මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මගේ ඇඟ බැදලා තිබෙනවාද, ඔළුව බැදලා තිබෙනවා ද, නැතිනම් කකුල් බැදලා තිබෙනවා ද කියා මම දන්නේ නැහැ.

    මැයි 18, 2015

    මා ඇතුළු ආණ්ඩුවේ අප සියලූ දෙනාටම ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන් දෙදෙනෙකු තහනම් නියෝගයක් පනවා තිබෙන බවත් මේ කියන නියෝගය මගින් මගේ ඇග බැදලා තිබෙනවාද, ඔළුව බැදලා තිබෙනවා ද, නැතිනම් කකුල් බැදලා තිබෙනවා ද කියා තමන් නොදන්නා බව හා මේ නියෝගය කියවීමට ලැබුණොත් නම් තමන්ට සිදු වී තිබෙන්නේ කුමක්ද කියා දැනගත හැකි බවත් අගමැති රනිල් වික්‍රමසිංහමහතා පැවසීය.

    ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා මූලික අයිතිවාසිකම් පෙත්සමක් අධිකරණය හමුවේ ගොනු කිරීම සම්බන්ධව පවසමින් අගමැතිවරයා මේ බව කියා සිටියේ පසුගියදා (14) කොළඹ පදනම් ආයතනයේ පැවති ජනමාධ්‍ය ප්‍රතිව්‍යූහගත කිරීම පිළිබඳ ජාතික සමුළුවේදී ය.

     

    එහිදී අගමැතිවරයා මෙසේ අදහස් දැක්වීය.

     

    “ජනමාධ්‍ය උන්නතිය පිළිබඳ 2015 මහජන ප්‍රකාශනයට අප සියලූ පාර්ශ්වයන් මේ මොහොතේ දී අත්සන් තැබුවා. අප මේ ප්‍රකාශනය සලකන්නේ ජනමාධ්‍ය ශ්‍රී ලංකාවේ නිදහස් වාතාවරණයක යළිත් ක්‍රියාත්මක කරන විශේෂ රාමුව ලෙසයි. එමෙන්ම ඒකාබද්ධ ජාත්‍යන්තර මාධ්‍ය තක්සේරුවේ වාර්තාවත්, එම මාධ්‍ය නියෝජිත නියෝජිතයින් මට භාර දුන්නා. අපේ අරමුණ වී තිබෙන්නේ භාෂණයේ නිදහසට හිතකර බහුත්වවාදී බහුවිධි මාධ්‍ය වාර්තාකරණයක් ඇති කිරීම සඳහා අප සියලූ දෙනාම ඇපකැප වීමයි.

     

    අප මේ මොහොතේ මේ වැඩ කටයුතු කරන්නේ රටේ නිදහස් වාතාවරණයක වන නමුත් ගෙවුණු වකවානුවේ දී මෙවැනි වාතාවරණයක් තිබුණේ නැහැ. ජනමාධ්‍ය සහ ජනමාධ්‍යවේදීන් ඒ කාලයේ ක්‍රියා කළේ දැඩි දුෂ්කරතා මධ්‍යයේ වන අතර සමහර මාධ්‍ය ආයතනවලට සහ මාධ්‍යවේදීන්ට බලපෑම් එල්ල වුණා. සමහර මාධ්‍ය ආයතනවලට පුද්ගලික අංශයෙන් සහ රාජ්‍ය අංශයෙන් දැන්වීම් නතර කළ අතර බොහෝ මාධ්‍යවේදීන්ට තර්ජන එල්ල කළා. ඒ හේතුවෙන් සමහර මාධ්‍යවේදීන් රට හැර ගිය අතර ලසන්ත වික්‍රමතුංග වැනි මාධ්‍යවේදීන් ගණනාවක් මරුමුවට පත් කළා. එපමණක් නොව, ප්‍රගීත් එක්නැලිගොඩ වැනි මාධ්‍යවේදීන් අතුරුදන් කරනු ලැබුවා. ඒ වගේම ජනමාධ්‍ය ආයතනවලට ද පහර දුන් අතර එක අවස්ථාවක දී සිරස රූපවාහිනී නාළිකාවට කඩා වැදී ඊට පහර දී සම්පූර්ණයෙන්ම විනාශ කළා. යාපනයේ උදයන් පුවත්පතේ මුද්‍රණාලය ක්‍රියාත්මක කරගෙන ගියේ අති දුෂ්කර තත්ත්වයන් හමුවේ වන අතර ඒ සමහර අයගේ ජීවිත පවා අහිමි වුණා.

     

    යහපාලනය යටතේ ජනමාධ්‍ය සහ මාධ්‍යවේදීන් මුහුණ දුන් ඒ අදුරු යුගය මේ වන විට සම්පූර්ණයෙන්ම අවසන් වී තිබෙනවා. මේ වෙනස ඇති වූයේ මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරණයෙන් ජය ගෙන ජනාධිපති ධූරයේ දිවුරුම් දී අලූත් ආණ්ඩුව යටතේ දින 100 වැඩසටහන ක්‍රියාත්මක කිරීමත් සමගයි.

     

    රජයේ බලපෑම් එල්ල නොවන්නේ යැයි කියා ද, සුදු වෑන් නැතැයි කියා ද, ජනමාධ්‍ය ආයතනවලට සහ මාධ්‍යවේදීන්ට පහර නොදෙන්නේ යැයි කියා ද මේ ප්‍රශ්න විසදෙන්නේ නැහැ. ජනමාධ්‍ය ආයතන සහ මාධ්‍යවේදීන්ගේ නිදහස සහ ආරක්‍ෂාව තහවුරු කෙරෙන රාමුව සකස් කළ යුත්තේ අප සියලූ දෙනාම එකට ඒකරාශී වීමෙනුයි.

     

    මාධ්‍යවේදීන් ඝාතනවලට ලක් වීමේ සහ අතුරුදන් වීමේ සිද්ධීන් පිළිබඳව කරුණු විමර්ශනය කිරීම සඳහා ජනමාධ්‍ය සහ සිවිල් සංවිධාන සමග සාකච්ඡා කර විශේෂ කොමිසමක් පත් කිරීමට රජය තීරණය කර තිබෙනවා.

     

    මේ කරුණු කාරණා සම්බන්ධයෙන් රජයට ද, මාධ්‍යවේදීන්ට ද, රජයේ මාධ්‍යයට ද, පුද්ගලික මාධ්‍ය හිමිකරුවන්ට ද යුතුකම් තිබෙන නමුත් ඒ යුතුකම් සියයට සියයක් ඉටු වනවා ද යන ප්‍රශ්නය මතු වී තිබෙනවා. එමෙන්ම මාධ්‍ය ආරක්‍ෂා කිරීමට නම් ඒ සඳහා හොඳ පුහුණුවක් තිබිය යුතු අතර මාධ්‍යවේදීන්ට එම ෙක්‍ෂ්ත්‍රය සම්බන්ධයෙන් වෘත්තීය පුහුණුවක් ලබා දී ඉදිරියට ගෙන යා යුතුයි.

     

    මේ ප්‍රශ්නවලට මුහුණ දී විසඳුම් සොයා ගෙන මේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා රජයක් ලෙස දිය හැකි අනුග්‍රහය සහ ආධාර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත්, මම ඇතුලූ කැබිනට් මණ්ඩලයත් උපරිමයෙන් ලබා දෙන බවට සහතික වනවා.

     

    මට ප්‍රථමයෙන් කතා කළ මගේ මිත්‍ර විපක්‍ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා ජනමාධ්‍යයේ තිබෙන අඩුපාඩුකම් ගැන කරුණු ඉදිරිපත් කළා. එතුමා ඉදිරිපත් කළ ඇතැම් කරුණු සම්බන්ධයෙන් මම ද එතුමා සමග එකඟ වන නමුත් ඒ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් කරුණු ඉදිරිපත් කරන්නේ නැහැ.

     

    එමෙන්ම අපට විවිධ තොරතුරු ලබා ගැනීමේ හැකියාව සහ අවස්ථාව මාධ්‍ය හේතුවෙන් තිබෙන අතර අගමැතිවරයා ලෙස මම සමහර තොරතුරු ලබා ගන්නේ ද මාධ්‍යයෙනුයි. මා ඇතුලූ ආණ්ඩුවේ අප සියලූ දෙනාටම ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන් දෙදෙනෙකු තහනම් නියෝගයක් පනවා තිබෙන බව මම දැනගත්තේ උදෑසන මුද්‍රිත මාධ්‍ය කියවන විටයි.

     

    හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ගොනු කළ පෙත්සම සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය ඔහු සම්බන්ධ පරීක්‍ෂණ අවසන් වනතුරු ඔහුව අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් නියෝගයක් දී තිබෙන බව ජනමාධ්‍ය වාර්තා කර තිබුණා.

     

    කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් උසාවියට පැමිණ කරුණු දක්වන ලෙසට දන්වමින් උසාවියෙන් මට මෙතෙක් දැනුම්දීමක් කර නැහැ. එමෙන්ම අපේ කැබිනට් මණ්ඩලයේ කිසිම කැබිනට් ඇමැතිවරයෙකුට ද කිසිම උසාවියකින් එවැනි දැනුම්දීමක් කර නැහැ. මේ සියල්ල සිදු වී තිබෙන්නේ අප දේශපාලන දඩයමක් කිරීමට යන්නේ යැයි කියන මතයේ සිටයි.

     

    ශ්‍රේෂ්ඨාධිකරණය දී තිබෙන මේ තීන්දුව සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයට කරුණු දැක්වීමට මට අවශ්‍ය වූ නිසා මේ ගැන මම නීතිපතිවරයාගෙන් විමසා සිටි අවස්ථාවේ දී ඔහු කියා සිටියේ මේ නියෝගය කුමක්ද කියා තමාවත් නොදන්නා බවයි.

     

    එම නිසා මේ කියන නියෝගය මගින් මගේ ඇග බැදලා තිබෙනවාද, ඔලූව බැදලා තිබෙනවා ද, නැතිනම් කකුල් බැදලා තිබෙනවා ද කියා මම දන්නේ නැහැ. මේ නියෝගය කියවීමට ලැබුණොත් නම් මට සිදු වී තිබෙන්නේ කුමක්ද කියා මට දැනගත හැකියි.

     

    මූලික අයිතිවාසිකම් පෙත්සමක් අධිකරණය හමුවේ ගොනු කිරීමට හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට තිබෙන අයිතිය මම ප්‍රශ්න කරන්නේ නැහැ. සිය මූලික අයිතිවාසිකම් සම්බන්ධයෙන් පෙත්සමක් ගොනු කිරීමට රටේ ඕනෑම පුරවැසියෙකුට අයිතියක් තිබෙනවා.

     

    එහෙත් ප්‍රශ්නය වී තිබෙන්නේ ඒ මූලික අයිතිවාසිකම් පෙත්සම මගින් දක්වා තිබෙන කරුණු සම්බන්ධයෙන් පිළිතුරු ලබා දීමට කැබිනට් මණ්ඩලයේ අපට තවමත් අවස්ථාවක් නොලැබීම විශාල ප්‍රශ්නයක් වී තිබෙනවා.

     

    ජනමාධ්‍ය වාර්තා කර තිබෙන ආකාරයට නම් මේ කරුණු කාරණා සම්බන්ධයෙන් ඔක්තෝබර් මාසය වනතුරුම මටත්, කැබිනට් මණ්ඩලයටත් පිළිතුරු දීමට හැකියාවක් ඇත්තේ නැහැ. එහෙත් මේ කරුණු කාරණා සම්බන්ධයෙන් බොහොම ලේසියෙන් සහ පහසුවෙන් උත්තර ලබා දිය හැකියි. උසාවිය මට මේ සම්බන්ධයෙන් යම් දැනුම්දීමක් කර තිබුණා නම් මම බලාපොරොත්තු වූයේ ඉක්මනට උසාවියට ගොස් මේ ගැන කරුණු ඉදිරිපත් කිරීමටයි.

     

    මේ පරීක්‍ෂණ හරහා ආණ්ඩුව දේශපාලන දඩයමක් කරන බවට චෝදනා එල්ල කළත්, බරපතළ මූල්‍ය වංචා සහ දූෂණ සම්බන්ධයෙන් ඉදිරිපත් කෙරෙන පැමිණිලි විමර්ශනය කිරීම සඳහා පිහිටුවා තිබෙන ඒකකය පිහිටුවා තිබෙන්නේ පොලිස්පතිවරයා යටතේයි. එමෙන්ම ඒ විශේෂ ඒකකය පිහිටුවා තිබෙන්නේ පොලිස් දෙපාර්තමේන්තුවේම අලූත් අංශයක් ලෙසයි. එපමණක් නොව, මේ විශේෂ ඒකකයට ලැබෙන පැමිණිලි සියල්ල විමර්ශනය කෙරෙන්නේ නීතිපතිවරයාගේ උපදෙස් සහ අනුමැතිය යටතේයි.

     

    මූලික අයිතිවාසකම් උල්ලංඝණය කිරීමට අදාළව සහන ලබා දෙන්නේ හදිසි අවශ්‍යතාවයක් ලෙස සලකා නීතියේ වෙනත් සහනයක් නොමැති නම් පමණයි. බරපතළ මූල්‍ය අපරාධ සහ දූෂණ සම්බන්ධයෙන් කරුණු විමර්ශනය කරන ඒකකයට නීත්‍යානුකඣල බලයක් තිබෙනවා ද, නැද්ද යන්න පිළිබඳව ද, එමගින් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වුනා ද, නැද්ද යන්න පිළිබඳව ඉක්මනින්ම දැන ගැනීමට ගෝඨාභය රාජපක්‍ෂට අයිතියක් තිබෙනවා. එමෙන්ම ඊට අදාළව ඉතා ඉක්මනින්ම අපේ කරුණු ඉදිරිපත් කිරීමට ද, අපට අයිතියක් තිබෙනවා. එපමණක් නොව, මේ පරීක්‍ෂණ ඒකකය නීතියට විරුද්ධ ද, නැද්ද සහ එමගින් දේශපාලන දඩයමක් ඇත්තටම සිදු වනවා ද, නැද්ද යන්න පිළිබඳව ඉක්මනින් දැන ගැනීමට ජනතාවට ද අයිතියක් තිබෙනවා.

     

    එම නිසා මේ කරුණු කාරණා සම්බන්ධයෙන් ඉතාම ඉක්මනින් ක්‍රියා කළ යුතුව තිබෙන අතර එසේ නොවුණහොත් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේත්, කැබිනට් මණ්ඩලයේත්, ජනතාවගේත් අයිතිය උල්ලංඝණය වීමට ඉඩ තිබෙනවා.

     

    භාණ්ඩාගාර බිල්පත් ගනුදෙනුවට අදාළව මහ බැංකු අධිපතිවරයාට එරෙහිව නඩු පැවරීමත් සමගම මගේ අමාත්‍යාංශය වන ප්‍රතිපත්ති සැලසුම් සහ ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයාට එරෙහිව ද මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කෙරුණා. මේ මූලික අයිතිවාසිකම් නඩුව මාර්තු මාසයේ ඉදිරිපත් කෙරුණු අතර අපේ‍ර්ල් මාසයේ දී ශ්‍රේෂ්ඨාධිකරණයේ සති දෙකක නිවාඩුවක් ද තිබුණා. එමෙන්ම අපේ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ නඩුවට මේ කාලයේ දී ඇහුම්කන් දීමට ද ශ්‍රේෂ්ඨාධිකරණයට සිදුවුණා. එහෙත් එම මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බලා එම පෙත්සම නිෂ්ප්‍රභා කරමින් බ්‍රහස්පතින්දා (14) වන විට තීන්දුවක් ලබා දීමට ශ්‍රේෂ්ඨාධිකරණයට හැකි වුණා. ඒ අනුව බැලූවාම මගේ අමාත්‍යාංශයේ ලේකම්වරයා මට වඩා වාසනාවන්ත පුද්ගලයෙකු බව කිව යුතුයි.

     

    ශ්‍රේෂ්ඨාධිකරණය දී තිබෙන නියෝගය ජනමාධ්‍ය මගින් වාර්තා කර තිබෙන ආකාරයට මේ කරුණු කාරණා සම්බන්ධයෙන් අපට උත්තර බැදීමට සිදුවන්නේ ඔක්තෝබර් මාසයේදීයි. මේ අතර සැප්තැම්බර් මාසය වන විට මේ රටේ අලූත් ආණ්ඩුවක් සහ අලූත් පාර්ලිමේන්තුවක් ඇති වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කියා තිබෙනවා.

     

    ඒ අනුව බැලූවාම මේ නඩු පැවරීම සිදුවීමට නියමිතව තිබෙන්නේ 2010 පාර්ලිමේන්තුවෙන් පත්වූ ඇමැති මණ්ඩලයට සහ අගමැතිවරයාටයි. ඉදිරි මහ මැතිවරණයෙන් බලයට පත්වී ආණ්ඩුව පිහිටුවන්නේ ද අපමයි. එහෙත් එවිට තිබෙන්නේ 2015 දී තේරී පත් වූ අලූත් පාර්ලිමේන්තුවක් සහ අලූත් කැබිනට් මණ්ඩලයකුයි. ඒ අනුව 2015 අලූත් පාර්ලිමේන්තුව සහ කැබිනට් මණ්ඩලය 2010 පාර්ලිමේන්තුවෙන් පත්වූ කැබිනට් මණ්ඩලයේ ක්‍රියාදාමයට වගකියන්නේ කෙසේද?

     

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ රටේ නායකයා පමණක් නොව, පොදු රාජ්‍ය මණ්ඩලයේ සභාපතිවරයා ද වනවා. එම නිසා රටක් ලෙස අප ක්‍රියා කළ යුත්තේ පොදු රාජ්‍ය මණ්ඩලීය යහපාලන රාමුව යටතේයි. එම නිසා මේ ප්‍රශ්නයේ දී ආණ්ඩුවක් ලෙස අප ගත යුතු හොඳම තීරණය වන්නේ පොදු රාජ්‍ය මණ්ඩලීය ලේකම් කාර්යාලය මාර්ගයෙන් එම මණ්ඩලයේ අදාළ අධිකරණ අංශයෙන්, විනිසුරුවරුන්ගේ සංගමයෙන් සහ නීතිවේදීන්ගේ සංගමයෙන් මේ පිළිබඳ මතය විමසීමයි. ඒ මන්ද, අප මේ සියල්ල ක්‍රියාත්මක කළ යුත්තේ පොදු රාජ්‍ය මණ්ඩලීය මූලධර්ම ඇතුළත් රාමුවට අනුකූලවයි.


    මේ උද්ගත වී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් පොදු රාජ්‍ය මණ්ඩලයෙන් කරුණු විමසීම විදේශීය ඇගිලි ගැසීමකට මඟ පෑදීමක් ලෙස නොසලකනු ඇතැයි මම විශ්වාස කරනවා. පොදු රාජ්‍ය මණ්ඩලයේ සභාපති වන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වන නිසා මේ වැඩ කටයුතු එසේ කිරීමට එතුමාට ද යුතුකමක් තිබෙනවා. “ යැයි ඒ මහතා පවසා සිටියේය.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya