මීට අවුරුදු හතරකට පහකට කලින් තිබුණ තත්ත්වය නෙවෙයි අද බදුල්ලේ තියෙන්නේ. බොහෝ අංශවලින් ශීඝ්‍ර දියුණුවක් කරා බදුල්ල ගමන් කරමින් තිබෙන බව වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා බදුල්ල දිස්ත්‍රික්කයේ කැට්ටියගොල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමිනි.
මෙහිදී අමාත්‍යවරයා පැවසුවේ, “එදා පැය 7ක් 8ක් යනවා කුරුණෑගල අපිට බදුල්ලට එන්න. අද අපි පැය 4ක් වගේ කෙටි කාලෙකින් සුව පහසුව, ආරක්ෂිතව බදුල්ලට ආවා. දුෂ්කර ප්‍රදේශවල ගොවීන්ට තමන්ගේ නිෂ්පාදන නගරයට ගේන්න හොඳ මාර්ග පද්ධතියක් තියෙනවා. හොඳ ජල ප්‍රවාහන පද්ධතියක් තියෙනවා. ගොවීන්ගේ නිෂ්පාදනවලට හොඳ මිලක් ලැබෙන තත්ත්වෙට ආණ්ඩුව වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක කරල තියෙනවා.
අද බදුල්ල දිස්ත්‍රික්කයේ අධ්‍යාපනය ඉතා හොඳ මට්ටමක තියෙනවා. ඒක හොඳ ප්‍රවණතාවක්. අපේ දරුවන් අධ්‍යාපනය කරා යොමු වෙලා අලුත් ක්‍රමෝපායන් ඉගෙනගෙන තමන්ගේ කෘෂි කාර්මික කටයුතු පවා නවීන තාක්ෂණය අනුව සිදු කරගත හැකි මට්ටමකට පත් වෙනවා. මේ ප්‍රවණතාව හරහා. රටක් සංවර්ධනය කරා යද්දි ඒ රටේ ජනතාව ලබන දැනුම, අධ්‍යාපනය මෙන් ම නිෂ්පාදනයන් සඳහා යොදවන නවීන තාක්ෂණික උපක්‍රම හරහා ලබන වැඩි ප්‍රතිලාභ කැපී පෙනෙන දියුණුවක්.
අපේ අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, ඩිලාන් පෙරේරා අත්වැල් බැඳගෙන මේ බදුල්ල දිස්ත්‍රික්කයේ සංවර්ධන ක්‍රියාදාමයට ඉතා ඉහළින් කැප වී වැඩ කරනවා. මම නිලධාරීන්ගෙන් ඇහුවාම කිවුවේ පළාතේ සංවර්ධනය සඳහා ඉතිහාසයේ ලැබුණ හොඳම දේශපාලන ශක්තිය මේ පසුගිය වසර කිහිපය තුළ ලැබුණු දේශපාලන ශක්තිය කියලා. අපේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා යුද්ධය කරන ගමන්ම රටේ සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කළා. නැවැත්තුවේ නැහැ. දැන් එහි ප්‍රතිලාභ අද අපි විඳිනවා. අපේ අනාගත පරපුරටත් මීට වඩා හොඳ සංවර්ධනයක් මේ ගෙන යන සංවර්ධන ක්‍රියාදාමය හරහා භුක්ති විඳින්නට ඉඩ සැලසෙනවා.
මේ රටේ ජනාධිපතිවරු හතර දෙනෙක් ප්‍රභාකරන් කියන ම්ලේච්ඡ ත්‍රස්තවාදියාට පැරදුණා. අපේ රණසිංහ ප්‍රේමදාස මහත්තයා ජීවිතෙනුත් වන්දි ගෙවුවා. අපේ චන්ද්‍රිකා මැතිණියගේ එක ඇසක් අහිමි වුණා. රනිල් වික්‍රමසිංහ මහත්තයා රැවටුණා. ජේ.ආර්. ජයවර්ධන මහත්තයා පැරදුණා. අපේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා විතරයි ලෝකෙ ම භයානක ම ත්‍රස්තවාදියා කියලා නම් කරලා තිබුණු ම්ලේච්ඡ ප්‍රභාකරන්ව පරාජය කරලා කොටි ත්‍රස්තවාදය රටෙන් තුරන් කරලා අද රටේ මේ වගේ සාමකාමී තත්ත්වයක්, විශිෂ්ට සංවර්ධනයක් කරා ගෙනියන්න අඩි තාලම දාලා දුන්නේ.
හැබැයි ඒක සටන් පාඨයක් නෙවෙයි. අපි හැමදාමත් අපේ හදවත්වල රඳවාගත යුතු දෙයක්. තැන්පත් කර ගත යුතු දෙයක්. අදත්, හෙටත්, හැමදාමත් අපේ නායකයා, අපේ රටේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා බව රටේ ජනතාව විදියට අපි තීරණය කරලා ඉවරයි”.
ECB