“මා මහත් සතුටට පත්වනවා, අද දිනයේ ශ්‍රි ලංකා තායිලත්න පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සැසිවාරය ආමතන්ත්‍රණය කිරීමට අවස්ථාව ලැබීම ගැන. ඒ වගේම, අද දින සිය උපන්දිනය සමරන තායිලන්ත අධිරාජ්‍ය අතිගරු භූමිබෝල් අඩුල්යාඩෙයි රජතුමාට මගේ සුභ පැතුම් එක් කරන්ත් මම මෙය අවස්ථාවක් කර ගන්නවා. තායිලන්ත රජතුමා තමයි 1946 ජූනි 9 වැනිදා සිට ඉතිහාසයේ දීර්ඝතම කාලයක් රාජකීය ඔටුන්න දරන රජු.
ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර වසර 800ක පමණ සිට දෙරටේ ජනතාව අතර සංස්කෘතික, ආර්ථික, වෙළඳ හා වෛවාහක සම්බන්ධතා පවා පවත්වාගෙන ගොස් තිබෙනවා.
ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර රාජතාන්ත්‍රික සබඳතාවලට වසර 60 ක් පිරීම අප මහත් ආඩම්භරයෙන් හා ගෞරවයෙන් යුතුව පසුගියදා සමරනු ලැබුවා. එම උත්සවයට අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා සමඟ මට ද සහභාගී වීමට ලැබීම භාග්‍යක් කොට සලකනවා.
මහියංගනය රජමහා විහාරයේ සිට අතිගරු ජනාධිපතිතුමා ශ්‍රී ගෞතම සම්බුදු රජාණන් වහන්සේගේ ධාතූන් වහන්සේ නමක් ද එම සැමරීම වෙනුවෙන් තායිලන්තය වෙත වැඩම කරනු ලැබූවා.
ශ්‍රී ලංකාව සහ තායිලන්තරය අතර පවතින වෙළඳ සබඳතාවල පැහැදිළි වර්ධනයක් පසුගිය වසර පහ තුළ දක්නට ලැබුණා. 2009 වසරේ දී ඇ.ඩො.මිලියන 334ක් වුණු එම ගණුදෙණු වටිනාකම 2014 වසර වන විට ඇ.ඩො.මිලියන 516ක් ක් බවට පත්වී තිබෙනවා. 2015 වසර අවසන් වන විට මීටත් වඩා කැපී පෙනෙන වර්ධනයක් අප අපේක්ෂා කරනවා.
තායිලන්තය වෙත සිදු කරන ශ්‍රී ලංකාවේ අපනයන 2004 වසරේ සිට සීඝ්‍ර වර්ධනයකට ලක් වුණා. 2010 දී එහි උපරිමය පෙන්වමින් ඇ.ඩො.මි. 84ක් පෙන්නුම් කළා. පසුගිය වසරේ දී එම අපනයන වල වටිනාකම ඇ.ඩො.මි. 54ක්. එසේම, එම වසරේ දී තායිලන්තයේ සිට මෙරටට කරනු ලැබූ ආනයන වල වටිනාකම ඇ.ඩො.මි. 462ක්. තායිලන්තය යනු ශ්‍රී ලංකාවේ 36වැනි අපනයන හවුල්කරු සහ 9 වැනි ආනයන හවුල්කරුයි.
මෙම අසමතුලිතතාවයට ආමන්ත්‍රණය කිරීම වඩා වැදගත් බව අප විශ්වාස කරනවා. 2013 වසරේ පැවති ශ්‍රී ලංකා තායිලන්ත ඒකාබද්ධ කමිටු රැස්වීමේ දී අවධානය යොමු කළා ඉදිරි වසර 3-5 කාලයේ දී වෙළඳ වටිනාකම් ඇ.ඩො.බිලියනයක් දක්වා ඉහළ නැංවීමට.
ඒ වගේම, ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන්ට තායිලන්තයේ රැකියා අවස්ථාවන් උදා කර ගැනීම සම්බන්ධයෙන් අප සාකච්ඡා කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් දෙරට අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම කෙරෙහි අවධානය යොමු වුණා.
ඒ වගේම දෙරටේ ග්‍රාමීය ආර්ථිකය සවිමත් කිරීම සඳහා පුද්ගලික අංශයේ සුළු මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ ආයෝජන පුළුල් කිරීමට ද අපගේ අවධානය යොමු විය යුතුයි.
දෙරට අතර ආර්ථික සබදතා පවත්වාගෙන යාමේ දී බිම්ස්ටෙක් සම්මුතීන් අනුගමනය කරනවා වගේ ම ඒ හරහා උපරිම ප්‍රතිලාභ ලබා ගැනීමට පියවර ගෙන තිබෙනවා.
එසේම, ශ්‍රී ලංකාවේ සෑම ආකාරයකම කටයුතු මෙහෙයවීමේ දී තායිලන්තය විසින් අප වෙත ලබා දෙන තාක්ෂණික සහයෝගීතාව පිළිබද අපගේ කෘතඥතාව පළ කළ යුතුයි. තායිලන්තය වාර්ෂිකව කෙටි කාලීන ශිෂ්‍යත්ව 30 ක් සහ දිගු කාලීන ශිෂ්‍යත්ව 15 ක් ශ්‍රී ලංකාව වෙත ලබා දෙනවා. ඒ වාගේම, තායිලන්ත රජය වාර්ෂිකව පුහුණු අවස්ථාවන් 466ක් අප වෙත ලබා දෙනවා. ඒ බොහෝමයක් අවස්ථාවන් මහජන සෞඛ්‍ය, කෘෂිකර්මාන්තය, ආහාර සුරක්ෂිතතාව, පසු අස්වනු තාක්ෂණය, ග්‍රාමීය සංවර්ධනය, පුනර්ජනනීය බලශක්ති සහ ආහාර සකස් කිරීම ආදී කටයුතු සම්බන්ධයෙන් වන තාක්ෂණික හා පුහුණු වැඩසටහන්.
ඒ වගේම, තායිලන්තය හා ශ්‍රී ලංකාව අතර සෞඛ්‍ය, කෘෂිකර්ම, ධිවර හා සංචාරක ක්ෂේත්‍රයන් සම්බන්ධයෙන් වන තාක්ෂණික සබඳතා පුළුල් කිරීම සම්බන්ධයෙන් අප උනන්දුවක් දක්වන බව සඳහන් කරන්න කැමතියි.
ශ්‍රී ලංකාව අපේක්ෂා කරනවා කෘෂිකාර්මික ඵලදායීතාව ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් තායිලන්තය ගෙන ඇති පියවරයන් හා ඒ සම්බන්ධ අත්දැකීම් සම්බන්ධයෙන් විශේෂඥතාව හා අත්දැකීම් හුවමාරු කරගන්න අප කැමැත්තක් දක්වනවා.
කෘෂිකාර්මික නිෂ්පාදන සහ ආහාර සකස් කිරීම වගේම අපනයන තාක්ෂණය සම්බන්ධයෙන් තායිලන්ත ආයෝජකයින් කෙරෙහි මගේ අමාත්‍යාංශය (ප්‍රාථමික කර්මාන්ත) වැඩි අවධානයක් යොමු කර තිබෙනවා. එසේම, 2004 වසරේ දී දෙරට අතර මේ සම්බන්ධයෙන් අවබෝධතා ගිවිසුමක් අත්සන් කර තිබෙනවා. එහිදී, තාක්ෂණික හුවමාරුව වෙළඳ පුහුණු විද්‍යාත්මක සහයෝගීතාව හා කෘෂිකාර්මික අංශයන් සම්බන්ධයෙන් අවධානය යොමු කර තිබෙනවා.
පළතුරු සහ එළවළු කර්මාන්තයේ සංවර්ධනයන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව විසින් යෝජනා ඉදිරිපත් කර තිබෙනවා. විවිධ නව ප්‍රබේද ප්‍රවර්ධනය, ගුණාත්මකභාවය ඉහළ නැංවීම, අගය එකතු කිරීම, නිෂ්පාදන සංවර්ධනය, සන්නාම නිර්මාණය, ඇසුරුම් කිරීම හා යන්ත්‍රෝපකරණ යන ක්ෂේත්‍රයන්ගේ සංවර්ධනය ද එහිදී වැදගත් කොට සලකා තිබෙනවා.
“එක ගමකට, එක නිෂ්පාදනයක්“ යනුවෙන් තායිලන්ත රජය විසින් හදුන්වාදුන් වැඩසටහන, තායිලන්ත දේශීය ආර්ථිකය ගොඩනැගීමට හා අපනයන ආර්ථිකය ඉහළ නැංවීමට මහත් පිටිවහලක් සැපයූ බව අප දන්නවා. එම සංකල්පය මෙරට ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සහාය තායිලන්ත රජය ලබා දෙනු ඇතැයි අප විශ්වාස කරනවා. මගේ අමාත්‍යාංශය හරහා මම බලාපොරොත්තු වෙනවා, එම සංකල්පයත් පොකුරු ගම්මාන 2,500 රජයේ වැඩසටහනත් ඒකාබද්ධ කරමින් ආර්ථික වශයෙන් ගම් ශක්තිමත් කිරීමේ වැඩසටහන දියත් කරන්න.
තායිලන්තය විසින් ‘කෘෂි සංචාරක‘ වැඩසටහන් කාලයක සිට භාවිතයට ගනිමින් සිටිනවා. එම අත්දැකීම්, ශ්‍රී ලංකාවේ එම අංශය දියුණු කිරීමට ද වඩා වැදගත් වනු ඇතැයි මා විශ්වාස කරනවා.
2013 සහ 2014 දෙවසරේ දී තායිලන්ත ජාතිකයින් 70,000කට වැඩි පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා. ඒ වගේම, පසුගිය වසර දෙකේ දී මෙරටට පැමිණෙන තායිලන්ත සංචාරකයින් ප්‍රමාණය ද සීඝ්‍රයෙන් ඉහළ යාමක් දක්නට ලැබෙනවා.
ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර සංචාරක කටයුතු ප්‍රවර්ධනය කිරීම සඳහා ආගමික සිද්ධස්ථාන නැරඹීමට හා වන්දනා කිරීමට අවස්ථාවන් පුළුල් කළ යුතුයි. තායිලන්ත ජාතිකයින් මිලියනයක් පමණ ඉන්දියාවේ පිහිටි බෞද්ධ සිද්ධස්ථාන වන්දනා කිරීමට පැමිණෙනවා. එම ආකර්ශණය ශ්‍රී ලංකාව කෙරෙහිත් ඇති කිරීමට අවශ්‍ය මැදිහත්වීම් සිදුකළ යුතු බව මගේ විශ්වාසයයි.
ගරු ජනාධිපතිතුමාගේ මේ වසරේ නොවැම්බර් මස සිදු කළ තායිලන්ත සංචාරය අතරතුර, ජනාධිපතිතුමා ආරාධනා කළා තායිලන්ත මාධ්‍යයට සහ ඉහළ පෙළේ රාජතාන්ත්‍රිකයින් වෙත ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස. තායිලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍යතුමාගේ මෙරට සිදු කළ සංචාරය ඒ සඳහා නිදසුනක්.
ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර ධීවර ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ද අවබෝධතා ගිවිසුමකට එළඹුණා. ශ්‍රී ලංකාව විශ්වාස කරනවා මෙම අවබෝධතා ගිවිසුමේ ඇති කරුණු වඩාත් ඵලදායීව දියත් කිරීම සදහා ඒකාබද්ධ ක්‍රියාකාරී සැලසුමක් දියත් කළ යුතු බව. විශේෂයෙන්ම තාක්ෂණය හුවමාරුව සහ තාක්ෂණික සහාය හුවමාරු කිරීමේ දී.
ආර්ථික සහ වෙළඳ කටයුතු වලදී පමණක් නොව, ජගත් මානව හිමිකම් කවුන්සිලයේ දී පවා තායිලන්තය ශ්‍රී ලංකාවට දැක්වූ සේවය කෘතඥපූර්වකව සිහිපත් කරන්න කැමතියි. 2017-18 දෙවසර සදහා ස්ථීර නොවූ ආරක්ෂක කවුන්සිල සාමාජිකත්වය ලබා ගැනීමට අපගේ සහාය ලබා දෙන බව මේ අවස්ථාවේ දැනුම් දෙන්න කැමතියි. එසේම, ජී77 සමුළුවේ සභාපතීත්වය සඳහාත්.
අවසාන වශයෙන් මා යෝජනා කරනවා මෙම සමුළුව නිරන්තරයෙන් කැදවීමට. මූලෝපායන් හා උපක්‍රමයන් සම්බන්ධයෙන් අපට සාකච්ඡා කරන්න අවස්ථාවක් උදා වෙනවා ඒ හරහා. මා අවස්ථාවක් කර ගන්නවා, මේ මොහොතේ යලිත් වරක් දෙපාර්ශවයේ නියෝජිතයින්ට සහ තායි රජයට මගේ ස්තූතිය පුදකරන්න.
ස්තූතියි.“