර ඇති අතර, එම වාර්තාවද ගරු සභාවට සභාගත කරමි.
මහජන උපයෝගිතා කොමිසම මඟින් මෙම විදුලි බිඳවැටීම සම්බන්ධව කැනඩාව මැනිටෝබා එච්.වී.ඩී.සී. (MANITOBA HVDC) පර්යේෂණ මධ්‍යස්ථානය මඟින් අධ්‍යයනය කර ඇති අතර, එම වාර්තාව මඟින්ද Reactive විදුලිබලය නිෂ්පාදනය සහ ට්‍රාන්ස්ෆෝමර් ක්‍රියාකාරීත්වය පිළිබඳ නිර්දේශ රැසක් ඉදිරිපත් කර ඇත. මෙම වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම පිළිබඳ මෙම අමාත්‍යාංශය හා ලංකා විදුලිබල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිසම සමඟ කටයුතු කරමින් සිටී. එම වාර්තාවේ පිටපතක් ගරු සභාවේ දැනගැනීම සඳහා සභාගත කරමි.
මෙම වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කරමින් සිටින අතරතුරේ 2016 පෙබරවාරි 25 වන දින සවස 2.10 ට පමණ දෙවන වතාවටත් දිවයින පුරා විදුලි බිඳවැටීම සිදුවිය. මේ සිදුවීමට හේතුවී ඇත්තේ පොල්පිටිය - කොළොන්නාව 132 Kv සම්ප්‍රේෂණ පද්ධතියට අකුණක් වැදීම නිසා හෝ වෙනත් සිදුවීමක් හේතුවෙන් රැහැන් මාර්ගය භූගතවීමකින් සම්ප්‍රේෂණ මාර්ගය පද්ධතියෙන් ඉවත් වීමත් සමඟ එම අවස්ථාවේ ජනනය වෙමින් තිබූ විදුලි ප්‍රමාණය පද්ධතියේ අනෙකුත් විදුලි රැහැන්වලට දරාගන්නට බැරිවීම නිසා ආරක්ෂිත පියවරක් වශයෙන් සියළු බලාගාර පද්ධතියෙන් විසන්ධි වීමය. මෙම අවස්ථාවේදීද ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන්ට පැය 03 ක කාලය තුලදී පද්ධතිය යථා තත්වයට පත් කිරීමට හැකිවී ඇත. මෙම සිද්ධිය පිළිබඳවද අධ්‍යයන කොට වාර්තා කරන ලෙස මා විසින් ඉහත සඳහන් මහචාර්ය රංජිත් පෙරේරා මහතාගේ සභාපතීත්වයෙන් යුත් කමිටුව පත් කරන ලදී. දෙවන විදුලිබල බිඳවැටීම පිළිබඳවද අධ්‍යයනය කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය මඟින් නම් කරන ලද කමිටුවක් පත් කර ඇති අතර, එම කමිටුවල වාර්තා ද ගරු සභාවට ඉදිරිපත් කරමි.
මෙම අවස්ථාවේදී ප්‍රමාණවත් ජල විදුලිබලය ජලාශවල තිබූ නිසා විදුලි කප්පාදුවෙන් තොරව අඛණ්ඩව විදුලිය ලබා දීමට විදුලිබල මණ්ඩලයට හැකි විය. විදුලිබලය යථා තත්වයට පත් කරන තෙක් පැය කිහිපයක් විදුලිය විසන්ධි කිරීමට සිදු වුවද එම අවස්ථාවේදී සැළසුම් සහගත විදුලි කප්පාදුවක් සිදුකිරීම වලක්වා ගැනීමට හැකි විය.
මෙම දෙවන විදුලි බිඳවැටීමට හේතුවක් වශයෙන් දැක්වූ එක් සම්ප්‍රේෂණ රැහැන් මාර්ගයක් පද්ධතියෙන් ඉවත් පසු සමස්ථ පද්ධතියම ක්‍රියාවිරහිත වීම අසාමාන්‍ය තත්වයක් බැවින් ඒ පිළිබඳ අධ්‍යයනය කරමින් සිටින අතරතුර 2016.03.13 වන දින සවස 2.20 ට පමණ දිවයින පුරා ක්‍රියාත්මක වූ තෙවන විදුලි බිඳවැටීමද සිදු විය. මෙයට හේතු වී ඇතේ බියගම 132 Kv ට්‍රාන්ස්ෆෝමරයක කොටසක් වන Tap – Changer පුපුරා ගිනිගැනීමයි. මෙම ගිනිගැනීම හේතුවෙන් ඒ අවට තිබූ සම්ප්‍රේෂණ මාර්ග විදුලි පද්ධතියෙන් ඉවත් වී ඇත. මේ අවස්ථාවේදී නොරොච්චෝල බලාගාරයේ මෙ.වො 700 ක ධාරිතාවෙන් විදුලි ජනනය වී ඇති අතර, මෙම ප්‍රමාණය සම්ප්‍රේෂණය කිරීමට අනෙකුත් සම්ප්‍රේෂණ මාර්ග වලට නොහැකිවීම නිසා ඇති වූ අසමතුලිතාවයන්ට මුහුණ දීමට පද්ධතියේ සියළුම විදුලිබලාගාර ආරක්ෂිත පියවරක් වශයෙන් පද්ධතියෙන් ඉවත්වී ඇත. මේ අවස්ථාවේදී ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන්ට විදුලිබල පද්ධතිය නැවත යථාතත්වයට පත් කිරීමට පැය 08 ක කාලයක් ගත වී ඇත. මෙය අසාමාන්‍ය තත්වයකි. මෙයට හේතු වූයේ සම්ප්‍රේෂණ මාර්ගවල ඇති වූ දුර්වලතා විය හැකි බවට හඳුනාගෙන ඇත. අවාසනාවට මේ අවස්ථාව වන විට පැවති නියං කාල තත්වය නිසා ජල විදුලිබලාගාර වල ජලය ඉතුරු කර ගැනීමට අවශ්‍ය බැවින් ජලවිදුලි නිෂ්පාදනය සීමා වී තිබුණි. එමෙන්ම ගල් අඟුරු බලාගාරය නැවත පණ ගැන්වීම සඳහා දින 03 – 04 ක පමණ කාලයක් ගතවන බැවින් විදුලි හිඟයක් ඇති වූ අතර, ඇතැම් ප්‍රදේශවලට සැළසුම් සහගත ලෙස විදුලි කප්පාදුවක් සිදුකිරීමට ලංකා විදුලිබල මණ්ඩලයට අකමැත්තෙන් වුවද සිදුවිය. මේ පිළිබඳ විෂයභාර අමාත්‍යවරයා වශයෙන් මම ජනතාවට කණගාටුව ප්‍රකාශ කිරීමට කැමතියි.
ලංකාවේ පසුගිය කාලවලදි දිවයින පුරා විදුලි බිද වැටිමක් අවසන් වරට සිදුවී ඇත්තේ 2009 ඔක්තෝම්බර් මස දීය. එනම් මීට වසර 5කට පෙරය. 2009දි සිදුවු අවසන් විදුලි බිද වැටිමේ සිට වසර 5කට පසු මාස 6ක් තුළ තුන්වතාවක් දිවයින පුරා විදුලි බිද වැටිම නිසා මේ පිළිබඳ ජනතාවගේ දැඩි අවධානය යොමු වීම සාධාරණයි.
මේ සඳහා පිළිගත හැකි තාක්ෂණික විග්‍රහයන් නොතිබූ බැවින් අමාත්‍යාංශය මෙම සිද්ධීන් ඇති වීමට තුඩුදිය හැකි සියළු පැති පිළිබඳව අධ්‍යයන කිරීම සඳහා ක්‍රියාමාර්ග රැසක් ගෙන තිබෙනවා. ඉහත සඳහන් දෙවන විදුලිය බිඳවැටීම අධ්‍යයනය කිරීමට පත් කළ විද්වත් කමිටුවට මෙම සිද්ධිය පිළිබඳව අධ්‍යයනය කරන ලෙසට මා විසින් දන්වා සිටියා පොලිස් දෙපාර්තමේන්තුවට පැමිණිලි කලා. මීට අමතරව රජයේ රස පරීක්ෂකවරයා ගෙන්ද මෙම පිපිරීම පිළිබඳව පරීක්ෂා කරන ලෙස ඉල්ලා සිටියා. අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි විදුලි පද්ධතියේ ආරක්ෂාව පිළිබඳ මහජනතාව තුළ විශ්වාසයක් ඇති කිරීම සඳහා සියලුම වැදගත් ස්ථානවලට හමුදා ආරක්ෂාව ලබා දුන්නා. ඊට අමතරව මෙම ට්‍රාන්ෆෝමර් නිෂ්පාදනය කල ජර්මන් සහ ජපන් සමාගම් වල නියෝජිතයින් මෙරටට ගෙන්වා අදාල පරීක්ෂණ කටයුතු කිරීමට පියවර ගත් අතර, ඊයේ දිනයේ සවස් භාගය වන විට ඔවුන් සිය තාක්ෂණ ඇගයීම් කටයුතු සිදු කරනු ලැබුවා.
මෙම විදුලි බිඳවැටීම මුළුමනින්ම යථා තත්වයට පත් කොට පැය 03ක් පමණ ගතවීමට පෙර පසුගිය 16 වෙනිදා සවස 2.30 ට පමණ 13 වන දින බියගම දී පුපුරා ගිය ට්‍රාන්ස්ෆෝමරයේ කොටසක් පුපුරා ගිය ආකාරයටම කොටුගොඩ පිහිටි ට්‍රාන්ස්ෆෝමරයේ කොටසක්ද පුපුරා ගියා. කෙසේ වුවත් මෙම අවස්ථාවේදී දිවයින පුරා විදුලි බිඳ වැටීම ඇති නොවන පරිදි විදුලි පද්ධතිය ආරක්ෂා කර ගැනීමට විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන්ට හැකියාව ලැබුණා
දැනට මේ සිදුවීම් පිළිබඳ ගරු අගමැතිතුමා විසින් පත් කරන ලද කමිටුවත්, විදුලිබල අමාත්‍යාංශය විසින් පත් කරන ලද කමිටුවත්, විදුලිබල මණ්ඩලය විසින් පත් කරන ලද කමිටුවත් සහ අතිගරු ජනාධිපතිතුමා විසින් පත් කල මාගේ සභාපතීත්වයෙන් යුත් ගරු පාඨලී චම්පික ඇමතිතුමා, ගරු සුසිල් ප්‍රේමජයන්ත ඇමතිතුමා, ගරු චන්දිම වීරක්කොඩි ඇමතිතුමා, ගරු සාගල රත්නායක ඇමතිතුමා, ගරු එරාන් වික්‍රමරත්න නියෝජ්‍ය ඇමතිතුමා සහ ගරු අජිත් පී.පෙරේරා නියෝජ්‍ය ඇමතිතුමා යන ඇමතිවරුන්ගෙන් සැදුම්ලත් කමිටුව ද අධ්‍යයනය කරමින් සිටී. කමිටුවේ අතුරු වාර්තාව අද උදෑසන අතිගරු ජනාධිපතිතුමාට බාරදීමට හැකි වුනා. මෙම වාර්තාවලට අනුව කෙටි කාලීන හා දිගු කාලීන වශයෙන් දිවයිනේ විදුලිය අඛණ්ඩව සැපයීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම අමාත්‍යාංශය සැළසුම් සකස් කොට ඇත.
ගරු කථානායකතුමනි,
මෙම තත්වයට හේතුවිය හැකි අභියෝග
1. නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය මේ මොහොතේ ජාතික විදුලි පද්ධතියට අත්‍යාවශ්‍ය විදුලි බලාගාරයකි. නමුත් ගරු සභාව දන්නා පරිදි මේ බලාගාරයේ සැලසුම් කිරීමේදී ශ්‍රී ලංකාවේ විදුලි පද්ධතියට සම්පූර්ණයෙන්ම ගැළපෙන ආකාරයට සැලසුම් කර නැති බව ඉංජිනේරුවරුන්ගේ මතයයි. මේ නිසා විදුලි පද්ධතියේ ඇතිවන්නා වූ වෙනස්වීම් වලදී බලාගාරය බොහෝ විට ක්‍රියාවිරහිත වේ. ගැටළුව වන්නේ බලාගාරය ක්‍රියාවිරහිත වූ පසු බලාගාරයේ යන්ත්‍රවල උෂ්නත්වය අඩුවන තෙක් දින 03 – 04 ක් යන තෙක් බලාගාරය නැවත පණගැන්වීමට නොහැකි වීමයි. එම නිසා ජල විදුලිබලය නිෂ්පාදනය සීමාවී ඇති අවස්ථාවලදී ගල් අඟුරු බලාගාරය ද ක්‍රියාවිරහිත වුවහොත් දින 03 – 04 යන තෙක් රට තුළ විදුලි හිඟයක් ඇති විය හැක. එහිදී විදුලි කප්පාදුවක් කිරීමටද සිදු විය හැක. මේ නිසා අඛණ්ඩව විදුලිය සැපයීමට නම් එම අසීරු කාලය තුලදී භාවිතයට ගල් අඟුරු බලාගාරයේ විදුලි ධාරිතාවට සමාන අතිරේක තාප බලාගාර පවත්වා ගත යුතු බව විශේෂඥයන්ගේ මතයයි. මෙය විශාල ගැටළුවක් වන අතර, ඒ සඳහා විශාල වියදමක් දැරීමට සිදුවේ.
2. අපගේ විදුලි ජනනයෙන් 50% කට වැඩි ප්‍රමාණයක් ජල විදුලි බලාගාර වලින් නිෂ්පාදනය කරනු ලබයි. සාමාන්‍ය වියළි කාලගුණ තත්වයක් යටතේ වුවද ඉතා සීඝ්‍ර අඩුවීමක් ජල විදුලිබල නිෂ්පාදනයේ සිදුවේ. මෙයින් වැඩි ප්‍රමාණයක් සපයන මහවැලි කලාපයට අයත් ජලාශ වල ප්‍රධාන අරමුණ කෘෂි කර්මාන්තයට ජලය සැපයීම බැවින් වගා කන්නය සඳහා ජලය ආරක්ෂා කර ගන්නා මෙවැනි කාල වලදී තත්වය වඩාත් බැරෑරුම්ය.
3. විදුලිබල මණ්ඩලය පසුගිය කාලයේ විශාල වශයෙන් ජනන ධාරිතාව වැඩි කර තිබුනද තවමත් ඇතැම් සම්ප්‍රේෂණ මාර්ග සහ විදුලි උපපොළවල් පැරණි සහ දුර්වල මට්ටමක පවතී.
4. එමෙන්ම පද්දතියේ නඩත්තු කටයුතු නිසිලෙස සිදුවී ඇත්දැයි ගැඹුරින් සොයා බැලිය යුතුය.
5. රටේ විදුලි ඉල්ලුම මේ දිනවය සීඝ්‍රයෙන් ඉහළ යයි. පසුගිය සතියේ මෙතෙක් වාර්තා වූ ඉහළම ඉල්ලුම වන දවසේ ඉල්ලුම ගිගා වොට් පැය (GWh) 42 ඉක්මවිය. මෙම විදුලි ඉල්ලුමට ගැලපෙන විදුලි බලය නිෂ්පාදනයේදී විවිධ සමාජයීය, ආර්ථික සහ පාරිසරික ගැටළුවලට මුහුණ දීමට සිදුවේ. මෙහිදී පාරිසරික ප්‍රශ්න ප්‍රධාන තැනක් ගනී.
6. ලංකා විදුලිබල මණ්ඩලයේ අද පවතින සමහර යල්පැනගිය කළමනාකරණ ක්‍රමවේදයන් වර්තමානයේ උද්ගතවී ඇති විදුලි ජනන ගැටළු විසඳීම සඳහා ප්‍රමාණවත් නොවීම තවත් අභියෝගයකි.
ගරු කථානායකතුමනි,
මෙම අභියෝග ජය ගැනීම සඳහා ගත් ක්ෂණික ක්‍රියාමාර්ග සහ ඉදිරි යෝජනා
1. මෙම අවස්ථාව කළමනාකරණය සඳහා ක්ෂණික පියවරක් ලෙස “හදිසි අවස්ථා කළමනාකරණ කමිටුව” තරුණ දක්ෂ නිලධාරීන්ගෙන් සමන්විතව පිහිටුවන ලද අතර, පද්ධති පාලනය සම්බන්ධව සුවිශේෂ නිලධාරීන් මේ සඳහා ඇතුලත් කරන ලදී.
2. සුවිශේෂී වැදගත් ස්ථානවල නඩත්තු කටයුතු පිළිබඳව සොයාබලා සතියක් ඇතුලත් වාර්තා කරන ලෙස ලංකා විදුලිබල මණ්ඩලයේ විශ්‍රාමික සාමාන්‍යාධිකාරිවරයෙක් වන මොහිදීන් මහතා සහ මහචාර්ය කේ.කේ.බී. පෙරේරා යන මහත්වරුන්ගෙන් සමන්විත ක්ෂණික කමිටුවක් පත්කිරීමට කටයුතු කරන ලදී.
3. සියළුම නඩත්තු කටයුතු සැලසුම් කිරීම සහ නිසි පරිදි ක්‍රියාත්මක කිරිම සොයාබැලීම සඳහා මෙහෙයුම් කමිටුවක් පත් කරන ලද අතර, එය ජ්‍යෙෂ්ඨ අතිරේක සාමාන්‍යාධිකාරී වරයෙක් යටතේ ක්‍රියාත්මක කිරිමට කටයුතු කිරීම.
4. ක්ෂණිකව ඉන්ධන තොග නිසි පරිදි කළමානකරණය කිරීමට කටයුතු කිරීම.
5. විදුලිබල මණ්ඩලය සතු සියළුම කුඩා පරිමාණයේ විදුලි උත්පාදක යන්ත්‍ර සියල්ල පද්ධතියට සම්බන්ධ කිරීම.
6. ගිවිසුම් කාලය අවසන් වී ඇති පහත සඳහන් පෞද්ගලික විදුලි බලාගාර මිලදී ගෙන අතිරේක බලාගාර ලෙස පවත්වාගැනීම
7. ඊට අමතරව ඉදිරියේදි ඇතිවිය හැකි නියං තත්වයකදී විදුලි කප්පාදුව වැලැක්වීමට කෙටිකාලීන යෝජනා කිහිපයක් ඉදිරිපත් කිරීමට කැමතියි
- විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන පාරිභෝගිකයන් වන කර්මාන්තශාලා හා ව්‍යාපාර ස්ථානවල අතිරේක ජනන යන්ත්‍ර විශාල ප්‍රමාණයක් ඇත. මෙම ජනන යන්ත්‍ර ඉදිරියේදි විය හැකි විදුලි හිඟයකදී යොදවාගැනීමට වැඩපිළිවෙලක් සකස් කර ඇත. මෙමඟින් මෙ.වො 65 – 70 ක් පමණ විදුලිබල ප්‍රමාණයක් සපයාගත හැක. එහිදී ඔවුන් සඳහා සාධාරණ දිරි දීමනා ගෙවීමට කටයුතු කිරිම.
- ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය හා ලංකා විදුලිබල මණ්ඩලය එක්ව දැනට විදුලි ඉල්ලුම කළමනාකරණය කරන වැඩසටහනක් ක්‍රියාත්මක කරමින් සිටින අතර, එම වැඩසටහන තවදුරටත් සක්‍රිය කිරීමෙන් සැලකිය යුතු විදුලිබල ප්‍රමාණයක් ඉතිරි කළ හැක.
- මීට අමතරව වියලි කාලගුණය තවදුරටත් පැවතුණහොත් හදිසි අවශ්‍යතා (Emergency Power) විදුලිබලාගාර මෙ.වො .100 ක ප්‍රමාණයක් විනිවිද භාවයෙන් යුක්තව බදු ක්‍රමය යටතේ හදිසියේ මිලදී ගෙන විදුලිබලය හිඟ ප්‍රදේශවල කෙටිකාලීනව ස්ථානගත කළ හැක.
8. ලංකා විදුලිබලමණ්ඩලයේදිගුකාලීනවිදුලිජනනසැලැස්මමගින්අළුතින්ඉදිකිරීමටයෝජනාකරඇතිඒකකධාරිතාවයමෙ.වො. 35 බැගින්වනගෑස්ටර්බයින විදුලි බලාගාර තුනක් (3) ඉදිරි මාස 12 තුල ඉදිකර අවසන් කොට විදුලි ජනනය සඳහා සූදානම් කිරීම.
9. ස්වභාවික ද්‍රව වායු විදුලි බලාගාර හම්බන්තොට හෝ කෙරවලපිටිය ප්‍රදේශයේ ස්ථාපිත කිරීම පිළිබඳ සලකා බැලිය යුතුය.
10. කටාර් රජය සහශ්‍රී ලංකා රජය සමග ස්වාභාවික වායු මිලදී ගැනීම සඳහා රාජ්‍ය තාන්ත්‍රික ගිවිසුමක් අත්සන් කිරීම සඳහා කටයුතු සකස් කිරීම.
11. හම්බන්තොට හෝ ගාළු වරාය ආශ්‍රිතව ස්වභාවික වායු සහ දැවිතෙල් (ද්විත්ව ඉන්ධන) මඟින් ක්‍රියා කරන බලාගාරයක් ඉදිකිරීම.
12. දැනට ඉදිවෙමින් පවතින ජල විදුලිබලාගාර වල ඉදිකිරීම් කඩිනම් කිරීම
මොරගොල්ල ජල විදුලි බලාගාරය - මෙ.වො 31
බ්‍රෝඩ්ලන්ඩ්ස් ජල විදුලි බලාගාරය - මෙ.වො 35
උමාඔය ජල විදුලි බලාගාරය - මෙ.වො 120
සීතාවක ජල විදුලි බලාගාරය - මෙ.වො 20
13. සාම්පූර් ගල් අඟුරු බලාගාර ක්‍රියාත්මක කිරිම කඩිනම් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල උප කමිටුවක් පත් කිරීම.
14. විදුලි බල මණ්ඩලයේ ජනන සැලැස්ම නැවත සමායෝජනය කිරීම
15. සූර්ය බල සහ සුළං බල උද්‍යාන 12 ක් දිවයින පුරා ස්ථාපිත කිරීම
යෝජිත සුළං බලාගාර |
ධාරිතාවය (මෙ.වො) |
යෝජිත සූර්ය බලාගාර |
ධාරිතාවය (මෙ.වො) |
මන්නාරම |
375 |
මන්නාරම |
100 |
පුනරීන් |
150 |
වාලච්චේන |
100 |
වඩමාරච්චි |
125 |
මුලතිව් |
100 |
මුලතිව් |
50 |
අම්පාර |
100 |
කෝකිලායි |
45 |
මොණරාගල |
200 |
වැලිකන්ද |
200 |