නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මොළේ අමාරුවෙන් පෙළෙන අයෙකු ජනාධිපතිධූර අපේක්ෂකත්වයට යොමුවීම නුසුදුසුකමක්

    දෙසැම්බර් 18, 2014

    පරස්පර ප්‍රකාශවලින් මෛත්‍රීපාල සිරිසේන මහතාට මොළේ අමාරුවක් තිබෙන බව ඉතා හොඳින් පැහැදිලි වන බව විමල් වීරවංශ අමාත්‍යවරයා පෙන්වාදෙයි.


    විරුද්ධ පක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පරස්පර විරෝධී කතා නිසා  මොළේ අමාරුවෙන් එතුමා පෙළෙන බව එතුමා විසින්ම පිළිගෙන තියෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වන පරිදි මොළේ අමාරුවෙන් පෙළෙන අයෙකු ජනාධිපතිධූර අපේක්ෂකත්වය සඳහා යොමුවීම නුසුදුසුකමක් වෙනවා. ඒ අනුව මෙවැනි තත්ත්වයක් යටතේ  මොළේ අමාරුවෙන් පෙළෙන මෛත්‍රීපාල සිරිසේන මහතාට  ජනාධිපතිධූර අපේක්ෂකත්වය  සඳහා තරග කිරීමට හැකියාවක් නොමැති බව ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා පෙන්වාදෙයි.


    2015 වසරේ ජනවාරි 8 වෙනිදා මධ්‍යම රාත්‍රියේ කටුනායක ගුවන් තොටුපළ වහනවා කියපු මෛත්‍රීපාල සිරිසේන මහතා පසුව එහෙම කියන්න තාමට මොළේ අමාරුවක් තියෙනවද? හිටං කියලා ප්‍රකාශ කරනවා. ඒ විදිහේ ප්‍රකාශ කරන විට එතුමාට මොළේ අමාරුවක්  තියෙන බව ජනතාවට හිතෙනවා හිටං යනුවෙන්ද විමල් වීරවංශ අමාත්‍යවරයා පැවසීය.


    අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ මෙවර ජනාධිපතිවරණයේදී අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ජය තහවුරු කිරීම සදහා එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් සංවිධානය කරනු ලබන ජන රැලි මාලාවේ ඊයේ  (17) දින කුලියාපිටියේදී  පැවති ජන රැලිය අමතමිනි.


    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ අමාත්‍යවරයා “අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වෙනවා මොළේ අමාරුවෙන් පෙළෙන අයෙකු ජනාධිපතිධූර අපේක්ෂකත්වය සඳහා යොමුවීම එක් නුසුදුසුකමක් වන බව. විරුද්ධ පක්ෂයේ පොදු අපේක්ෂකයා වන මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පරස්පර විරෝධී කතා නිසා එතුමා මොළේ අමාරුව නම් රෝගී තත්ත්වයෙන් පෙළෙන බව එතුමා විසින් ම පිළිගෙන තියෙනවා.


    පසුගිය දවසක මෛත්‍රීපාල සිරිසේන මහතා කිව්වා “කටුනායක ගුවන් තොටුපළ ජනවාරි 8 වැනිදා මධ්‍යම රාත්‍රිය වන විට වහනවා. අපිට ඕන අයට විතරයි අපි යන්න දෙන්නේ කියලා. මේ ප්‍රකාශය කරලා පාඨලී චම්පික රණවක මහතාගේ පොත එළිදක්වන උත්සවයට ගිහිල්ලා සිරිසේන මහතා එතැනදී කියන්නේ වෙනම කතාවක්. ආණ්ඩුවේ ඇමතිවරු තමා ගුවන් තොටුපළ වහන බවට ප්‍රකාශ කරලා තියෙනවා. එහෙම කියන්න මට මොළේ අමාරුවක් තියෙනවද? හිටං කියලා කියනවා. මේ විදිහට එතුමා හිටං එක එක කතා කියනවා. එතුමා කියන හැම කතාවක්ම පරස්පර විරෝධී. එක වෙලාවක එහෙම කියනවා. තව වෙලාවක එහෙම කිව්වේ නැහැ කියනවා. තමාට උචිත ඇඳුම මොකක්ද කියලා මෛත්‍රීපාල සිරිසේන මහතා දන්නේ නැහැ. එක වෙලාවකට මෝඩිට අඳිනවා. තව වෙලාවකට තව මොකක් හරි අඳිනවා. ඕනම කෙනෙක් දෙන ඕනම ඇඳුමක් අඳින අපේක්ෂකයෙක් බවට සිරිසේන මහතා පත්ව සිටිනවා. එහෙම නායකයෙක්ද? ජනතාව ඉල්ලා සිටින්නේ. ඒකද? මේ රටට අවශ්‍ය වෙනස. එහෙම නායකයෙකුට රටක් යහපත් දිශාවකට යොමුකරන්න පුළුවන්ද?


    ගමේ එක්සත් ජාතික පාක්ෂිකයින් 2010 ජනාධිපතිවරණයේදී ආපු නැති අලියා 2015 දී හරි එයි කියන අපේක්ෂාවෙන් හිටියා. නමුත් 2010 දී පරාජයට පත් පාත්තයම තමයි 2015 දී  එක්සත් ජාතික පාක්ෂිකයන්ට ලැබුණේ. අලියා බලාගෙන හිටපු එක්සත් ජාතික පාක්ෂිකයින් පරදින පාත්තයෙක් අපිට ඕනේ නැහැ. අපේ සහයෝගයත් බුලත් කොළය ලකුණින් තරග වදින එක්සත් ජනතා නිදහස් සන්ධානයට බව පවසමින් අතිගරු ජනාධිපතිතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් එකතු වෙමින් සිටිනවා.


    විරුද්ධ පක්ෂයේ පොදු අපේක්ෂක හවුල ගොඩනැගෙන්නේ සිංගප්පූරුව තුළයි. එකම කාලපරාසයක් තුළ මේ නඩය සිංගප්පූරුවට ගියා. චන්ද්‍රිකා, මෛත්‍රීපාල, ෆොන්සේකා, රනිල්, චම්පික, හිරුණිකා, රාජිත සහ මංගල යන මේ නියම කුමන්ත්‍රණකාරී හවුල සිංගප්පූරුවට යනකොට ඒ කාලය ඇතුළත ම සිංගප්පූරුවට දෙමළ ඩයස්පෝරාව නිර්මාණය කරගෙන තියන දේශ සීමාවක් නොමැති දෙමළ ඊළම නමැති සංවිධානයේ ඇමති මණ්ඩලය නියෝජනය කරන ඇමතිවරු 13 දෙනෙකුම ඇවිත් හිටියා. මේ හොර හවුල එහේ යන්නයි. අර ඇමතිවරු 13 දෙනා සිංගප්පූරුවට ඒමයි අතර තියෙන සම්බන්ධය කුමක්ද? මේක තමයි කොළේ වහලා ඒ අය ගහපු ගැහිල්ල. චම්පික රණවක මහත්තයා දැන් මෙගා ඩීල් ගැන කතා කරනවා. ඒ අයගේ සිංගප්පූරු ඩීල් එක තමයි හොඳම මෙගාඩීල් එක. තව තොරතුරු හිටං, එළිවෙන ජාමෙට එළියට එයි හිටං කියලා තමයි අපට කියන්න තියෙන්නේ.


    වත්මන් ආණ්ඩුව ආයෝජන ව්‍යාපෘති සිදුකරනු ලබන්නේ 7% පොලියකට ණය ලබාගනිමිනි. ඒ මඟින් හොරා කනවා කියලා විපක්ෂයේ පොදු හවුල අසත්‍ය චෝදනා එල්ල කරන බවත් රණවක මහතා මෙගා ඩීල් ගැන කතා කරමින් නියම මෙගා ඩබල් ඩීල් කාරයින් සමඟ එකට හිටගෙන සිටින බව ද විමල් වීරවංශ අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
     

    රනිල් වික්‍රමසිංහ මහත්තයා රට බෙදන ඩීල් එකේ පප්පා. චන්ද්‍රිකා නෝනා පැකේජ් ඩීල් එකේ පප්පා. අනිත් අයත් එක එක ඩීල්වල පිරිසක්. වත්මන් ආණ්ඩුව මෙගා ඩීල් ගහන බවට අසත්‍ය චෝදනා එල්ල කරන විරුද්ධ පක්ෂයේ පොදු අපේක්ෂක හවුල  නියෝජනය කරන  මෙගා ඩබල් ඩීල්කාරයින් 1977 සිට 2005 දක්වා ගත්තා වූ ණය ගැන විස්තර අප සතුව තියෙනවා. ඉන් කොටසක් පමණක් මා පවසන්නම්. එවකට එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව 1982.09.28 දින නිල්වලා ගඟ ව්‍යාපෘතිය සඳහා  ප්‍රංශ ෆ්‍රෑන්ක් මිලියන 23.8ක ණය මුදලක් අරගෙන තියෙනවා. එහි පොලිය 10.85% යි. එම ව්‍යාපෘතිය සඳහාම 1984.01.24 දින ෆ්‍රෑන්ක් මිලියන 20.8ක ණය මුදලක් ලබාගෙන  තියෙනවා.ඒකේ පොලියක් 10.85 යි. චම්පික රණවක මහත්තයට අනුව මේවා මෙගා ඩීල්ද? බඩී ඩීල් ද? කියලා අප අහනවා. ඒ වගේම 1986 වර්ෂයේදී සමනළ වැව ජල විදුලි ව්‍යාපෘතියට බ්‍රිතාන්‍ය වාණිජ බැංකුවෙන් බ්‍රිතාන්‍ය පවුම් මිලියන 38.6 ක ණය මුදලක් අරගෙන තියෙනවා. එහි පොලිය 7.4% යි. 1986.11.28 දින ඒ ව්‍යාපෘතිය සඳහා  යළි අරගෙන තියෙනවා  බ්‍රිතාන්‍ය පවුම් මිලියන 5.3ක ණය මුදලක්. ඒකේ පොලිය 8.3%යි.
    මේ විදිහට සැබෑ මෙගා ඩබල් ඩීල් කරුවන් කවුද? යන්න වාර්තා අප සතුව තියෙනවා. 7% පොලියට ණය අරගෙන ව්‍යාපෘති සිදුනොකරපු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුවට අසත්‍ය චෝදනා එල්ල කරන්නෙ මෙගා ඩබල් ඩීල් ගහපු පිරිසක් බව පැහැදිලියි. 8%,9%10%  සහ 10% ඉක්මවූ පොලියට ණයගත් පිරිසක් සමඟ එකතුවෙලා  චම්පික මහත්තයා වත්මන් ආණ්ඩුව 7% පොලියට ණය අරගෙන ආයෝජන ව්‍යාපෘති සිදුකරන බවට අසත්‍ය චෝදනා නගනවා.


    මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ දරුවන් හා සහෝදරයින් සම්බන්ධව අසත්‍ය චෝදනා නගන විරුද්ධ පක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහෝදරයින්ගේ තොරතුරු විමල් වීරවංශ අමාත්‍යවරයා මෙහිදී හෙළි කළේය.
    “විරුද්ධ පක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා පුවත්පත්වල දැන්වීම් පළකරමින් කැසිනෝ ගැන කතා කරනවා. 2005 ජනාධිපතිතුමා බලයට පත්වූ පසු කැසිනෝ එකක්වත් අලුතින් දාන්න ඉඩදීලා නැහැ. ජනාධිපතිතුමාගේ දරුවන් හෝ සහෝදරයින් කැසිනෝ ගහන්නේ නැහැ. මෛත්‍රී පාලනයක්, පිරිසිදු පාලනයක් හදන්න එන මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ, සහෝදරයෙක් වන ඩඩ්ලි සිරිසේන බේලීස් කියන රාත්‍රී සමාජ ශාලාවේ පසුගිය වසරේ හොඳම කැසිනෝකරුට හිමි මෝටර් රථය දිනා ගන්නවා වගේම “කැසිනෝ රජා” නමැති සම්මානය පවා දිනා ගන්නවා. ගොවියන්ගේ වී ටිකෙන්, වැලිවලින් ගසාකන සල්ලිවලින් තමයි මේ උදවිය කැසිනෝ ගහන්නේ.


    ඩඩ්ලි සිරිසේන මහත්තයාගේ අරලිය හෝටලයට ජලය ඕන නිසා පොලොන්නරුවේ ගොවියන්ට වැඩිපුර කන්නයක් වගා කරන්න ජලය නොලැබුණා. අමාරුවෙන් සල්ලි හම්බ කරන උදවිය කැසිනෝ ගහන්න සල්ලි නාස්ති කරන්නේ නැහැ. නමුත් මේ අය ලේසියෙන්ම සල්ලි හම්බ කරන නිසා කැසිනෝ ගහන්න සල්ලි ඕනෑතරම් තියෙනවා. මේ විදිහට හැසිරෙන ඩඩ්ලි සිරිසේන මහත්තයා දැන් කියමින් යන්නේ මෛත්‍රීපාල සිරිසේන තමන්ගේ අයියා ජනාධිපතිවුණාම තමා තමයි ආරක්ෂක ලේකම් වෙන්නේ කියලා. ජනාධිපතිතුමාගේ සහෝදරයින් හෝ දරුවන් වැව් රක්ෂිතවල හෝටල් දාගෙන නැහැ. මහවැලි ගඟේ වැලි හූරාගෙන කන්නේත් නැහැ. එහෙම නැත්නම් ගල්කොරි දාගෙන ගල් ජාවාරමේ නිරත වෙන්නේත් නැහැ. ඒ වගේ ම වනජීවි නිලධාරීන්ට පහරදීලත් නැහැ. දේශපාලන බලය පාවිච්චි කරලා ඒ ගම්බිම්වල ජනතාවගේ සම්පත් ටික කොල්ලකාලාත් නැහැ. කුඩා වී මෝල්කරුවන්ගේ බඩට ගහලත් නැහැ. මෛත්‍රීපාල සිරිසේන මහතාගේ 12 දෙනෙකුගෙන් යුත් සහෝදර සමාගම පොලොන්නරුවේ කරන දේ ජනතාව දන්නවා. මේ කට්ටිය තමයි අද ජනාධිපතිතුමාගේ පවුල හා සහෝදරයන් සම්බන්ධව අසත්‍ය චෝදනා නගන්නේ.


    විධායක ජනාධිපතිධූරය අහෝසි කළ යුතුයි කියන සටන් පාඨයට පණ පෙව්වේ ගරු කටයුතු සෝභිත හාමුදුරුවෝ. උන්වහන්සේ මේ සටන් පාඨය කරූ ජයසූරිය මහත්තයාගේ හිසේ තබන්නයි හිටියේ. අවසානයේදී මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ හිසේ මේ සටන් පාඨය තිබ්බා. දැන් සිරිසේන මහත්තයා කියන්නේ මොනවද?  වික්‍රමසිංහ මහත්තයා කියන්නේ මොනවද?  ඒ අයට අනුව විධායක ජනාධිපතිධූරය අහෝසි වෙන්නේ නැහැ. පසුගිය දවසක පුවත්පතක වික්‍රමසිංහ මහත්තයා කියලා තිබුණේ අපි අහෝසි කරන්නේ මහින්ද රාජපක්ෂ ගෙනාපු 18 වෙනි සංශෝධනය පමණයි. නැතුව විධායක ජනාධිපතිධූරය නොවෙයි කියලා කියනවා. ඒ කියන්නේ රනිල් මහත්තයා ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ ව්‍යවස්ථාව වෙනස් කරන්නේ නැහැ කියන එකයි.
    ගරු කටයුතු සෝභිත හාමුදුරුවන් ගෙනාපු විධායක ජනාධිපතිධූරය අහෝසි කිරීමේ සටන් පාඨයට අද මොනවද වෙලා  තියෙන්නේ? කියලා ජනතාවට පැහැදිලියි.


    රනිල් වික්‍රමසිංහ මහත්තයා ඒ විදිහේ ප්‍රකාශයක් කරන්නේ සිරිසේනව ජනාධිපති කරවන්න එපා. කරොත් එයා ජනාධිපති වෙනවා.  අහෝසි වෙන්නේ 18 වෙනි සංශෝධනය විතරයි. ඒ නිසා සිරිසේනව ජනාධිපති කරවන්න එපා කියන ඉඟිය වහෙන් ඔරෝ භාෂාවෙන් එක්සත් ජාතික පාක්ෂිකයින්ට කියන්නයි.


    එතුමාගේ වහෙන් ඔරෝ භාෂාව ඔබ අපට නොතේරුණාට එක්සත් ජාතික පාක්ෂිකයන්ට හොඳ හැටි තේරෙනවා. 2010 දී සරත් ෆොන්සේකා මහතාගේ මැතිවරණයේදී රනිල් මහත්තයා කළේ මේ වගේ වැඩක්ම තමයි. මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රකාශ පරස්පර විරෝධියි. අද කියන දේ නෙමෙයි හෙට කියන්නේ. අද දෙයක් කිව්වාම ඊට පහුවෙනිදා කියන්නේ මම එහෙම කිව්වේ නැහැ. එහෙම කියන්න මට මොළේ අමාරුවක් නැහැ කියලා. බැරිවෙලා හරි මෛත්‍රීපාල සිරිසේන මහත්තයා දිනුවා කියලා අප හිතමුකෝ. එතකොට වික්‍රමසිංහ මහත්තයයි සිරිසේන මහත්තයයි හොරාට ඇතිකරගෙන තිබුණු ගිවිසුම් පිළිබඳව වික්‍රමසිංහ මහත්තයා සිරිසේන මහත්තයාගෙන් අහනකොට සිරිසේන මහතා කියයි එහෙම කියන්න මට මොළේ අමාරුවක් තියෙනවද? හිටං කියලා ” යනුවෙන් ද විමල් වීරවංශ  අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.


    අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැළියට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පක්ෂ නායකයෝ, අමාත්‍යවරු, නියෝජ්‍ය අමාත්‍යවරු, මන්ත්‍රීවරු ඇතුළු අති විශාල පිරිසක් සහභාගී වූහ.    

     

    HC

    wimal weerawansha at kuliyapitiya

     

    wimal weerawansha at kuliyapitiya 1

     

    wimal weerawansha at kuliyapitiya 2

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya