මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාවේ රබර් මිල වෙනස් වීමෙන් ලෝක වෙළෙඳපොළේ රබර් මිලට බලපෑමක් කළ නොහැක

    අගෝස්තු 23, 2014

    ලෝක රබර් නිෂ්පාදනය හා සසඳන විට අප රටේ නිෂ්පාදන ප්‍රමාණය 1.2%ක් පමණ වන බවත්, මේ අනුව ලෝක වෙළෙඳපොළේ රබර් නිෂ්පාදනය සමඟ සසඳන කළ ශ්‍රී ලංකාවේ රබර් මිලෙහි වෙනස්වීම ලෝක වෙළෙඳපොළේ රබර් මිලට බලපෑමක් කළ නොහැකි බවත් රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආර්.බී. ප්‍රේමදාස මහතා පවසයි.


    මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ, ලෝක වෙළෙඳපොළේ රබර් මිල සැලකූ විට 2014.08.05 දිනට තායිලන්ත රබර් වෙන්දේසියේ සාමාන්‍ය රබර් මිල රුපියල් 256.95ක් හා ඉන්දියන් රබර් වෙන්දේසියේ සාමාන්‍ය මිල රුපියල් 299.13කි. මේ අනුව තායිලන්ත රබර් මිල හා සසඳන විට ශ්‍රී ලංකාවේ නො. 03 රබර් මිල රුපියල් 259.00ක් හෙයින් රුපියල් 2.05ක අගයකින් අප රබර් මිල වැඩි අගයක පවතී. එසේම ඉන්දියාවේ රබර් මිල සමඟ සසඳන විට අප රබර් මිල රුපියල් 40.13ක අඩුවක් පෙන්නුම් කෙරේ. මේ අනුව ලෝක රබර් මිල සමඟ සලකන ලද දිනයේදී අප රබර් මිලට වඩා අඩු මිලක් පවතින රටවල් ද පවතින බව පෙන්නුම් කළ හැකිය.

    ලෝකයේ ශීඝ්‍ර ආර්ථික දියුණුවක් කරා ගමන් කරන චීනය, ඉන්දියාව වැනි රටවල් ගත් කළ ලෝක ආර්ථික අර්බුදය හේතුවෙන් එම රටවලද ආර්ථිකය යම් මට්ටමක පවත්වා ගැනීමට කටයුතු කර ඇති බව පෙනේ. මේ හේතුවෙන් එම රටවල නිෂ්පාදනය කරනු ලබන වාහනවල වෙළෙඳපොළ තත්ත්වයන් ද පහත වැටී ඇත. ඒ හේතුවෙන් වාහන නිෂ්පාදනයද පහත වැටී ඇත. වාහන නිෂ්පාදනය පහත බැසීමකට ලක් වී ඇති බැවින් රබර් ආශ්‍රිතව නිෂ්පාදනය කරන මෝටර් රථ අමතර කොටස් නිෂ්පානයද පහත වැටී ඇත. එබැවින් මේ සඳහා යොදාගන්නා ස්වාභාවික රබර් ප්‍රමාණය අඩුවන හෙයින් ලෝක රබර් මිලෙහි අඩුවීමක් දක්නට ඇත.

    ලෝකයේ සෑම රටක් ම දිනෙන් දින ම සංවර්ධනය කරා පියමන් කරමින් සිටී. කාර්මික අමුද්‍රව්‍යයක් වන රබර් සඳහා ඉල්ලුමද ජනගහන වර්ධනය හා වෙනත් හේතූන් නිසා වැඩි ප්‍රවණතාවක් පෙන්නුම් කරයි. එසේ හෙයින් වඩාත් ලාභදායී ලෙස රබර් කර්මාන්තය පවත්වාගෙන යාම සඳහා ඒකක බිම් ප්‍රමාණයෙන් වැඩි අස්වැන්නක් ලබාගැනීම සඳහා නිර්දේශිත පිළිවෙත් අනුගමනය කිරීම රබර් මිල තත්ත්වයන් යටතේ කළ යුතු එකම කාරණය වේ.

    මේ සඳහා උසස් වර්ගයේ රබර් පැළ සිටුවීම හා රබර් වගාවක තිබිය යුතු ගස් ප්‍රමාණය හොඳින් පවත්වාගෙන යාම, ක්‍රමානුකූලව රසායනික පොහොර හා කාබනික පොහොර භාවිත කිරීම, නිර්දේශිත කිරිකැපුම් ක්‍රමය භාවිත කිරීම, වැසි ආවරණ යෙදීම හා නිසි ලෙස නඩත්තු කිරීම, අඩු වියදමකින් උසස් වර්ගයේ ෂීට් රබර් නිෂ්පාදනය කිරීම ආදිය සිදු කළ යුතු වේ.


    එමෙන් ම දේශීය කර්මාන්ත සඳහා අවශ්‍ය අමු රබර් ප්‍රමාණය වසර පුරාම එක හා සමානව සැපයීමට රබර් වගාකරුවන්ට හැකියාවක් නොලැබෙන බැවින් විශේෂයෙන් ම වර්ෂාව පැවතීම හා රබර් ගස්වල කොළ වැටෙන අවදියේදී රබර් නිෂ්පානය පහළ අගයක් ගැනීම යන හේතූන් මත කිසියම් රබර් ප්‍රමාණයක් ආනයනය කිරීමට සිදු වුවත් එය පසුගිය වසර 10ක කාලය හා සැලකීමේදී වසරකට මෙට්රික් ටොන් 10,000කට අඩු ප්‍රමාණයක් ආනයනය කොට ඇත. එය රබර් මිල පහත වැටීම සඳහා කිසිසේත් ම බලපෑමක් නොකෙරේ.


    එසේම කුඩා රබර් වතු හිමියන්ගේ යහපත උදෙසා රබර් නැවත වගා සහනාධාරය හෙක්ටයාරයකට රුපියල් 175,000ක් ද රබර් අලුත් වගා සහනාධාරය හෙක්ටයාරයකට රුපියල් 15,000ක් ද රබර් වගාවේ අපරිණත අවදියේදී රබර් අස්වැන්න ලබාගන්නා තුරු අමතර ආදායමක් ලබා ගැනීම සඳහා අතුරු බෝග වගා කිරීමට සහනාධාර ලබාදීම, වර්ෂා කාලයේදී රබර් අස්වැන්න ලබාගැනීමට වැසි ආවරණ යෙදීම සඳහා සහනාධාර ලබාදීම, පොහොර සහනාධාර ලබාදීම, විවිධ පුහුණු හා උපදේශන කටයුතු සඳහා මුදල් ලබාදීම, කිරි කැපීම් ශිල්පී පුහුණු වැඩසටහන්වලට සහභාගී වන්නන්හට සහනාධාර ක්‍රමයට කිරිපිහි බෙදාදීම යනාදී වශයෙන් වසරකට රුපියල් මිලියන 1500කට ආසන්න ප්‍රමාණයක මුදල් මෙම දෙපාර්තමේන්තුව මගින් රබර් ගොවියාට ලබාදීම සිදු කරනු ලබයි.


    මීට අමතරව සෙස් බද්ද සංශෝධනයට ලක්කොට කුඩා රබර් වතු හිමියාට කිසියම් සහනයක් ලබාදීමටද කටයුතු කර ගෙන යන බව අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පැවසීය. 
     

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya