අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික ක්‍රීඩා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ කාර්යසාධන බලකාය ස්ථාපිත කරයි

    ජූලි 09, 2014
    අමාත්‍ය මණ්ඩලය හා පාර්ලිමේන්තුව විසින් සම්මත කොට ඇති ජාතික ක්‍රීඩා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ යාන්ත්‍රණය සකස් කිරීම සඳහා අමාත්‍යාංශ ලේකම්වරුන්, විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන්, ක්‍රීඩා පරිපාලකයින් හා ක්‍රීඩා විශේෂඥයින්ගෙන් සමන්විත කාර්යය සාධන බලකායක්, ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ උපදෙස් පරිදි පිහිටුවා ඇතැයි ක්‍රීඩා අමාත්‍යාංශය පවසයි.
    නිදහසින් පසු මෙරට ක්‍රීඩාවේ සෑම අංශයක්ම අධ්‍යයනය කර ඉදිරි දශකයේ මෙරට ක්‍රීඩාවේ ගමන්මග සැලසුම්ගතව විධිමත් ජාතික වැඩපිළිවෙළක් මත මෙහෙයවීම සඳහා පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ පූර්ණ එකඟතාවෙන් සම්මත කළ ජාතික ක්‍රීඩා ප්‍රතිපත්තිය පාසල් ක්‍රීඩාවේ සිට ජාතික හා ජාත්‍යන්තර මට්ටම දක්වා මෙරට ක්‍රීඩාව පෝෂණය කිරීම සඳහා සැලසුම් කර ඇත. 
     
    ඒ යටතේ සෑම පුරවැසියෙක්ම ක්‍රීඩකයෙක් කිරීම, ක්‍රීඩා සංස්කෘතියක් බිහිකිරීම, ශාරීරික සුවතාවයට ප්‍රමුඛතාවය ලබාදීම, විනෝදාස්වාදය සඳහා ක්‍රීඩාව, සාමය හා සංවර්ධනය උදෙසා ක්‍රීඩාව, තාරුණ්‍යයට ක්‍රියාශීලී ක්‍රීඩාව, පාසලට ක්‍රීඩාව අනිවාර්යය කිරීම, ක්‍රීඩාව ගමට ගෙනයාම, ජාත්‍යන්තර ක්‍රීඩා දැනුම, කාන්තාවන්ට ක්‍රීඩාවේ ප්‍රමුඛතාවක් ලබාදීම, ක්‍රීඩා සමාජ දියුණු කිරීම, ක්‍රීඩා සංවිධානවල ස්වාධීනත්වය, විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින්ට ක්‍රීඩාවෙන් ඉදිරියට ඒමට අවස්ථා ලබාදීම, රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ක්‍රීඩා කටයුතු ප්‍රවර්ධනය, ක්‍රීඩා යටිතල පහසුකම් සංවර්ධනය, ක්‍රීඩා භාණ්ඩ ප්‍රවර්ධනය, තහනම් උත්තේජක භාවිතය වැළැක්වීම, ජාත්‍යන්තර ක්‍රීඩා තරගාවලි ප්‍රවර්ධනය, ක්‍රීඩාවේ දක්ෂයන්ට අධ්‍යාපන වරප්‍රසාද ලබාදීම, ක්‍රීඩාවේ වෘත්තිකයන් බිහිකිරීම, ක්‍රීඩා පර්යේෂණ දියුණු කිරීම, ක්‍රීඩා උපකරණ සඳහා බදු සහන, ක්‍රීඩා උපදේශන සභාව සක්‍රීය කිරීම, ජාතික ක්‍රීඩා තොරතුරු මධ්‍යස්ථානයක් බිහි කිරීම, ක්‍රීඩාවේ ප්‍රවීණයන්ට අතහිත දීම, ශරීර සුවතා මධ්‍යස්ථාන රටපුරා ආරම්භ කිරීම, ක්‍රීඩා කෞතුකාගාරයක් ඇතිකිරීම, ක්‍රීඩා ආර්ථිකයක් බිහිකිරීම හා ක්‍රීඩා ක්ෂේත්‍රය සඳහා ආචාරධර්ම පද්ධතියක් හඳුන්වාදීම වැනි අංශ ඇතුළත්ය.
     
    ඉහත අංශ පිළිබඳව පුළුල් අධ්‍යයනයක් තුළින් සකස් කළ ජාතික ක්‍රීඩා ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවීම සඳහා අධ්‍යාපන හා උසස් අධ්‍යාපන, සංචාරක, ආර්ථික සංවර්ධන, තරුණ කටයුතු, ජනමාධ්‍ය හා තොරතුරු අමාත්‍යාංශයන්හි ලේකම්වරුන්, භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම්තුමන්, ක්‍රීඩා පරිපාලකයින්, ක්‍රීඩා විශේෂඥයින්, විශ්ව විද්‍යාල කථිකාචාර්යවරුන්, ප්‍රවීණ මාධ්‍යවේදීන් ඇතුළු පිරිසක් මෙම කාර්යය සාධන බලකායට පත්කර ඇති බව ක්‍රීඩා අමාත්‍යාංශය පවසයි. 
     
    ජාතික ක්‍රීඩා ප්‍රතිපත්තිය යටතේ අවධානය යොමුකර ඇති විවිධ විෂයයන් පිළිබඳව විධිමත්ව හදාරා ක්‍රියාවට නැංවීමේ වැඩසටහනක් මාස 03ක් ඇතුළත නිම කිරීමට මෙම කාර්යය සාධන බලකාය කටයුතු කරනු ඇතැයි ක්‍රීඩා අමාත්‍යාංශය පවසයි.
     
    මෙම කාර්යය සාධන බලකාය සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් අනුර ජයවික්‍රම, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක, සීනි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් උදය සෙනෙවිරත්න, උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න, යෞවන කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් නිලන්ති සුගතදාස, යුද හමුදාපති ලුතිතන් ජනරාල් දයා රත්නායක, ජාතික ඔලිම්පික් කමිටු සභාපති හේමසිරි ප්‍රනාන්දු, වෛද්‍ය ආනන්ද ගුණසේකර, වෛද්‍ය මයියා ගුණසේකර, ඩයන් ගෝමස්, නිශාන්ත රණතුංග, සුනිල් ගුණවර්ධන, ආනා පුංචිහේවා, පණ්ඩුක කීර්තිනන්ද, ලලිත් රෝහණ, බී.එල්.එච්. පෙරේරා, යෝගානන්ද විජේසුන්දර හා එඩ්වින් ආරියදාස යන මහත්වරුන් පත්කර ඇත.
    MAP

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya