නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පලතුරු ප්‍රවර්ධන සතිය ජූලි 08 සිට 12 දක්වා

    ජූලි 09, 2015
     'ශ්‍රී ලංකා පලතුරු ප්‍රවර්ධන සතිය - 2015' ජූලි 08 සිට 12 දින දක්වා හොරණ, කනන්විල පලතුරු පර්යේෂණ හා සංවර්ධන ආයතනයේදී පැවැත්වීමට කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගෙන ඇත.
     
    ආසියාවේ පලතුරු ශාක විවිධත්වයෙන් වැදගත් පාරිසරික කලාපයක් ලෙස ශ්‍රී ලංකාව ප්‍රසිද්ධ වී තිබේ. මෙරට පලතුරු වගාව හෙක්ටයාර් 150,000ක් පමණ පැතිරී තිබුණ ද ඒවායින් 90%ක් ම ගෙවතු ආශ්‍රිත ව පැවතීම නිසා වාණිජ කර්මාන්තයක් ලෙස පලතුරු වෙළෙඳපොළ ඉල්ලුමට සරිලන ආකාරයෙන් සැපයීම අසීරු ඉලක්කයක් වී තිබේ. 
     
    සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් සඳහා පුද්ගලයෙකු දිනකට පලතුරු ග්‍රෑම් 200ක් වත් ආහාරයට ගත යුතුය. නමුත් වසරේ මාස කිහිපයක වූ පලතුරු වාරයේදී හැර අනෙකුත් මාස 7-8ක කාල සීමාවේදී දේශීය පලතුරු වෙළෙඳපොළ තුළ දක්නට ලැබෙන්නේ අල්ප වශයෙනි.
     
    ආහාරයට ගත හැකි පලතුරු විශේෂ 200ක් පමණ මෙරට දක්නට ලැබෙන අතර ප්‍රධාන පලතුරු වන අඹ, පැපොල්, අන්නාසි, කෙසෙල්, අලිගැටපේර, දොඩම්, ජමනාරං, පේර වැනි පලතුරු ආහාරයට ගැනීමෙන් පෝෂණීය අවශ්‍යතා සපුරා ගත හැකි ය. වෙරළු, උගුරැස්ස, බෙලි, දිවුල්, ඇඹරැල්ලා, ගඩුගුඩා, අනෝදා වැනි පලතුරු පිළිකා ඇතිවීම වලක්වන අතර තරුණ බව වැඩිකල් රැකදෙන පෝෂක හා විශේෂ ප්‍රතිඔක්සිකාරක සංයෝගවලින් සමන්විතය. 
     
    පලතුරු ආහාරයට ගැනීමේ වැදගත්කම ප්‍රචලිත කරමින්, පලතුරු වගා කිරීම උනන්දු කරවීමටත්, පලතුරු වගාව ව්‍යාප්ත කර ගුණාත්මක බවින් ඉහළ පලතුරු වෙළෙඳපොළේ සුබල කිරීමත් 'ශ්‍රී ලංකා පලතුරු ප්‍රවර්ධන සතිය - 2015' අරමුණු වේ. 
     
    මෙහිදී පලතුරු පිළිබඳ අතිවිශාල දැනුම් සම්භාරයක් ලබාගැනීමට මෙන්ම ඉමිහිරි රසයෙන් යුත් දේශීය පලතුරු රස විඳීමටත් ඔබට අවස්ථාව උදාවේ. පලතුරු බෝග වගා කර ගැනීමට උසස් තත්ත්වයේ පැළ සාධාරණ මිලකට මිල දී ගැනීමටත්, පලතුරු පැළ බද්ධ කිරීම සම්බන්ධයෙන් දැනුවත් වන අතරම ප්‍රායෝගික ක්‍රියාකාරකම්වල යෙදීමටත් ඉඩකඩ හිමි වේ. නැවුම් පලතුරු රස විඳීමට මෙන්ම පලතුරු ආශ්‍රිත බීම වර්ග, ප්‍රණිත ආහාර වර්ග මිලදී ගැනීමටත්, එම ආහාර නිවසේදීම සකස් කරගන්නා ආකාරය පිළිබඳ වැඩමුළුවලට සහභාගී වීමටත් පලතුරු සතියට පැමිණෙන සියලුදෙනාට අවස්ථාව උදා වන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
     
    පලතුරු වගා කිරීම, පලතුරු ගස් පුනරුත්ථාපනය, පලතුරු ගස් කප්පාදු කර කුඩා කරගැනීම, පලතුරු වගාවේ පාංශු හා ජල සංරක්ෂණය, අවාරයේ පලතුරු ගෙඩි ලබා ගැනීම, පලතුරු වාරය දික් කර ගැනීම, පලතුරු පැළ නිපදවීම, පලතුරු තවාන් ඇති කිරීම, පලතුරු බෝග සඳහා පටක රෝපණ තාක්ෂණ භාවිතය, පැළ අලෙවිය, අස්වැන්න නෙළීම හා ගබඩා කිරීම, පලතුරු ආහාර සකස් කිරීම, පලතුරු අලෙවිය ආදී සියලු අංශ පිළිබඳව නවතම තාක්ෂණික දැනුම අවශ්‍යතාව අනුව ලබා දීමට සකස් කළ තාක්ෂණික පුහුණු වැඩසටහන් මාලාවක් හා සම්මන්ත්‍රණ මාලාවක් මෙම සතිය පුරාම ප්‍රදර්ශන භූමිය තුළ සැලසුම් කර ඇත.
     
    විනෝදයෙන් හා චමත්කාරයෙන් පිරි පලතුරු පාරාදීසයක නිසංසලේ සැරි සරමින් සැණකෙළියක සිරි සමඟ ඉමිහිරි පලතුරු සිය ගණනක රස විඳීමටත් දහසකුත් එකක් පලතුරු තාක්ෂණයෙන් හා විද්‍යාත්මක දැනුම උකහා ගනිමින් දූ දරුවන්ට, දෙමාපියන්ට, වගාකරුවන්ට, ආයෝජකයන්ට, ව්‍යාපාරිකයන්ට, අපනයනකරුවන්ට, පර්යේෂකයන්ට, දේශකයන්ට, පරිසරවේදීන්ට සංචාරක ක්ෂේත්‍රයේ ව්‍යාපාරිකයන්ට දේශීය මෙන්ම විදේශීය සංචාරකයන්ට ශ්‍රී ලංකාවේදී ලැබෙන විශිෂ්ටතම තිළිණයක් බවට පත්වන අමතක නොවන පලතුරු අත්දැකීම මෙය වන බැවින් මෙම  සුවිශේෂී අවස්ථාව මඟනොහැර එක්වන්නැයි කෘෂිකර්ම අමාත්‍යාංශය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ හොරණ, කනන්විල පලතුරු පර්යේෂණ හා සංවර්ධන ආයතනය සියලු දෙනාට ආරාධනා කර සිටී.
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya