ගොවි පවුල් 62ක් සඳහා ප්‍රතිලාභ ලබාදෙන රුපියල් මිලියන 05ක පමණ වටිනාකමකින් යුත් මිරිස් වගාවට අවශ්‍ය විසිරුම් ජල පද්ධතියක් ලබාදීම ද මීට සමගාමීව අමාත්‍යතුමාගේ සහභාගීත්වයෙන් සිදු වූ අතර මේ සඳහා ප්‍රතිපාදන ජීවනෝපාය සංවර්ධනය සඳහා වන සහයෝගිතා ව්‍යාපෘතිය මඟින් සපයා දුනි. අක්කර 07ක් පමණ මිරිස් වගාව සිදුකරන මෙම මිරිස් නිෂ්පාදන ගම්මානයෙන් අපේක්ෂිත වියළි මිරිස් අස්වැන්න කිලෝ ග්‍රෑම් 50,000ක් පමණ වන අතර ඉන් වගාව සඳහා අවශ්‍ය බීජ නිෂ්පාදනයට කිලෝ ග්‍රෑම් 20,000ක් පමණ යොදගැනීමට අපේක්ෂිතයි.
මෙම ව්‍යාපෘතියට සම්බන්ධ වූ පිරිස අමතමින් කෘෂිකර්ම අමාත්‍යවරා සඳහන් කළේ, රටේ කෘෂිකර්මාන්තය උදෙසා අතිගරු ජනාධිපතිතුමා ප්‍රමුඛ රජය ගෙනයන වැඩපිළිවෙළ තුළ මිරිස් නිෂ්පාදන ගම්මාන පිහිටුවීම ගොවිප්‍රජාවට ලැබෙන එක් ප්‍රතිලාභයක් පමණක් බවයි. සමස්ත ගොවි ප්‍රජාව වෙනුවෙන් වත්මන් රජය සුවිශේෂී වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරන අතර එහි ප්‍රතිලාභ සමඟ අතමිට සරු ගොවි පරපුරක් බිහිකිරීමට රජය කැපවන බව අවධාරණය කළේ ය.
මිරිස් ගම්මාන ව්‍යාපෘතිය පිළිබඳ ව අදහස් දක්වමින් අමාත්‍යතුමා සඳහන් කළේ මිරිස් වගාවට නව තාක්ෂණය යොදාගැනීම තුළින් ගොවියාට ලැබෙන ප්‍රතිලාභ කිහිප ගුණයකින් වර්ධනය වන බවයි. විශේෂයෙන් විසිරුම් ජල තාක්ෂණ තුළින් වගාව සඳහා ජලය යෙදීම අවම කාලයකින් සහ උපරිම කාර්යක්ෂමතාවකින් සිදු කළ හැකිය. ජලය යෙදීමේදී වැයවන ඉන්ධන ප්‍රමාණය 50% කින් ඉතුරු කරගත හැකි අතර ජල නාස්තිය අවම වීම නිසා ජල සම්පත ආරක්ෂා කරගැනීමටත්, ගතවන කාලය අවම නිසා ගොවි මහතුන්ගේ කාලය ද ඉතුරු වේ. එම කාලය වෙනත් වගාවක් සඳහා යොදාගැනීමට ද හැකි වීම නිසා නව තාක්ෂණය යොදා ගැනීම තුළ අත්වන වාසි සහගත තත්ත්වය ඉහළ මට්ටමක පවතී.
මෙහිදී කෘෂිකර්ම අමාත්‍යතුමා කෘෂිකර්ම නිලධාරීන් සහ ගොවි මහතුන් අතර මනා සම්බන්ධීකරණයක් පවත්වාගෙන යාමේ වැදගත්කම පෙන්වා දුන්නේය.
"වී වගාවට, එළවළු වගාවට අවශ්‍ය පොහොර තෝරාගන්නේ කොහොමද කියන ප්‍රශ්නය, අපි ගමට ගිහින් ගොවියාගෙන් ඇහුවා. ඔවුන් කඩේට ගිහින් මුදලාලිගෙන් අහලා, ඔහු කියන පොහොර වර්ගය වගාවට යොදන බව පැවසුවා. මෙතනදී කඩේ මුදලාලි තමන්ට වැඩියෙන් කොමිස් මුදල ලැබෙන පොහොර වර්ගය, හොඳම පොහොර කියලා ඒක වගාවට යොදන්න ගොවීන්ට උපදෙස් දෙනවා. මුදලාලි කරන්න ඕන රාජකාරීයක් නෙවෙයි, ඔහු කරන්නේ. අපේ කෘෂිකර්ම නිලධාරීන්ගෙන් විය යුතු රාජකාරිය වෙළෙන්දා කරනවා නම්, එතන ගැටලුවක් තියෙනවා. මේ නිසා නිතර ම ගොවියා සහ කෘෂිකර්ම නිලධාරියා අතර මනා සම්බන්ධතාවක් තිබීම අවශ්‍යයි. කෘෂිකර්ම අමාත්‍යාංශය සහ දෙපාර්තමේන්තුව හඳුන්වා දෙන නව තාක්ෂණය සහ ගොවිතැන පිළිබඳ නිසි අවබෝධය නිලධාරීන් හරහා ගමට ගෙනයාමේ ක්‍රමවේදය විධිමත් සහ සැලසුම් සහගත ක්‍රමවේදයක් විය යුතුයි."
වත්මන් ජනාධිපතිතුමා ගොවියකුගේ පුතෙක් ලෙස කෘෂි ආර්ථිකයක් බිහිකිරීමට කැපවන බවත්, එහිදී ගොවීන් වැඩිපුරම සිටින පළාතක අයෙකුට කෘෂිකර්ම අමාත්‍ය ධූරය පිරිනැමීමත්, කාෂිකර්මාන්තයට අදාළ සියලු ආයතන කෘෂිකර්ම අමාත්‍යාංශයට පවරාදීමෙන් ගොවිතැන සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීම පහසු කළ බවත් අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේ ය.
කෘෂිකර්ම අමාත්‍යාංශය සහ කාෂිකර්ම අමාත්‍යවරයා සිටින්නේ ගොවීන්ට පොළොව කොටන ආකාරය ඉගැන්වීමට නොව ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තියක් තුළින් ස්වයංපෝෂිත කෘෂි ආර්ථිකයක් ඇති කිරීමට බව ද එතුමා සඳහන් කළේ ය. ආණ්ඩුව විසුරුවා හැර ඇති මොහොතක පවා රටට අවශ්‍ය කෘෂිකාර්මික ප්‍රතිපත්තියක් පිළිබඳ කථිකාවතක් ඇති කිරීමට තරම් රට තුළ යහපත් වටපිටාවක් පවතී. ඒ අනුව රාජ්‍ය අංශය සහ පෞද්ගලික අංශය සමඟ එක්ව කෙටිකාලීන, මධ්‍යකාලීන සහ දිගුකාලීන වශයෙන් අදියර 03ක් යටතේ සැලසුම් සහගතව කටයුතු කිරීමට හැකියාව පවතී. පසුගිය සමයේ කෘෂිකර්මාන්තයේ දියුණුව වෙනුවෙන් ක්‍රියාත්මක කළ වැඩසටහන්වල අඩුපාඩු මඟහරවා ගනිමින් අලුත් වෙනසක් වෙනුවෙන් සැවොම එක්ව, අපේ දරුවන්ට යහපත් අනාගතයක් ඇති කිරීමට පෙළ ගැසෙන්නැයි ඔහු මෙහිදී ආරාධනා කළේ ය.
මෙම අවස්ථාව සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රොහාන් විජේකෝන් මහතා, පළාත් කාෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීහු ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.
NDH