අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අගමැතිතුමා එක්සත් ජාතීන්ගේ වෙසක් දින සැමරුම් උළෙල අමතයි

    මැයි 09, 2014

    බෞද්ධ දර්ශනය ලෝකයේම පිළිගැනීමට ලක්වෙමින් පවතින මෙම සමයේ මිනිස් ආවේගශීලී හැගීම් පාලනය කිරීම සඳහා බුදු දහමේ ඉගැන්වීම් උපයෝගී කර ගත යුතු යැයි අග්‍රාමාත්‍ය ආචාර්ය දි.මු. ජයරත්න මැතිතුමා පවසයි.

    ලෝකයේ ඇතැම් රටවල් දුරාචාරයට යොමු වන්නේ සමාජයේ පවතින වැරදි නිසා බවත් ඔවුන් නිසි මගට ගෙන ඒමේ වගකීම සමස්ත ලෝකයාටම පැවරෙන්නක් යැයි ද අග්‍රාමාත්‍යතුමා කීවේය.

    බෞද්ධයන් වන අප අන් අයට සෑම විටම කරුණාව, මෛත්‍රිය, දයාව දක්වන පිරිසක් විය යුතු අතර ඒ මානුෂීය ගුණාංගයන්ගෙන් ඉවත් වන පුද්ගලයා මෙන්ම සමාජය ද පරිහානියට පත් වන්නේ යැයි එක්සත් ජාතීන්ගේ වෙසක් දින සැමරුම් උළෙලේ විශේෂ දේශනයක් කරමින් අග්‍රාමාත්‍යතුමා සඳහන් කළේය.

    එක්සත් ජාතීන්ගේ 11වන වෙසක් දින සැමරුම් උළෙල වියට්නාමයේ, නින්හ් බින්හ් ප්‍රාන්තයේ බායි ඩින්හ් (Bai Dinh) විහාරස්ථානයේදී ආරම්භ වූ අතර එහිදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අග්‍රාමාත්‍යතුමා විශේෂ දේශනයක් සිදු කළේය. වියට්නාම ජාතික බෞද්ධ සංඝසභාවේ මෙහෙවීමෙන් රටවල් අනූවක මහා සංඝරත්නය එක්දහස් පන්සියයක් හා දසදහසකට අධික බෞද්ධ සම්භාවනීය ආරාධිතයන්ගේ සහභාගීත්වයෙන් ආරම්භ වූ මෙම සැමරුම් උළෙල 11 වන දින දක්වා එම විහාරයේදී පැවැත්වේ.

    එක්සත් ජාතීන්ගේ සංගමය හා සෙසු බෞද්ධ රටවල් විසින් කරන ආගමික කටයුතු පිළිබඳ සැසිවාර කිහිපයක් එහිදී පැවැති අතර සමුළුවේ ප්‍රධාන සැසියට (08) දින සහභාගීවූ අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මැතිතුමා මෙසේ ද සදහන් කළේය.

    බුදු දහම වර්තමානයේදී ලෝකයේම පිළිගැනීමට ලක් වූ දර්ශනයක්. තිලෝගුරු බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම ශතවර්ෂ විසිහයකට වඩා පැරණි වුව ද ඒ දේශනාව එදා සිට මේ දක්වාම අඛණ්ඩව පිළිගැනීමට ලක් වෙනවා. මහා භාරතයේ සම්භවය ලැබූ බුදුදහම පිළිබදව බටහිර ඇතුළු ලෝකයේ විවිධ රටවල් අධ්‍යයන හා පර්යේෂණ පවත්වන බව කිව යුතුයි. බුදු දහමේ ඉගැන්වීම් හොඳින් අධ්‍යනය කොට භාවනා ආදියෙන් විවිධ මාර්ගඵලයන් කරා ගමන් කරන පිරිස් නිවන් මග ප්‍රාර්ථනා කරමින් බෞද්ධ දර්ශනයේ විපුල ඵල අත්කර ගන්නා බව ද සඳහන් කළ යුතුයි.

    1998 නොවැම්බරයේ දී ශ්‍රී ලංකාවේ දී පැවැත්වූ ජාත්‍යන්තර බෞද්ධ සම්මේලනයේ නිර්දේශයන්ට පිළිතුරු ලෙස 1999 දෙසැම්බර් මස පවත්වන ලද එක්සත් ජාතීන්ගේ මහා සම්මේලනය වෙසක් දින උත්සවයට ජාත්‍යන්තර පිළිගැනීමක් ලබාදෙනු සඳහා ඒකමතිකව ප්‍රඥප්තියක් සම්මත කර ගත්තා.

    ඒ යටතේ වියට්නාම් රජය විසින් කැඳවන ලද අන්තර් රාජ්‍ය බෞද්ධ සම්මේලනයක් වන මෙම වැදගත් අවස්ථාවේ දී අප අද සාකච්ඡාව සඳහා යොදා ගත් එක්සත් ජාතීන්ගේ සහශ්‍ර ඉලක්ක ළඟා කර ගැනීම උදෙසා බෞද්ධ දර්ශනය යන තේමාව නූතන ජාත්‍යන්තර තත්ත්වයන්ට ඉතා හොඳින් අදාළ වෙනවා. ලෝකය සංවර්ධන ඉලක්ක කරා සීග්‍රයෙන් පියමං කරන විට ඔවුන්ට සාරධර්ම අමතක වන බව අමුතුවෙන් කිව යුතු නැහැ. නමුත් අපට හෘදසාක්ෂිය මෙන්ම අපගේ ආගමට පරිබාහිරව හැසිරිය නොහැකියි. ඒ නිසා තමන් කවර තරාතිරමක් දැරුව ද සාධාරණ සමාජයක් නිර්මාණය කිරීම සඳහා හෘද සාක්ෂියට එකඟව ක්‍රියාකළ යුතුයි.

    එක්සත් ජාතීන්ගේ එකසිය අනූ එකක් වන සියලු සාමාජික රටවල් විසින් 2015 දී අත්කර ගැනීමට පොරොන්දු වී ඇති එක්සත් ජාතීන්ගේ සහශ්‍ර සංවර්ධන ඉලක්කයන් ගණන අටකි.

    2000 වර්ෂයේ සැප්තැම්බරයේ දී අත්සන් තබන ලද එක්සත් ජාතීන්ගේ සහශ්‍ර ප්‍රකාශනය මගින් දුප්පත්කම, කුසගින්න, ලෙඩ රෝග, නිරක්ෂරතාව, පාරිසරික විනාශය, කාන්තා හිංසනය පිටුදැකීම සඳහා ලෝක නායකයින් විසින් පොරොන්දු වුණි. එම සහශ්‍ර සංවර්ධන ඉලක්කයන් සඳහා විශේෂිත වූ ඉලක්කයන් හා දර්ශකයන් ඇත. ඊට සමගාමීව බෞද්ධ දර්ශනය රැක ගැනීම හා ආරක්ෂා කිරීම වෙනුවෙන් මේ අයුරින් ලොව රටවල් රැසක් ඉදිරිපත්වීම පිළිබදව මම බෙහෙවින් සතුටට පත්වෙනවා.

    විශ්වීය ජනවාර්ගික පද්ධතියේ පදනමක් සේ ගත් කළ බෞද්ධ ඉගැන්වීම් මගින් සමාජයීය සහජීවනය හා විශ්වීය සාධක ප්‍රවර්ධනය කිරීමට දායක වෙනවා. අව්‍යාජ සාමයක් හා සංවර්ධනයක් ළඟා කර ගැනීමට නම් රටක ආර්ථිකය සංවර්ධනය කරන්නේ යම් තාක් ද එරටෙහි මිනිසුන්ගේ ආධ්‍යාත්මය ද ඒ හා සමානව සංවර්ධනය කළ යුතු යැයි අග්‍රාමාත්‍ය ආචාර්ය දි.මු. ජයරත්න මැතිතුමා වැඩිදුරටත් සදහන් කළේය.

    ජාතික සංඝ සම්මේලනයේ සභාපති පූජ්‍යපාද න්‍යුයෙන් සිංහ් යුන්ග් (Nguyen Sinh Hung) හිමිපාණන් වහන්සේ, වියට්නාම කථානායක න්යුයෙන් සින්හ් ය්‍යුන්ග් මහතා, (Nguyễn Sinh Hùng) එක්සත් ජාතීන්ගේ වියට්නාම නේවාසික සම්බන්ධීකාරක ප්‍රතිභා මෙතා (Pratibha Mehta) මහත්මිය, උගන්ඩා ටොරෝ රාජධානයේ රජු එච්.එම්. කින්ග් ඔයෝ (H.M.King Oyo) ඇතුළු දෙස් විදෙස් සම්භාවනීය ආරාධිතයන් විශාල පිරිසක් ද මේ අවස්ථාවට සහභාගී වී සිටියහ.

    PM Vietnam1
    MAP/pmmu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya