පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීමක් ලබන 14 සිකුරාදා කැඳවීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කරයි

පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීමක් ලබන 14 සිකුරාදා කැඳවීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කරයි
  • SocialShare:

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පතට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර ඇති පෙත්සම්වලට අදාළ තීරණය කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම්දීම සඳහා පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීමක් 2025 පෙබරවාරි 14 වැනි සිකුරාදා පෙ.ව. 9.30 ට කැඳවීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කර තිබේ.

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (පෙබ. 10)  රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මේ බව තීරණය වී ඇත.

ඒ අනුව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 16 හි විධිවිධාන ප්‍රකාරව අග්‍රාමාත්‍යවරිය,  කථානායකවරයා වෙත කරනු ලබන ඉල්ලීමක් මත මෙම කැඳවීම සිදු කරනු ලැබේ. එසේම පෙබරවාරි 14 වැනිදා මෙම පනත් කෙටුම්පත සළකා බැලීම සඳහා අදාළ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව රැස් කිරීමට ද මෙහිදී තීරණය වී තිබේ.

පළාත් පාලන ඡන්ද විමසීම කඩිනමින් පවත්වන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇති පසුබිමක ඊට ගරු කිරීමක් ලෙස මැතිවරණය තවදුරටත් ප්‍රමාදයකින් තොරව පැවැත්වීමේ අවශ්‍යතාව මෙහිදී සභානායක, අමාත්‍ය බිමල් රත්නායක මහතා අවධාරණය කර ඇත.  

මේ අනුව පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පතට අදාළ දෙවැනිවර කියවීමේ විවාදය ලබන 17 වැනි සඳුදා ‍ප.ව. 2.00 සිට ප.ව. 7.00 දක්වා පැවැත්වීමටත් මෙහිදී තීරණය විය.

තවද  විපක්ෂය පනත් කෙටුම්පතට අදාළව ගෙනෙනු ලබන සංශෝධන පෙබරවාරි 17 වැනිදා පෙ.ව. 10.00 ට පෙර ලබාදීමටත් මෙහිදී එකඟත්වය පළවී ඇත.   
එසේම, ජනාධිපතිවරයා, මුදල් විෂය භාර අමාත්‍යවරයා ලෙස 2025 වර්ෂයට අදාළ විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම (අයවැය කථාව ඉදිරිපත් කිරීම) පෙර තීරණය කළ පරිදි ලබන 17 වැනි සදුදා ‍පෙ.ව. 10.30 ට සිදු කිරීමට නියමිතය.     

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.