ශ්‍රී ලංකාව හා ප්‍රංශය අතර දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරමින් සංචාරක හා ආයෝජන අවස්ථා වැඩිදියුණු කිරීමේ වැදගත්කම කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අවධාරණය කළේය.
ප්‍රංශ සෙනෙට් සභාවේ නියෝජිත පිරිසක් පසුගිය 21 වනදා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේදී කථානායකවරයා හමුවූ අවස්ථාවේදී ඔහු මෙම අදහස් පළ කළේය.
එහිදී දෙරට අතර දශක 70කට අධික කාලයක් පුරා අන්‍යෝන්‍ය ගෞරවය සහ පොදු වටිනාකම් මත ගොඩනැගුණු සබඳතා පිළිබඳව කථානායකවරයා අවධාරණය කළ අතර, පාර්ලිමේන්තු රාජ්‍යතාන්ත්‍රිකත්වයේ වැදගත්කම ද ඉස්මතු කළේය.
ආර්ථික සහයෝගිතාව පිළිබඳවද අවධානය යොමු කරමින්, ප්‍රංශය ශ්‍රී ලංකාවේ ප්‍රධාන සංචාරක වෙළඳපොළක් බවත්, එම පසුබිම තුළ සංචාරක හා ආයෝජන අවස්ථා තවදුරටත් වර්ධනය කිරීමේ අවශ්‍යතාව ඔහු පෙන්වා දුන්නේය.
එමෙන්ම සංචාරක ආරක්ෂාව, තාක්ෂණය මත පදනම් වූ සේවා වර්ධනය සහ ගුවන් සම්බන්ධතා පුළුල් කිරීම සඳහා ප්‍රංශ ගුවන් සේවාවන් සමඟ සහයෝගිතාව ශක්තිමත් කිරීමේ වැදගත්කම ද මෙහිදී අවධාරණය විය.
මෙම හමුවේදී සමුද්‍රීය ආරක්ෂාව සහ “නිල් ආර්ථිකය” වැනි ක්ෂේත්‍රවල ද්විපාර්ශ්වික සහයෝගිතාව වැඩිදියුණු කිරීම පිළිබඳවද සාකච්ඡා කෙරුණි.
ඒ අනුව, මෙම හමුව ශ්‍රී ලංකාව හා ප්‍රංශය අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් පුළුල් කිරීම සඳහා වැදගත් පියවරක් ලෙස සැලකේ.
මෙම රැස්වීම් සඳහා පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය, ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති රෙමි ලැම්බර්ට් මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් ද සහභාගී වූහ.


