සෞඛ්‍ය සහ ජනමාධ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව පළමුවරට රැස්වෙයි

සෞඛ්‍ය සහ ජනමාධ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව පළමුවරට රැස්වෙයි
  • SocialShare:
දසවැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරයේ සෞඛ්‍ය සහ ජනමාධ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව පළමුවරට පසුගියදා (04) පාර්ලිමේන්තුවේදී රැස්විය.
ඒ එම කාරක සභාවේ සභාපති, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන්. මේ අවස්ථාව සඳහා සෞඛ්‍ය සහ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි සහ නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි  සාලි යන මහත්වරුන්ද සහභාගී වී සිටියහ.

මෙහිදී දිවයිනපුරා රෝහල් හා ඒ ආශ්‍රිතව පවතින ගැටලු සම්බන්ධයෙන්  මන්ත්‍රීවරයන් කාරක සභාවේ අවධානයට යොමුකළහ. ඒ අනුව දැනට රෝහල්වල භාවිතයට නොගෙන ගාල් කර ඇති ගිලන් රථ වල පවතින දෝෂ සකස් කර රෝගී සත්කාර සේවාවලට භාවිතා කිරීම පිළිබඳව කාරක සභාවේදී සාකච්ජා විය. එහිදී අදහස් දැක්වූ ගරු මන්ත්‍රීවරයන් එම දෝෂ සහිත ගිලන් රථ, රජයට වැය බරක්‌ නොමැතිව පෞද්ගලික මට්ටමින් සකස් කර භාවිතට ගැනීම සඳහා පවතින නීතිමය තත්ත්වයන් පිළිබඳව නිලධාරීන්ගෙන් විමසා සිටියහ. ඒ අනුව එම තත්ත්වය පිළිබඳව සොයාබලා හැකි ඉක්මනින් ගරු මන්ත්‍රීවරයන් දැනුත් කිරීමට සුදානම් බව අදාළ නිලධාරීහු කාරක සභාවට දැන්වූහ.
මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සුළු නඩත්තු කටයුතු සිදුකිරීමට අවශ්‍ය රථවාහන වෙනුවෙන් පළාත් මට්ටමින් නඩත්තු ඒකක ස්ථාපිත කිරීම යෝග්‍ය බවත් ඒ අනුව බස්නාහිර පළාත තුළ එහි ආරම්භක පියවරක් ලෙස එවැනි ඒකකයක් ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවයි.
එමෙන්ම මඩකලපුව දිස්ත්‍රික්කයේ ඔසුසලක් ස්ථාපිත කිරීම පිළිබඳවද කාරක සභාවේදී සාකච්ඡා විය. ඒ අනුව අදාළ ස්ථානය හා භූමි ප්‍රමාණයන් නිශ්චිතව හඳුනාගැනීමෙන් අනතුරුව එම ඔසුසල හැකි ඉක්මනින් ස්ථාපිත කර අවසන් කරන බව නිලධාරීහු පැවසූහ. මිට අමතරව නැගෙනහිර පළාතේ රෝහල්වල ඉදිකිරීම් සම්බන්ධයෙන්ද කාරක සභාවේ අවධානය යොමු විය. ඒ අනුව සම්පුර්ණයෙන් ඉදිකිරීම් අවසන් නොකරන ලද රෝහල්වල ඉදිකිරීම්, අවසන් කිරීමට රජය ප්‍රමුඛස්ථානය ලබා දී ඇති බව කාරක සභාව පැවසීය. තවද මෙම සාකච්ඡාවේදී ප්‍රාදේශීය රෝහල්වල පවතින අඩුපාඩු, වෛද්‍යවරුන්ගේ හිඟය, වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරුවීම් ආදී කරුණු සම්බන්ධයෙන් ද අවධානය යොමුවිය.
එමෙන්ම ජනමාධ්‍ය අමාත්‍යාංශයේ කටයුතු පිළිබඳවද කාරක සභාවේදී සාකච්ඡා විය. ඒ අනුව රජරට ප්‍රාදේශීය ගුවන් විදුලියේ විකාශන කටයුතු ඉදිරියටත් පවත්වාගෙන යන්නේද යන්න මන්ත්‍රීවරයන් නිලධාරීන්ගෙන් විමසීය. ඒ අනුව වර්තමානයේ රජරට ගුවන් විදුලිය බොහෝ දුෂ්කරතා මධ්‍යයේ විකාශන කටයුතු සිදුකරන බවත් එය නවතා දැමීම පිළිබඳව කිසිඳු තීරණයක් ගෙන නොමැති බවත් නිලධාරීහු කාරක සභාවට දැන්වුහ. එමෙන්ම එම ගුවන් විදුලිය නැවත ඉහළ මට්ටමකට ගෙන ඒම සඳහා සැලසුම් සකස් කර ඇති බවද එම නිලධාරීහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසූහ. රජරට සේවය සඳහා ස්වේච්ඡාවෙන් සම්පත් දායකත්වය ලබාදීම වෙනුවෙන් විශාල කලාකරුවන් හා විද්වතුන් පිරිසක් සුදානමින් සිටින බවත් ඒ සඳහා සම්බන්ධ වීමට විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීමට කටයුතු කරන ලෙසත් මෙහිදී අදහස් දක්වමින් ගරු මන්ත්‍රීවරයන් අවධාරණය කළහ.
එකිනෙකට වෙනස් විෂය පථයන් දෙකක් පවතින මෙම අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව එක සැසියකට පැවැත්වීමට වඩා එය සැසි දෙකක් ලෙස ක්‍රියාත්මක කළයුතු බව මන්ත්‍රීවරයන් මෙහිදී යෝජනා කළහ. ඊට පිළිතුරු දැක්වූ කාරක සභා සභාපතිවරයා, අමාත්‍යාංශයේ විෂය පථයන් දෙක පිළිබදව කෙටි කාල සීමාවක් තුළ විධිමත්ව සාකච්ජා කිරීමට අපහසු බවත් මන්ත්‍රීවරයන් යෝජනා කළ පරිදි ඉදිරියේදී මෙම කාරක සභාව තුළ අදාල විෂය පථයන් දෙක වෙන වෙනම සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බවත් පැවසුවේය.
මෙම කාරක සභා රැස්වීම සඳහා ගරු අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන්, කාරක සභා සාමාජික ගරු මන්ත්‍රීවරයන් ඇතුළු අනෙකුත් මන්ත්‍රීවරයන්, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඇතුළු සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යංශයේ නිලධාරීහු පිරිසක් සහභාගීවී සිටියහ.
 
Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.