නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගෙවුණු දශකයේ විපරීත වූ සමාජය යළි පිළිසකර කළ යුතුයි

    ඔක්තෝබර් 01, 2015

    - ඇමති දයා ගමගේ අරලගංවිල දී කියයි.

     
    ගෙවුණු දස වසරක් පුරා පැවති දේශපාලන සංස්කෘතිය හේතුවෙන් විපරීත වූ සමාජය පිළිසකර කිරීමේ වගකීම වත්මන් ආණ්ඩුව හමුවේ ඇති ප්‍රධානතම අභියෝගය වී ඇතැයි ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය ගරු දයා ගමගේ මැතිතුමා අද (01) පෙරවරුවේ අරලගංවිල ශ්‍රී ඉන්ද්‍රසාර ළමා සංවර්ධන මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් කියා සිටියේය. අදට යෙදී ඇති ලෝක ළමා දිනයට සමගාමීව මෙම ළමා සංවර්ධන මධ්‍යස්ථානය විවෘත විය.
     
    පසුගිය ජනවාරි අට වැනිදා සිදු වූ දේශපාලන පෙරළිය සමාජ පෙරළියක් බවට පත් කිරීම එතරම් පහසු නොවන බවත් දරුවන් වෙනුවෙන් යහපත් හෙට දවසක් නිර්මාණය කිරීමේ සිහිනය යථාර්ථයක් කිරීමේ දී එම සමාජ පෙරළිය සිදු කිරීම ප්‍රමුඛ කාර්යයක් කොට සලකා කටයුතු කළ යුතු බවත් දයා ගමගේ මැතිතුමා සඳහන් කළේය. පැවති දේශපාලන සංස්කෘතිය තවදුරටත් එලෙස ම පැවතියේ නම්, රට අභ්‍යන්තරයේ මෙන්ම රටින් පිට සමාජයේ දී ද මව් බිමට විශාල අභියෝග ගණනාවකටම මුහුණ දීමට සිදු වන අඳුර යුගයක් උදා විය හැකිව තිබූ බව ද එතුමා අවධාරණය කර සිටියේය.
     
    මෙහිදී අදහස් දැක්වූ දයා ගමගේ මැතිතුමා වැඩිදුරටත් කියා සිටියේ පසුගිය සමයේ සියයට දෙකකටත් වඩා අඩු ප්‍රතිශතයකින් වෙන් කෙරෙැණු අධ්‍යාපන හා සෞඛ්‍ය වියදම් ඉදිරි අයවැය මඟින් සියයට හය දක්වා ක්‍රමයෙන් ඉහළ නැංවීමට කටයුතු කළ යුතු බවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් දැනටමත් උපදෙස් ලබා දී ඇති බවයි. එය අනාගත ළමා පරපුර වෙනුවෙන් කරනු ලබන විශාල ආයෝජනයකි.
     
    මේ අතර, රනිල්-මෛත්‍රී සුසංයෝගී දේශපාලනය තුළින් රට අභ්‍යන්තරයේ සමාජ විප්ලවයක් සිදු වෙමින් තිඛෙනවා සේම, ජාත්‍යන්තර ප්‍රජාව තුළ ද මව් බිම සම්බන්ධයෙන් පැවති විවිධ මත මව් බිමට වාසිදායක ලෙස පරිවර්තනය වීමට සමත්ව ඇතැයි ද දයා ගමගේ මැතිතුමා කියා සිටියේය. මින් පෙර නායකයින් නිරන්තරයෙන් විදුලි පුටු හා යුධ අපරාධ ගැන මිමිනූහ. නමුත්, එදා ජිනීවා වල දී ශ්‍රී ලංකාවට එරෙහි ප්‍රතිපත්තියක් අනුගමනය කළ සෑම රටක්ම පාහේ ශ්‍රී ලංකාවට මිත්‍රශීලී වී තිබේ. එපමණක් නොව විදුලි පුටුවට බිය වී සිටි අය විදුලි පුටුවෙන් බේරා ගැනීමට ද වීරෝධාර රණවිරුවන්ගේ නම් යුධ අපරාධකරුවන්ගේ නාම ලේඛණ වලින් මකා දැමීමටත් රනිල්-මෛත්‍රී සුසංයෝගය සමත්ව තිබේ.
     
    අද විවෘත කෙරුණු අරලගංවිල ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ සිටින දරුවන්ගේ සුභ සාධන කටයුතු වෙනුවෙන් සහ එහි පාලිකාව වෙනුවෙන් දයා සරණ සංවර්ධන පදනම මගින් අනුග්‍රාහ කිරීමට අපේක්ෂා කරන බව ද දයා ගමගේ මැතිතුමා මෙහිදී කියා සිටියේය. මෙම අවස්ථාවට එම මධ්‍යස්ථානයේ නිර්මාතෘ පූජ්‍ය උඩගම පියතිස්ස හිමි ඇතුළු භික්ෂූන් වහන්සේ ද නි. අමාත්‍ය අනෝමා ගමගේ මැතිණිය සහ රාජ්‍ය නිළධාරීන් ඇතුළු පිරිසක් සහභාගීව සිටියහ.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya