ඉදිරි කාලය තුළ පාතාලය අවසන් කිරීමට සියලු ක්‍රියාමාර්ග ගන්නවා -

 ඉදිරි කාලය තුළ පාතාලය අවසන් කිරීමට සියලු ක්‍රියාමාර්ග ගන්නවා -
  • SocialShare:

ජනතාවගේ ආරක්ෂාව සඳහා පවතින නිල ආයතනවල ඇතැම් පුද්ගලයන් දක්වාම පාතාලය පැතිරී ඇති බව විමර්ශනවලින් හෙලිවන බවත් අනිවාර්යෙන්ම ඉදිරි කාලය තුළ පාතාලය සහමුලින්ම අවසන් කිරීමට සියළු කටයුතු කරන බවත් ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (20) පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය. ඒ සඳහා යම් කාලයක් ගතවන බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

ජනාධිපතිවරයා මේ බව පවසා සිටියේ දසවැනි පාර්ලිමේන්තුවේ ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ පළමු රැස්වීම අද පාර්ලිමේන්තුවේදී එතුමාගේ සභාපතීත්වයෙන් පැවැත්වූ අවස්ථාවේදී ය.

මෙහිදී මෙරට අධිකරණ සංකීර්ණවල ආරක්ෂාව පිළිබඳ අදහස් දක්වමින් ගරු අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පවසා සිටියේ අධිකරණ සංකීර්ණවල ආරක්ෂාව සම්බන්ධව යෝජනාවලියක් සකස් කොට ඇති බවත් ඉදිරියේදී නීතිඥයන් ඇතුළු සියලු පාර්ශ්ව පරීක්ෂාවට ලක්කරමින් නවීන තාක්ෂණය ද භාවිතකොට අධිකරණ සංකීර්ණවල ආරක්ෂාව වැඩිකිරීමට පියවර ගන්නා බවත්ය.

 

මේ අතර, උතුරු නැගෙනහිර පළාත්වල යුධ හමුදා කඳවුරු සහිත ඉඩම් නැවත මුල් අයිතිකරුවන්ට නිදහස් කිරීම පිළිබඳව ද මෙහිදී මන්ත්‍රීවරු කරුණු ඉදිරිපත් කළහ. මෙහිදී ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා පවසා සිටියේ උතුරු නැගෙනහිර පමණක් නොව සමස්ත දිවයිනේම ත්‍රිවිධ හමුදාව භාවිතා කරන ඉඩම් පිළිබද නැවත විගණනයක් හෝ ඇගයීමක් සිදුකර ඉඩම් නිදහස් කිරීම සම්බන්ධයෙන් ඉදිරි තීරණයන් ගන්නා බවයි.

හමුදාව මගින් පාලනය වන සංචාරක හෝටල් ඇතුළු ව්‍යාපාර, සංචාරක කර්මාන්තය සඳහා වඩාත් ඵලදායි ආයෝජන කෙරෙහි යෙදවීමට ඇති හැකියාව පිළිබඳව ද මන්ත්‍රීවරු මෙහිදී විමසීම් කළහ. ඒ අනුව ඉදිරියේදී ඒ සම්බන්ධ‍යෙන් අධ්‍යයනයක් සිදුකර ආර්ථික ප්‍රතිලාභ සඳහා ඒවා යොදා ගැනීම පිළිබඳව තීරණය කිරීමට හැකියාව පවතින බව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

උතුරු පළාතේ ස්ථාපිත ඇතැම් සිද්ධස්ථාන මුල්කොටගෙන යම් වාර්ගික හා ආගමික බෙදීම් ඇති විමේ හැකියාවක් ඇති බව මෙහිදී ඇතැම් මන්ත්‍රීවරු ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කළහ. මෙහිදී ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ ආගමිකවාදය සහ ජාතිවාදය දේශපාලනයෙන් සහමුලින්ම ඉවත්විය යුතු බවයි. එම ප්‍රදේශයේ පුරවැසියන්ගේ අවංක උවමනාව මත මෙම සියලු ප්‍රශ්න විසඳාගතහැකි බවත් ඇතැම් පටු දේශපාලන වාසි අපේක්ෂා කරන කණ්ඩායම් මෙවැනි අවස්ථාවන් දේශපාලන ගැටලු බවට පත් කරන බවත් ජනාධිපතිවරයා පැවසීය. එබැවින් පටු දේශපාලන වාසි තකා ජාතිවාදය සහ ආගම්වාදය ඇතිකිරී‍මට කිසිවෙකුට ඉඩ නොතැබීමට කටයුතු කරන බවත් ජනාධිපතිවරයා අවධාරණය කර සිටියේය.

එසේම ජාතික ආපදා කමිටුව ස්ථාපිත කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව ද මෙහිදී අවධානය යොමුවිය. ඒ අනුව එම කටයුතු කඩිනමින් අවසන් කරන ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට අවශ්‍ය උපදෙස් ලබා දුන්නේය.

ගරු නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි, ගරු ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික), අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ද ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික), ත්‍රිවිධ හමුදාපතිවරුන් ඇතුළු ආරක්ෂක අමාත්‍යාංශය සහ ඒ යටතේ ඇති ආයතනවල නිලධාරී පිරිසක් ද පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.