මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාසල් සඳහා ක්‍රීඩා විෂයභාර නව ගුරුවරුන් 2176ක්

    මාර්තු 27, 2014

    ඉදිරි කාලයේදී පාසල් සඳහා ක්‍රීඩා විෂයභාර ගුරුවරු 2176 දෙනෙකු අලුතින් බඳවාගැනීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍යංශයේ ක්‍රීඩා අධ්‍යක්ෂ බී.ඒ. අබේරත්න මහතා පැවසීය.


    අධ්‍යක්ෂවරයා මේ අදහස් පළ කළේ 2017දී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත ආසියානු යොවුන් ක්‍රීඩා උළෙල සම්බන්ධයෙන් පසුගියදා මධ්‍යම පළාත් කමිටුවේ සාමාජිකයන් දැනුවත් කිරීමේ අරමුණින් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ පැවති රැස්වීමකදීය.


    එළැඹෙන ආසියානු යොවුන් ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකාවෙන් වඩාත් ශක්තිමත් පාසල් කණ්ඩායමක් පුහුණු කිරීමේ අරමුණින් මෙම බඳවා ගැනීම් කඩිනම් කරන බවද ඔහු සඳහන් කළේය.

    එහිදී තවදුරටත් අදහස් දැක්වූ අධ්‍යක්ෂවරයා, දැනට ලංකාවේ පාසල් පද්ධතිය තුළ ක්‍රීඩා විෂයභාරව ගුරුභවතුන් 3995ක් සේවයේ යොදවා ඇති බවත්, එම ප්‍රමාණය 6176ක් දක්වා වැඩි කිරීම අධ්‍යාපන අමාත්‍යංශයේ බලාපොරොත්තුව බවත් පෙන්වා දුන්නේය. දැනට සිටින ක්‍රීඩා විෂය භාර ගුරුවරු සංඛ්‍යාව අනුව සිසුන් 750කට එක් ගුරුවරයෙක් යොදවා ඇති බව පැවසූ අබේරත්න මහතා ඉදිරියේදී සිසුන් 300කට එක් ක්‍රීඩා ගුරුභවතෙක් යෙදවිය හැකි බවද පැවසීය.‍

    මේ ක්‍රීඩා විෂයභාර ගුරුවරුන්ගේ රාජකාරී කාලයද සංශෝධනය කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කරමින් පවතින බව පැවසූ අධ්‍යක්ෂවරයා ඉදිරියේදී එම ගුරුවරුන් පෙරවරු 11 සිට පස්වරු 5 දක්වා කාලයේදී පාසල තුළ රැඳී සිටිය හැකි පරිදි නීති රීති සංශෝධනය කරන බවද කීය. ඒ තුළින් පාසල් කාලයෙන් පසු ඔවුන් පාසලේ රැඳී සිටිමින් පාසල් දරුවන්ගේ ක්‍රීඩා කටයුතු සඳහා මඟපෙන්විය යුතු බවත් පැවසීය.

    2017 වසරේ ශ්‍රී ලංකාවේ හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත තුන්වැනි ආසියානු යොවුන් ක්‍රීඩා උත්සවය සඳහා ලංකාවේ පාසල්වලින් වඩාත් දක්ෂ ක්‍රීඩා සංචිතයක් පිහිටුවීමේ අරමුණින් කෙටිකාලීන මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව පැවසූ අධ්‍යක්ෂවරයා එය ශ්‍රී ලංකාවේ පාසල් ක්‍රීඩා ඉහළ දැමීම සඳහා දිගු කාලීනවද වැදගත් වනු ඇතැයි සඳහන් කළේය.

    මේ අවස්ථාවට මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, පළාත් ක්‍රීඩා අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, මහනුවර දිසාපති එච්.එම්. ගාමිණි සෙනෙවිරත්න මහත්වරුන් සහ ක්‍රීඩා අධ‍්‍යක්ෂ ජනරාල් රංජනි ජයකොඩි මහත්මිය ඇතුළු රජයේ නිලධාරීන් පිරිසක් සහභාගි වූහ.

    NDH/TA-dmu Kandy

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya