2006 වර්ෂයේ අග භාගයේ දී මාතර - වැලිගම ප‍්‍රදේශයෙන් මෙම රෝගය මුලින් ම හඳුනාගන්නා ලදි. මේ වන විට මාතර, ගාල්ල හා හම්බන්තොට යන දිස්ත‍්‍රික්ක ත‍්‍රිත්වයේ ම රෝගය ව්‍යාප්ත වී ඇත. දකුණු පළාතේ මුළු භූමි ප‍්‍රමාණයෙන් 15% ක එනම් හෙක්ටයාර 22,935ක් පුරා රෝගය ව්‍යාප්තව පවතී. වැඩිම රෝගී ගස් ප‍්‍රමාණයක් වාර්තා වී ඇත්තේ මාතර දිස්ත‍්‍රික්කයෙනි.
අදියර කිහිපයක් යටතේ පොල් කොළ මැළවීමේ රෝගය හඳුනාගැනීම හා රෝගී ගස් කපා ඉවත් කිරීම සිදු කරන ලද අතර එහි තුන්වන අදියර අවසන් වී මේ වන විට 4 වන අදියර ආරම්භ කර තිබේ. ඒ අනුව දැනට මාතර දිස්ත‍්‍රික්කයේ ග‍්‍රාම නිලධාරී වසම් 75ක රෝගී පොල් ගස් 1200 ක් පමණ හඳුනාගෙන සලකුණු කර ඇත. ඉදිරියේ දී එවා කපා ඉවත් කිරීමට නියමිතය.
මාතර දිස්ත‍්‍රික්කයේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස 16න් 12ක ම මෙම පොල් කොළ මැළවීමේ රෝගය ව්‍යාප්තව පවතී.
මෙම පොල් කොළ මැළවීමේ රෝගය පාලනය කිරීම සඳහා මෙතෙක් ප‍්‍රතිකාර ක‍්‍රමයක් සොයාගෙන නොමැති අතර රෝගය පාලනය කිරීම සඳහා පවතින එකම විකල්ප ක‍්‍රමය රෝගී පොල් ගස් කපා ඉවත් කිරීමයි.
කිලෝ මීටර් 03ක රෝග මුක්ත ආරක්‍ෂිත කලාපයක් ද ප‍්‍රකාශයට පත්කර ඇත. රෝගය පවතින ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලින් රෝග මුක්ත ආරක්‍ෂිත කලාපයෙන් පිටතට පොල් පැළ, පොල් අතු සහ පොල් ලෙලි ආදි පොල් ආශ‍්‍රිත සජීවී කොටස් හා තාල වර්ගයේ වෙනත් සජීවී ශාක රෝගය පැතිරී නැති ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට රැගෙනයාම මේ වන විට තහනම් කර තිබේ.
මාතර දිස්ත‍්‍රික්කයෙන් පොල් කොළ මැළවීමේ රෝගය තුරන් වන තුරු පොල් ගස් කපා ඉවත් කිරීමේ සිට රෝගය පාලනය සඳහා අවශ්‍ය අනෙකුත් සියලු ක‍්‍රියාමාර්ග ගන්නා බව පොල් වගා කිරීමේ මණ්ඩලයේ මාතර දිස්ති‍්‍රක් කාර්යාලයේ ප‍්‍රාදේශිය කළමනාකරු ඒ. කේ. ජයසේකර මහතා පවසයි.
DB