අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2019 නේපාලයේ පැවති දකුණු ආසියානු ක්‍රීඩා උළෙල පිළිබද ශ්‍රී ලංකාවේ සහභාගීත්වය- සමාලෝචන කමිටුවේ වාර්තාව පිළිගැන්වෙයි

    පෙබරවාරි 29, 2020

    2019 නේපාලයේ පැවති දකුණු ආසියානු ක්‍රීඩා උළෙල පිළිබද ශ්‍රී ලංකාවේ සහභාගීත්වය සමාලෝචනය කිරීම සදහා අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා විසින් පත් කළ කමිටුවේ වාර්තාව ( 27)ක්‍රීඩා අමාත්‍යංශයේදි අමාත්‍යතුමා වෙත පිළිගන්වන ලදි.

    මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ


    මෙම තරගාවලිය පිළිබදව ක්‍රීඩා අමාත්‍යාංශය, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව ඇතුලු ක්‍රීඩා සංගම් හා නිළධාරීන් ද සම්බන්ධයෙන් දැඩි විවේචනයක් මාධ්‍යගත වුණා. සියලුම මාධ්‍ය වාර්තා විවිධ  කෝණ වලින් මෙය දිහා බලලා ධනාත්මක විවේචන රාශියක් ඉදිරිපත් කරලා තිබුණා. අපි ඒ එකක්වත් සෘනාත්මකව හිතුවේ නැහැ. ඒ සියල්ල ගෞරවයෙන් භාර ගන්නවා. මේ පිළිබදව එල්ල වූ  චෝදනා සියල්ල පදනම් කරගෙන මීට සති 07 කට පමණ පෙර අමාත්‍යාංශය විදියට අපි තීරණය කළා සමස්ථ ක්‍රීඩා උළෙල සම්බන්ධයෙන් සොයා බැලීමක් කරන්න.

    ඒ අනුව අපි විශේෂ කමිටුවක් පත් කළා. එහි සභාපති ලෙස ග්‍රෙගරි ගැමුණු ද සිල්වා මහතා කටයුතු කළ අතර කමිටු සාමාජිකයින් ලෙස එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) එල්මෝ පෙරේරා, සමන්  කුමාර ගුණවර්ධන, දමින්ද විජේසූරිය යන මහත්වරු කටයුතු කළා. මේ සියළු දෙනා ක්‍රීඩාවේ විවිධ මානයන්හි කැපවීමෙන් සේවය කරපු මහත්වරුන්. ඔවුන් ස්වෙච්ඡාවෙන් මේ කටයුත්ත සිදු  කළා. ප්‍රධාන කරුණු 10 ක් ඔස්සේ විශාල කැපකිරීමකින් සති 06 ක පමණ කාලයක් පුරා හොද අධ්‍යයනයක් කරලා මේ පිළිබද පරිපූර්ණ වාර්තාවක් හදලා ඉදිරිපත් කළා කියලා මම විශ්වාස  කරනවා. එම වාර්තාව තමයි ඔබ සියලුදෙනා ඉදිරිපිටදී අද මා අතට පත් වූයේ.

    මෙහි අන්තර්ගතය ගැන කතා කරන්න මෙහි අඩංගු කරුණු ගැන හැදෑරිමක් කරන්න අවශ්‍යයි. අමාත්‍යාංශය පැත්තෙන් මේ සම්බන්ධව අධ්‍යනය කර අවසන් වූ වහාම මාධ්‍ය සමග වාර්තාවේ  අඩංගු කරුණු ගැන පරිපූර්ණ සාකච්ඡාවකට එළඹෙන්න පුළුවන් වෙනවා. මෙම වාර්තාවේ අඩංගු ධනාත්මක හෝ සෘනාත්මක කිසිදු කරුණක් සගවන්නේ නැතිව මාධ්‍ය වෙත සම්පූර්ණ  වාර්ථාවම ඉදිරිපත් කරන බවට මම සහතික වෙනවා.

    එහිදී මාධ්‍ය ඇමතූ අමාත්‍යවරයා තව දුරටත් ප්‍රකාශ කළේ, මෙලෙස මෙම වාර්ථාව සකස් වීම ශ්‍රී ලංකාවේ මාධ්‍ය මෙහෙවරට, මාධ්‍ය භාවිතාවට සිදු කළ ගෞරවයක් ලෙස පිළිගන්වනවා. සමහර  විවේචන අපිට ලැබෙන්නේ ක්‍රීඩාව රැක ගැනීමේ, ක්‍රීඩාවේ ආත්මය රැකගැනීමේ වුවමණාවෙන් කරන දේවල් ලෙස. ඒ නිසා අපේත් වගකීමක් තිබෙනවා එයට අවශ්‍ය නායකත්වය, මැදිහත්වීම  ලබා දෙන්න. වඩාත් නිවැරදි, නිරෝගී ක්‍රීඩාවක් වෙනුවෙන් මාධ්‍ය ගන්නා වෑයම සම්බන්ධයෙන් මම ස්තූතිවන්ත වෙනවා.

    මෙම අවස්ථාවට ක්‍රීඩා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (පාලන හා ප්‍රසම්පාදන) වී.කේ.ඒ.අනුර මහතා, අතිරේක ලේකම් (සංවර්ධන) එස්.අරුල් රාසා මහතා හා ක්‍රීඩා සංවර්ධන  දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා සහභාගී විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya