අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සඳතැන්න පාරිසරික හා කෘෂි සංචාරක කලාපය විවෘත කිරීම

    මාර්තු 26, 2014

    නුවරඑළිය සඳතැන්නෙහි පිහිටි සීතාඑළිය කෘෂි පර්යේෂණ මධ්‍යස්ථානයේ අධීක්ෂණය මත නිර්මාණය කරන ලද සඳතැන්න පාරිසරික හා කෘෂි සංචාරක කලාපය දෙස් විදෙස් සංචාරකයන් වෙනුවෙන් විවෘත කිරීම මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයෙ (25) පෙරවරුවේ සිදු කෙරිණි.


    එම කලාපය ආශ්‍රිතව රෝපණය කරන ලද කෘෂි සංචාරක ව්‍යාපෘතියද මේ අවස්ථාවේදී ආණ්ඩුකාරවරයාගේ නිරීක්ෂණයට ලක් විය. මුහුදු මට්ටමේ සිට උස අඩි 6200ක ඉහළින් සුන්දර වටපිටාවක පිහිටා ඇති මෙම ගොවිපොළ ආශ්‍රිතව බීජ අර්තාපල් නිෂ්පාදනය වැඩි වශයෙන් සිදු කෙරේ. ඒ ආශ්‍රිතව පිහිටා තිබෙන සඳතැන්න පාරිසරික කලාපයද සීතාඑළිය රක්ෂිතයේම ඉහළ කොටසයි. එය හොර්ටන්තැන්නෙ හි පිහිටි ලෝකාන්තය හා සමාන වූ දළ බෑවුමකින් පිහිටි භූගෝලීය කලාපයකි.

     


    සංචාරකයන්ගේ වැඩි ආකර්ෂණයක් දිනාගත හැකි ලෙස මෙම පාරිසරික කලාපය පිහිටා ඇති අතර අංශක 360 ක කෝණයකින් එම ප්‍රදේශය නිරීක්ෂණය කළ හැක. එහි සිට පිදුරුතලාගල, කිරිගල්පොත්ත, හග්ගල සහ නමුණුකුල ආදී ප්‍රධාන කඳුපන්ති 09ක් පැහැදිලිව නිරීක්ෂණය කිරීමට අවස්ථාව හිමිවේ. මධ්‍යම කඳුපන්තියේ ඌව බෑවුමේ පිහිටි මෙම පරිසර කලාපය පතන තණ බිමකි. එසේම ඒ ආශ්‍රිතව පිහිටා තිබෙන සුවිශේෂ ජෛව විවිධත්වය තුළ මෙරටට ආවේණික පක්ෂීන් රැසක් සහ උරග වර්ග විශේෂයන් මෙහිදී දැක ගත හැකියි.

     


    ජනාධිපතිතුමාගේ පසුගිය නුවරඑළිය සංචාරයක් අතරතුරදී මෙම පරිසර කලාපය නීරීක්ෂණයට ලක් විය. ඒ අනුව නුවරඑළිය නගරාධිපති මහින්ද දොඩම්පේගම මහතා කළ ඉල්ලීමක් මත මෙම ප්‍රදේශය විශේෂ සංචාරක කලාපයක් ලෙස නම් කෙරුණි. මෙම කෘෂි පාරිසරික සංචාරක කලාපය හෙට දිනයේ දෙස් විදෙස් සංචාරකයන් වෙත නවමු අත්දැකීමක් වනවා පමණක් නොව කෘෂි පර්යේෂණ සම්බන්ධව අධ්‍යයනයේ යෙදෙන පර්යේෂකයන්ටද විශේෂ විය හැකි බව හඳුනාගෙන ඇත.

     


    මේ අවස්ථාව සඳහා නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් ඩී.පී.ජී. කුමාරසිරි සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රොහාන් විජේකෝන්, නුවරඑළිය නගරාධිපති මහින්ද දොඩම්පේගම යන මහත්වරුන් හා රාජ්‍ය ආයතන ප්‍රධානීහු රැසක් සහභාගීවී සිටියහ.

     

    NDH/SH-dmu Nuwaraeliya

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya