එවැනි දිගු කාලීන අවදානම් පිළිබඳව දැන දැනත් විශේෂයෙන්ම තරුණ වයසේ පුද්ගලයන් ඉන් ඉවත් වීමට ස්වයං පෙළඹවීමක් සිදු කිරීමට තරම්වත් උත්සහ කරනවා විය නොහැක. නමුත් වසර ගණනාවකට පසුව ඉතා අවදානම්, වේදනාකාරී රෝග හට ගෙන ක්ෂණික මරණයකට හෝ සදාකාලික විඳවන්නෙකු බවට පත්වනවා යැයි දැන දැනම දුම් පානය කිරීමත් ඔබට සැබවින්ම අසීරු විය හැකිය.
දුම් පානය කිරීමට කිසිදු ආරක්ෂිත ක්‍රමවේදයක් ද නැත. දුම් බීමේ දී සුරුට්ටු හෝ දුම් පයිප්ප යොදා ගැනීම දුම්කොළ නිෂ්පාදනවලින් ඔබේ සෞඛ්‍යට සිදුවන අවදානම වළක්වා ගැනීමට කිසිදු උපකාරයක් සිදු කරන්නේ නැත. දුම් පානය කරන්නා සිය කර්තව්‍ය සාධාරණීකරණය කිරීමට කොතෙකුත් වදන් ගොනු කළත් ලෝකයා පිළිගන්නා විද්‍යාත්මක හා අධ්‍යාත්මික (ආගමික) පරම සත්‍යය නම් දුම්බීම ඔබේ සෞඛ්‍යට බරපතලව හානි සිදුකරයි යන්නයි.
දුම් වැටියක අමුද්‍රව්‍ය 600ක් පමණ අඩංගු වේ. දුම් වැටිය දැල්වෙන විට 7000කට අධික රසායනික ද්‍රව්‍ය උත්පාදනය වන බව ඇමරිකානු පෙනහළු සංගමය පවසයි. එම රසායනික ද්‍රව්‍ය බොහෝමයක් උග්‍ර විෂ වර්ග වන අතර ඉන් අවම වශයෙන් විෂ 69ක් පිළිකා කාරකයන් විය හැක. ජාතික පිළිකා ආයතනය පවසන අයුරින් දුම් වැටියට වඩා සුරුට්ටුවක ඉහළ පිළිකා කාරක, විෂ හා තාර (Tar) ඇත.
දුම්බීම භින්නෝන්මාදය (schizophrenia) වර්ධනය වීමට ප්‍රබල සාධකයක් ලෙස ක්‍රියා කළ හැකි බව පර්යේෂකයෝ පවසයි. භින්නෝන්මාදය යනු මනස තල දෙකක ක්‍රියාත්මක වීම නැතහොත් සන්නිවේදනය සහ ක්‍රියාව අතර සම්බන්ධය නැතිව ගොස් ඇති වන උමතුව නැතහොත් මනෝ විකාරය වශයෙන් විස්තර කළ හැක. පර්යේෂකයන් විසින් තවදුරටත් ඒ සම්බන්ධයෙන් වැඩි දුර පරීක්ෂණ ද පවත්වන බව ලන්ඩන් නුවර ‘කිංග්ස් කොලේජ්’ විශ්ව විද්‍යාලයේ මනෝ විද්‍යාව සහ ස්නායු විද්‍යාව සම්බන්ධ මහාචාර්ය ජේම්ස් මැක්කේබ් පවසයි.
දුම් පානයේ ප්‍රධාන සෞඛ්‍ය අවදානම පෙනහළු පිළිකා, හෘද රෝග හා ආඝාතය (Stroke) වේ. දුම් පානය නිසා හට ගන්නා පෙනහළු පිළිකා හේතුවෙන් සියයට 90ක් මිය යන අතර නිදන්ගත පෙනහළු අවහිරතා රෝග (COPD) හේතුවෙන් සියයට 80ක් පමණ මිය යයි. හෘද රෝග මරණ සියයට 17ක් පමණ සිදු වේ.
දුම් වැටියේ වඩාත් භයානක සංරචක කිහිපයක් පිළිබඳ මෙම ලිපියෙන් නිරාවරණය කරන්නේ දුම් පානය කරනා ඔබ වෙනුවෙනි.
තාර: දුම්කොළ දුම ආශ්වාස කරන විට, සමහර තාර පෙනහළුවල තැන්පත් වේ. විෂබීජ හා වෙනත් දේවල් පෙනහළුවලින් සම්පූර්ණයෙන් පිටතට ගෙන යාමට උපකාර වන ඉතා කුඩා කෙස් පෙනහළුවල පේළි ගැසී පිහිටා ඇත. දුම් පානය නිසා ආශ්වාසවන තාරවලින් මෙම කෙස් ආවරණය වීම හේතුවෙන් එම ස්වාභාවික ක්‍රියාවලිය හැසිරවීම දුෂ්කර වේ. සිගරට් දුම ආශ්වාස කර තාරවල පිළිකා සෛල වර්ධනය කරන පිළිකාකාරක රසායනික ද්‍රව්‍යයන් ද අඩංගු වේ.
කාබන් මොනොක්සයිඩ්: කාබන් මොනොක්සයිඩ් රුධිරයේ ඇති හිමොග්ලොබින් හා ආබද්ධව රුධිර සංසරණයේ දී ශරීරය පුරා අවශ්‍ය තරම් ඔක්සිජන් රැගෙන යාම වළක්වයි. ඒ අනුව පෙනී යන්නේ දුම් පානය කරන පුද්ගලයෙකු වාතය ඉක්මණින් ශරීරයෙන් බැහර කිරීමටත් ඉක්මණින් වෙහෙසට පත් වීමට ඉඩ ඇති බවයි. අවසානයේදී, ඔබට නිදන්ගත පෙනහළු අවහිරතා රෝග (COPD) නම් වු පෙනහළු රෝගය නොමිලයේ ලබා ගත හැක. ඔබටත් නොදැනීම දැනටමත් මෙම රෝගය වැළඳී ඇත්නම්, ඉදිරියට ආශ්වාස ප්‍රාශ්වාස කිරීම ඉතා බරපතල ලෙස අපහසු වනු ඇත.
ඔක්සයිඩ් වායුව: ඔක්සයිඩ් වායුව ඔක්සිජන් සමඟ ප්‍රතික්‍රියා කරන වායුවකි. එය හෘදයාබාධයක් හෝ ආඝාතය වැළඳීමේ අවදානම වැඩි කරමින් ලේ කැටි තැන්පත් වීමේ ඉඩකඩ වැඩි කරනු ඇත.
බෙන්සීන්: බෙන්සීන් වෙත නිරාවරණය වීමෙන් ජාන මට්ටමින් සෛලවලට හානි පැමිණිය හැකි අතර, එවැනි තත්ව ලියුකේමියාව, වකුගඩු පිළිකා වැනි විවිධ පිළිකා රෝග ඇති වීමට ප්‍රබල සම්බන්ධතාවක් දක්වයි. අතීතයේ දී බෙන්සීන් පෙට්‍රල් හා මිශ්‍ර කිරීමට භාවිත කළ නමුත් සෞඛ්‍ය පිළිබඳව වැඩි සැලකිලිමත්භාවය හේතුවෙන් මෙය ප්‍රායෝගිකව සිදු කිරීම නතර විය. යන්ත්‍රයක දැවෙන්නට හැරීමෙන් පිටවන දුමාරය නිසා සෞඛ්‍ය පිරිහීමේ ප්‍රවණතාව වැළකීමට ලෝකයම එක්ව ක්‍රියා කළත් දුම් පානය කරන්නන් තමන් විසින්ම තමන්ගේ ගෙල මිරිකා ගැනීමට දුම් වැටියෙන් බෙන්සීන් ලබා ගනියි.
පිළිකා: දුම් පානයේ වඩාත්ම භයානක එක් බලපෑමක් වන්නේ පෙනහළු පිළිකා හට ගැනීමේ අවදානමය. දුම්කොළවල දුමෙහි අඩංගු රසායනික ද්‍රව්‍ය පෙනහළුවල ඇති සෛලවලට හානි කර පිළිකා සෛල බවට පත් කරයි. පෙනහළු පිළිකා වර්ධනය කිරීමේ අවස්ථාව පුද්ගලයෙකු සිගරට් බොන ප්‍රමාණය සහ කාලය අනුව තීරණය කරයි.
ඔබ තවමත් ප්‍රමාද නොවූවා විය හැකියි. දුව යන කාලය ආපසු හැරවීමට ඔබට නොහැකියි. එබැවින් කෙටි කාලීන වින්දනයක් පතා දීර්ඝ කාලීනව විඳවීමක් අත්පත් කරගන්නේ ද යන තීරණය ඔබ සතුයි.
සටහන : ශෂිනි ප්‍රනාන්දු