මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පනත් කෙටුම්පත් 04ක් හා නියමයන් 04ක් සම්මතයි

    අප්‍රේල් 09, 2014

    අද (09) පාර්ලිමේන්තුවේදී පනත් කෙටුම්පත් 04ක් හා පනත් යටතේ නියමයන් 04ක් සම්මත කර ගැනීම වෙනුවෙන් විවාදය පැවැත්වුණු අතර එම පනත් කෙටුම්පත් හා නියමයන් සියල්ල සම්මත විය.


    එහිදී විශේෂ වෙළඳ භාණ්ඩ බදු (සංශෝධන) පනත් කෙටුම්පත හා මුදල් නීති (සංශෝධන) පනත් කෙටුම්පත සංශෝධන රහිතව සම්මත විණි.


    සමාගම් (සංශෝධන) පනත් කෙටුම්පත හා ගෙවීම් පැහැර හරිනු ලැබූ බදු පියවීමේ (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පත සංශෝධන සහිතව සම්මත කරගන්නා ලදී.


    මීට අමතරව අද විවාදයට ගත් රේගු ආඥාපනත යටතේ යෝජනාව, නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනත යටතේ නියෝග සහ සුරා බදු ආඥාපනත යටතේ නියමයන් දෙකක්ද සම්මත විය.


    අද දින මෙම පනත් කෙටුම්පත් පිළිබඳ විවාදය ආරම්භ කරමින් කතා කළ විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසුවේ 2013 දී දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස අය-වැය හිඟය 5.8%ක මට්ටමේ පවත්වා ගෙන යන්නට සැලසුම් කළ බවත් එහි ප්‍රතිඵලයක් ලෙස 5.9%ක මට්ටමේ පවත්වාගෙන යන්න හැකි වූ බවත්ය. මෙය අනාගත සැලසුම් සකස් කිරීම පිළිබඳ සාර්ථක තත්ත්වයක් බව පැවසූ අමාත්‍යවරයා 2013 අවසන් වන විට ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස 78.3%ක පැවති බව ද කීවේය.


    වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ ද කීවේය. "පාරිභෝගිකයාට පහසු වන පරිදි බදු සංශෝධනය කෙරේ. මේ සශෝධන පනත් කෙටුම්පත් මඟින් අපේක්ෂා කරන්නේ රජයේ බදු ආදායම නිසි පරිදි අය කර ගැනීමටයි. සමාගමක් වසා දැමීම හෝ එහි යම් වෙනසක් සිදුවන විට දේශීය ආදායම් කොමසාරිස්වරයා දැනුවත් කළ යුතුයි. මේවා අලුත් බදු නොවේ. මෙතෙක් පැවැති බදු නියමාකාරයෙන් ක්‍රියාත්මක කිරීම මෙහි අරමුණයි. ගෙවීම් පැහැර හරිනු ලැබූ බදු එකතු කර ගැනීම තවත් ක්‍රියාමාර්ගයකි. එය අදාළ ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයගෙන් මුදල් හෝ නිශ්චල දේපොළවලින් අයකර ගැනීමට අවස්ථාව තිබේ. බැංකු සඳහා වන ස්ථාවර තැන්පත් ප්‍රමාණය වැඩි කිරීමට පියවර ගෙන තිබෙනවා.


    බලාපොරොත්තු වන බදු සහන අවශ්‍ය සමාජ කණ්ඩායම්වලට හිමිකරදීමටත් රාජ්‍ය ආදායම නිසි පරිදි එකතු කර දීමටත් පියවර ගන්නවා. මේවා රාජ්‍ය මූල්‍ය හැසිරීම් සඳහාත් ආර්ථිකය වැඩිදියුණු කිරීම සඳහාත් ගන්නා ලද කාලීන ඉලක්ක ලෙස සැලකිය හැකියි. මේ රටේ ආර්ථිකයේ නිර්ණායකයන් ධනාත්මක තත්ත්වයට පත්ව ඇති බව 2013 මහ බැංකු වාර්තාවේ සඳහන් වෙනවා. සියලුම අංශවල පැහැදිලි වර්ධනයක් දක්නට ඇත. රටේ ඒක පුද්ගල ආදායම ඉහළ ගොස් ඇත. ආදායම් බෙදීයාම විෂම බව කියමින් මෙය හෑල්ලු කිරීමට උත්සාහ කෙරුවත් නොකඩවා වසර 05ක් එක දිගට උද්ධමනය තනි ඉලක්කමක පවත්වා ගෙන යාමට හැකි වී ඇතැයි ද" අමාත්‍යවරයා කීවේය.


    2014 පෙබරවාරි වන විට උද්ධමනය 4.2%කි. දරිද්‍රතා මට්ටම 6.5% දක්වා අඩු වී ඇත. සේවා වියුක්තිය 4.4%ක මට්ටමක පවතී. අපේ විදේශ සම්පත් ඉතා ශක්තිමත් තත්ත්වයකට පත්ව තිබේ. මේ ලෙස ආර්ථිකය ඉදිරියට ගෙන ගියහොත් 2016 වන විට 8.4%කින් ආර්ථික වර්ධනය පවත්වා ගෙන යා හැකි බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.


    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya