මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බිම්ස්ටෙක් මහ ලේකම් ජනපති හමුවෙයි

    දෙසැම්බර් 09, 2021

    බහු ආංශික තාක්ෂණික හා ආර්ථික සහයෝගීතාව සඳහා වූ බෙංගාල බොක්ක ප්‍රවේශය (බිම්ස්ටෙක්) සංවිධානයේ මහ ලේකම් ටෙන්සින් ලෙක්ප්හෙල් (Tenzin Lekphell) මහතා ඊයේ (08) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමුවිය.

    පසුගිය වසරේ නොවැම්බර් 06 වන දින බිම්ස්ටෙක් මහ ලේකම් ලෙස පත් වූ ලෙක්ප්හෙල් මහතාගේ පළමු ශ්‍රී ලංකා සංචාරය මෙයයි.

    2018 – 2020 කාලසීමාව සඳහා බිම්ස්ටෙක්හි සභාපතිත්වය ශ්‍රී ලංකාවට හිමි විය. එම කාලසීමාවේ දී ත් ආරම්භක සාමාජිකයෙකු ලෙසත්, බිමිස්ටෙක් සංවිධානය සඳහා ශ්‍රී ලංකාව දැක්වූ දායකත්වය මහ ලේකම් ටෙන්සින් ලෙක්ප්හෙල් මහතාගේ ඇගයීමට ලක් කෙරිණ.

    බිම්ස්ටෙක් සංවිධානය හරහා ගොඩනගන කලාපීය සහයෝගීතාව වඩා ඵලදායී විය යුතුය. එමෙන්ම කලාපයේ වෙසෙන ජනතාවට එහි ප්‍රතිලාභ සෘජුවම ලබාදිය හැකි අයුරින් සාමාජික රටවල් සහ මහ ලේකම් කාර්යාලය සමග කැපවීමෙන් ක්‍රියා කරන බව ජනාධිපතිතුමා මහ ලේකම්වරයා සමග පැවසීය. බිම්ස්ටෙක් ප්‍රඥප්තිය සම්පූර්ණ කිරීම මගින් ආයතනික ප්‍රතිසංස්කරණයක අවශ්‍යතාව කෙරෙහි ශ්‍රී ලංකාව අවධානය යොමු කර ඇති බව ජනාධිපතිතුමා සඳහන් කළේය.

    බිම්ස්ටෙක් හි අනාගත ක්‍රියාකාරකම් වෙනුවෙන් සාමාජික රටවල් අතර විශේෂිත වූ ක්ෂේත්‍ර බෙදාගැනීම සිදු විය යුතුය. විද්‍යාව, තාක්ෂණ, නවෝත්පාදන අංශ, ශ්‍රී ලංකාවට අදාළ ප්‍රධාන ක්ෂේත්‍ර වේ. ඒ වෙනුවෙන් ක්‍රියාකාරී සැලැස්මක් ඉදිරි මාස කිහිපයේ දී ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇතැයි, ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

    කොවිඩ් වසංගතය හේතුවෙන් නියමිත කාලපරිච්ඡේදය තුළ පැවැත්වීමට නොහැකි වූ පස්වන බිම්ස්ටෙක් සමුළුව ලබන වසරේ මුල් කාර්තුව තුළ පැවැත්වීමට හැකි වෙනු ඇතැයි ද ජනාධිපතිතුමා විශ්වාය පළ කළේය.

    ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, බිම්ස්ටෙක් ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂවරුන් වන හොසෙයින් මොෂාරෆ් (Hossain Mosharaf), මහිශිනී කොලොන්නේ (Mahishini Colonne) යන මහත්ම මහත්මීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya