අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආපදා ප්‍රදේශවල ඩෙංගු පැතිර ගියහොත් ඊට මුහුණ දීමට රජය සූදානම්

    ජූනි 11, 2017
    පසුගිය වසරේ ඩෙංගු රෝගය ව්‍යාප්ත වීම සඳහා ගංවතුර තත්ත්වය බලපෑ බවත් මෙම වසරේ ද දිස්ත්‍රික්ක 08ක් ගංවතුරට මුහුණු දුන් බැවින් ඉදිරියේ දී එම ප්‍රදේශවල ඩෙංගු රෝගය පැතිර යා හැකි බැවින් ඊට මුහුණ දීමට සෞඛ්‍ය අමාත්‍යංශය අවශ්‍ය සැලසුම් සකස් කර තිබෙන බවත් ඒ සඳහා මාස තුනක වැඩසටහනක් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
     
    ඩෙංගු මදුරු මර්දන කටයුතු සඳහා රුපියල් කෝටි 07ක් වටිනා ලොරි රථ 50ක් සෞඛ්‍ය අමාත්‍යංශයට ලබාගැනීම සහ බෙදාහැරීම වෙනුවෙන් ඊයේ (10) අමාත්‍යංශයේ පැවැති උත්සවයකදී මේ බව පැවසීය. AMW පෞද්ගලික සමාගමෙන් ලොරි රථ මිලදී ගත් අතර ඒවා බස්නාහිර පළාතේ ඩෙංගු රෝගීන් වැඩි වශයෙන් වාර්ථා වන සෞඛ්‍ය නිලධාරී කොට්ඨාසවලට සහ දිවයින පුරා බෙදාහැරීම සිදු කරන ලදී.
     
    මෙම වාහනවල ප්‍රථම යතුරු AMW ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ සමන්ත රාජපක්ෂ මහතා විසින් සෞඛ්‍ය අමාත්‍යවරයාට බාරදෙන ලදී. ඉන් පසු සෞඛ්‍ය අමාත්‍යවරයා අතින් පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන් වෙත යතුරු බාරදීම සිදු කෙරිණි.
     
    "ඩෙංගු රෝගය මර්දනය කටයුතු සඳහා අවශ්‍ය ධූමායන යන්ත්‍ර 500ක් ආනයනය කර තිබෙනවා. ඒවා දිවයින පුරා බෙදැහැරීම ආරම්භ කළා. කැබිනට් අනුමැතිය යටතේ ඩෙංගු මදුරු මර්දන සහායකයින් 1500ක් බඳවාගැනීමට රජය පියවර ගෙන තිබෙනවා. රටක් දියුණු වන විට ඩෙංගු රෝගය ව්‍යාප්ත වන බව මේ වන විට සොයාගෙන තිබෙනවා. මැලේරියා රෝගය වගේ නොවෙයි. නාගරීකරණය හේතුවෙන් ඩෙංගු රෝගය ව්‍යාප්ත වීම වැඩියි. බස්නාහිර පළාතේ දක්නට ලැබෙන්නේ එවැනි ලක්ෂණයක්. මැලේසියාව, සිංගප්පූරුව සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ ද ඩෙංගු රෝගය ව්‍යාප්ත වී තිබෙනවා. එම නිසා පිරිසිදුකම ඉතාම වැදගත්".
     
    "ඩෙංගු රෝගය මර්දනය කිරීම සෞඛ්‍ය අමාත්‍යංශයට පමණක් සිදු කළ නොහැකියි. ජනතා සහ අනෙකුත් රාජ්‍ය ආයතනවල ද සහයෝගය ඊට අවශ්‍යයි. දැනට පරීක්ෂණවලින් සොයාගෙන ඇති ආකාරයට නිවාස තුළ විවිධ ස්ථානවල ඩෙංගු මදුරු කීටයන් බෝවෙනවා. සෞඛ්‍ය අමාත්‍යංශය ද සිදු කරන්නේ රෝගීන්ගේ ජීවිත ගලවා ගැනීමයි". 
     
    අද වන විට ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 0.2%ක් දක්වා අඩු වී තිබෙන බැවින් සෞඛ්‍ය අමාත්‍යංශයේ ක්‍රියාවලිය හොඳ යැයි ද ඩෙංගු මදුරු මර්දන කටයුතු සඳහා රජය විශාල මුදලක් වැය කරන බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය. 
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya