මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අපේ උරුමය අපි රකිනවා - රජයේ කෘෂිකර්ම ප‍්‍රතිපත්ති කිසිවිටෙක වෙනස් කරන්නේ නැහැ - ජනපති අවධාරණය කරයි

    නොවැම්බර් 10, 2014

    අපේ රටේ උරුමය වූ කෘෂිකර්මාන්තය දියුණු කිරීමට රජය කැප වී සිටින බව පෙන්වා දුන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා කෘෂිකර්මාන්තයෙන් මේ රට ස්වයංපෝෂිත කිරීමට රජය ගෙන යන ප‍්‍රතිපත්ති වෙනස් කිරීමට කිසිවිටෙක සූදානම් නොමැති බව අවධාරණය කළේය.


    ත‍්‍රස්තවාදයට එරෙහි ව පළමු වෙඩි මුරය තැබූවේ ද මේ රටේ ගොවි ජනතාව වෙනුවෙන් බව සඳහන් කළ ජනාධිපතිතුමා අද උතුරු සහ නැගෙනහිර පළාත්වල යුද බිම් ද වගා බිම් බවට පත් ව තිබෙන බව ප‍්‍රකාශ කළේය.

    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ ගොවිජන සංවිධානවල නිලධාරීන් සහ නියෝජිතයින් සමඟ අද (10) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ පැවති හමුව අමතමිනි.

    ගොවිජන සේවාවේ දස වසරක පියසටහන් මැයෙන් සංවිධානය කර තිබූ මෙම හමුවට උතුරු නැගෙනහිර පළාත් ඇතුළු දිවයිනේ සියලු ම පළාත් නියෝජනය කරමින් ගොවි සංවිධානවල නිලධාරීන් සහ නියෝජිතවරු එක් ව සිටියහ.

    උත්සව ශාලාව වෙත පැමිණි ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාව ඔවුන් විසින් පිළිගත්තේ මහත් හරසරින් යුතුවය.

    ගොවිකමට මුල්තැන දුන්, කෘෂිකර්මාන්තය කෙරෙහි උනන්දුවක් දක්වන එක ම රජය වත්මන් රජය බව ද පැවසූ ජනාධිපතිතුමා පසුගිය රජයන් මෙන් පිටරට ගොවියා ශක්තිමත් කිරීමට තම රජයට අවශ්‍ය නොවන බව ද අවධාරණය කළේය.

    රටේ කෘෂිකර්මාන්තය කෙරෙහි විශ්වාසයක් නොතැබූ පසුගිය රජයන් සියල්ල පිටරටින් ගෙන්වීමට සූදානම් වූ බව ද සිහිපත් කළ අතර එම යුගය අවසන් කළ වත්මන් රජය අද අපේ දේට මුල්තැන දෙමින් අපේ ගොවියා ශක්තිමත් කරමින් රට ගොඩනැගීමට කටයුතු කරමින් සිටින බව ද පැවසීය.

    මේ රටේ ගොවියාට ආරක්ෂාව පමණක් නොව ආරක්ෂණයත් අද ලබා දී තිබෙන බව පෙන්වා දුන් ජනාධිපතිතුමා නියඟය, ගංවතුර, වල් අලින්ගෙන් වන හානිවලට වගා රක්ෂණ හඳුන්වාදී ඇති අතර පුරන්කුඹුරු හෙක්ටයාර් ලක්ෂ ගණනක් නැවත අස්වැද්දුවා පමණක් නො ව පුරන්කුඹුරු නැවත අස්වැද්දීමට ජල මාර්ග, වැව් අමුණු 3,800ක් ප‍්‍රතිසංස්කරණය කර දී ඇති අතර දිස්ති‍්‍රක්ක්ක 23ක් ආවරණය වන පරිදි අලුත් වාරි ව්‍යාපෘති 121 ගොඩනගා දී තිබෙන බවද සඳහන් කළේය.

    රජය මෙම සංවර්ධන කටයුතු කරගෙන යන විට ඒ දෙස බලාගෙන සිටිය නොහැකි ඇතමුන් ජනතාව අතරට විෂ පිරවීමට උත්සහ දරන බව ද පෙන්වා දුන් ජනාධිපතිතුමා සංවර්ධන ව්‍යාපෘතිවල ප‍්‍රතිඵල ලැබන විට එම ජනතාව පසුතැවෙන අවස්ථා පසුගිය දිනවල බොහෝ ලෙස දක්නට ලැබුණු බවද කියා සිටියේ ය.

    අමාත්‍යවරුන් වන මහින්ද යාපා අබේවර්ධන, අනුර පි‍්‍රයදර්ශන යාපා, එස්. එම්. චන්ද්‍රසේන, යන මහත්වරු ද පළාත් කෘෂිකර්ම අමාත්‍යවරු  ද, කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ආර්.එම්.ඩී.බී. මීගස්මුල්ල මහතා ඇතුළු නිලධාරීහු මීට එක්ව සිටියහ.

    NDH/priu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya