අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මූඩීස් ආයතනයේ නවතම ශ්‍රේණිගත කිරීමේ තීරණය පදනම් විරහිත වේ

    නොවැම්බර් 22, 2018

    2018 නොවැම්බර් මස 20 වන දින මූඩීස් ආයෝජන සේවා ආයතනය (මූඩීස්) විසින් ශ්‍රී ලංකා රජයේ විදේශ විනිමය ණය නිකුත් කිරීම හා ජ්‍යෙෂ්ඨ සුරැකුම් රහිත ණය ශ්‍රේණිගත කිරීම B1 (සෘණ) සිට B2 (ස්ථාවර) මට්ටම දක්වා පහත හෙලීම රටෙහි සාර්ව ආර්ථික මූලධර්ම නිසිලෙස පිළිබිඹු නොකරන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ මතය වන අතර, එබැවින් එම තීරණය සාධාරණ නොවේ.

    මෙරට දේශපාලන ක්ෂේත්‍රයේ මෑතකාලීනව දක්නට ලැබුණු සිදුවීම් හමුවේ වුවද 2018 ජූලි මාසයේදී නිකුත් කළ අවසන් මූඩීස් ශ්‍රේණිගත කිරීමේ තීරණයේ සිට ශ්‍රී ලංකාවේ සාර්ව ආර්ථික තත්ත්වය පිරිහීමට ලක්වීමක් හෝ ප්‍රතිපත්තිවල කිසිදු පසුබෑමක් සිදුවී නොමැති බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නැවත අවධාරණය කිරීමට කැමැතිය. 2018 ඔක්තෝබර් මස 26 වැනි දින විස්තීර්ණ ණය පහසුකමෙහි පස්වන ආර්ථික කාර්යසාධන සමාලෝචන වැඩසටහනින් අනතුරුව සාර්ව ආර්ථික තත්ත්වයන්හි වැඩිදියුණු වීම් පදනම් කර ගනිමින්, ශ්‍රී ලංකාවේ බලධාරීන් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නිලධාරී මට්‍ටමේ එකඟතාවක් ඇති කර ගන්නා ලද අතර, එම එකඟතාව 2018 ඔක්තෝබර් මස 29 වැනි දින නිවේදනය කිරීමට නියමිතව තිබිණි. දේශපාලන තත්ත්වයෙහි වඩා පැහැදිලි බවක් ඇති වන තුරු වර්තමානය වන විට වැඩසටහනේ සාකච්ඡා තාවකාලිකව අත්හිටුවා ඇත.

    ශ්‍රී ලංකාවේ වර්තමාන දළ නිල සංචිත ප්‍රමාණය එ.ජ.ඩොලර් බිලියන 7.2 ක් වන අතර එය ඉදිරි කාලයේ රටේ විදේශීය ණය වගකීම පියවීමට ප්‍රමාණවත් වේ. ඊට අමතරව ආරක්ෂාකාරී පියවරක් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සැලකිය යුතු මට්ටමක විදේශ විනිමය හුවමාරු ගිවිසුම් (SWAP) ලබා ගැනීම සඳහා මිත්‍ර රටවල මහ බැංකු සමග සාකච්ඡා ආරම්භ කර ඇත. මෙම ක්‍රියාමාර්ග තුළින් රටේ විදේශීය සංචිතවල ප්‍රමාණාත්මකභාවය තවදුරටත් ශක්තිමත් වන අතර, එමගින් විදේශීය ණය සේවාකරණය නිසි කලට සිදු කිරීමට සහ විනිමය අනුපාතිකයේ අක්‍රමවත් විචලනයන් වැළැක්වීම සඳහා විදේශ විනිමය වෙළෙඳපොළ වෙත විචක්ෂණශීලීව මැදිහත් වීමට අවස්ථාව සැලසෙනු ඇත. මීට අමතරව, මේ වන විටත් සිදු කර ඇති රාජ්‍ය මූල්‍ය සහ සාර්ව විචක්ෂණශීලී ක්‍රියාමාර්ග තුළින් වෙළඳ ගිණුමේ ශේෂය වැඩිදියුණු වීම සඳහා හේතු වනු ඇතැයි අපේක්ෂා කරන අතර, එමගින් විදේශීය සංචිත සහ විනිමය අනුපාතිකය මත ඇති පීඩනය අඩු කරනු ඇත.

    ශ්‍රී ලංකාවේ ණය වගකීම් නිසි පරිදි පියවීම පිළිබඳව පවතින වාර්තාව ඉදිරියටත් ස්ථාවරව පවත්වාගෙන යෑම සහතික කිරීම සඳහා දැනටමත් ක්‍රියාමාර්ග ගෙන ඇත. 2019 වසරේ ජනවාරි මාසයේදී එ.ජ. ඩොලර් බිලියන 1 ක සහ 2019 අප්‍රේල් මාස‍යේදී එ.ජ. ඩොලර් මිලියන 500 ක ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර කල්පිරීම් වෙනුවෙන් රජයට පියවීමට ඇති ණය වගකීම සඳහා බලධාරීන් දැනටමත් හම්බන්තොට වරාය වෙත ලැබුණු ආයෝජන සහ චීන සංවර්ධන බැංකුවෙන් ලබාගත් ඒකාබද්ධ ණය පහසුකමෙන් වූ ලැබීම් තුළින් ස්වාරක්ෂක අරමුදලක් ගොඩනංවාගෙන ඇත. සක්‍රීය වගකීම් කළමනාකරණ ක්‍රියාමාර්ග යටතේ රුපියල් බිලියන 310 නොඉක්මවූ සීමාවක අරමුදල් සම්පාදනයට ඉඩප්‍රස්තා සැලසීමද අනාගත ණය සේවාකරණ ගෙවීම් පියවීම සඳහා අවශ්‍ය ආරක්ෂණය සහ අවකාශය සපයනු ලබයි. මීට අමතරව, මෙම වසරේ ඉදිරි කාලපරිච්‍ඡේදයේදී සහ 2019 වසරේ මුල් කාලපරිච්ඡේදයේදී එ.ජ. ඩොලර් මිලියන 750 සිට එ.ජ. ඩොලර් බිලියන 1 ක් දක්වා පමණ වන ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර නිකුත් කිරීමේ කටයුතු අවසන් අදියරක පවතී. මැදපෙරදිග සහ නැගෙනහිර ආසියාතික කලාපයේ සම්බන්ධිත පාර්ශ්වවලින් ශ්‍රී ලංකාවේ රාජ්‍ය බැංකුවලට ණය පහසුකම් ලබා ගැනීමේ හැකියාව වැඩිදියුණු වීම සහ විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ සහ සංචාරක ඉපැයීම් ආශ්‍රිත ලැබීම් තුළින් මෙම ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කරවල ආයෝජන සඳහා අරමුදල් සම්පාදනය සිදුවනු ඇත. මීට අමතරව, චීන සංවර්ධන බැංකුවෙන් ලබාගත් ඒකාබද්ධ ණය පහසුකම 2019 වසරේ පෙබරවාරි මාසයේදී තවදුරටත් එ.ජ. ඩොලර් මිලියන 500 කින් ඉහළ නැංවීමටද මේ වන විටත් පියවර ගෙන ඇත. ඒ අනුව 2019 පෙබරවාරි වනවිට එ.ජ. ඩොලර් බිලියන 2 ඉක්මවූ අරමුදල් ප්‍රමාණයක් සම්පාදනය වනු ඇත. එය 2019 වසරේ කල්පිරීමට නියමිත ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර සියල්ලම ආවරණය කිරීමට ප්‍රමාණවත් වනු ඇත. මීට අමතරව ඊළඟ වසරේදී ද්විපාර්ශ්වික හා බහුපාර්ශ්වික නියෝජිත ආයතන විසින් ප්‍රතිපාදනය කරනු ඇතැයි අපේක්ෂිත එ.ජ. ඩොලර් මිලියන 600 ක් තුළින්ද ස්වාරක්ෂක අරමුදල් මට්ටම තවදුරටත් වර්ධනය වනු ඇත.

    මේ අතර, මෑතකදී හඳුන්වා දුන් ණය කළමනාකරණ උපායමාර්ග සහ දේශීය ණය වෙළඳපොළට ප්‍රවේශවීම සඳහා ප්‍රමාණවත් ඉඩකඩ නිර්මාණය වීම හරහා දේශීය මූල්‍ය තත්ත්වයන්ගේ සැලකිය යුතු වැඩිදියුණු වීමක් පෙන්නුම් කර ඇත. මෙමගින් 2019, 2020 වර්ෂ තුළ සහ මධ්‍යකාලීනව භාණ්ඩාගාර බැඳුම්කර සහ ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර නැවත නිකුත් කිරීමේ අවශ්‍යතාව අවම කර ඇත. 2018 වර්ෂයේදී රුපියල් බිලියන 600 ඉක්මවූ භාණ්ඩාගාර බැඳුම්කර කල්පිරීම් 2019 සහ 2020 වර්ෂ තුළදී පිළිවෙළින් රුපියල් බිලියන 450 ක සහ රුපියල් බිලියන 290 ක පමණ පහළ මට්ටමක පවතී. එමෙන්ම, 2018 වර්ෂයේදී එ.ජ.ඩොලර් බිලියන 2.3 ක් පමණ වූ ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කරවල කල්පිරීම් ද 2019 සහ 2020 වර්ෂවලදී පිළිවෙළින් එ.ජ.‍‍‍‍ඩො‍ලර් බිලියන 0.62 සහ එ.ජ.ඩොලර් බිලියන 0.82 පමණ දක්වා අවම වී ඇත. තවද, බැංකු අංශය විසින් රජයේ සුරැකුම්පත් අලුතින් ලබා ගැනීම මෑත වර්ෂවලදී පිළිබිඹු කළ සියයට 5 ක පමණ ඉහළ යෑමේ ප්‍රවණතාව හා සැසඳීමේදී 2018 වර්ෂයේදී සියයට 1.5 කින් පමණක් වැඩි වනු ඇත. මෙම ප්‍රවණතා සහ ආයතනික ආයෝජකයන් සතු අරමුදල් සම්පාදනය කර ගැනීමේ හැකියාව තුළින් දේශීය වෙළඳපොළෙන් මූල්‍ය අවශ්‍යතා ළඟාකර ගැනීමට පවත්නා සැලකිය යුතු ඉඩකඩ පිළිබිඹු කරයි. විශේෂයෙන්ම, ප්‍රාථමික ගිණුමේ අතිරික්තය සහ සක්‍රීය වගකීම් කළමනාකරණ ක්‍රියාමාර්ග සමඟ ඇති වූ අඛණ්ඩ රාජ්‍ය මූල්‍ය ස්ථාවරභාවය මගින් 2019 වර්ෂය තුළදී සහ මධ්‍යකාලීනව රාජ්‍ය මූල්‍ය මෙහෙයුම් කටයුතු තවදුරටත් ශක්තිමත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

    ඉහත දැක්වූ කරුණු අනුව, මූඩීස් ආයතනය විසින් මෑතකදී කරන ලද ශ්‍රේණිගත කිරීම සාධාරණ නොවන බව ශ්‍රී ලංකා මහ බැංකුවෙහි අදහස වේ. එවැනි ශ්‍රේණිගත කිරීමේ පහළ දැමීමක් සාර්ව ආර්ථික ප්‍රතිපත්තිවල දුර්වල වීමක් පිළිබඳව කිසිදු සාක්ෂියක් නොමැතිව ඉහළ දේශපාලන අස්ථාවරභාවය යන කරුණ මත පමණක් පදනම්ව සිදුවීම සාධාරණීකරණය කළ නොහැක.

     Central Bank

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya