අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සංචරණ සීමා ජූනි 07 දක්වා - මැයි 25, 31 සහ ජූනි 04 තෙදින සංචරණ සීමා තාවකාලිකව ලිහිල් කෙරේ

    මැයි 24, 2021

    Ø සීමා ලිහිල් කෙරෙන දිනවලදී අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ මිලදී ගැනීමට එක් නිවසකින් එක් අයෙකුට ආසන්නම වෙළෙඳ සැලට යාමට අවසර .....

    Ø ජනතාවට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමේ පහසුව සඳහා ප්‍රාදේශීය මට්ටමින් ජංගම වෙළෙඳ රථ .....

    Ø ජූනි 07 දක්වා සුරාසල් සම්පූර්ණයෙන් වසා තැබේ ...

    Ø සංචරණ සීමා කඩකරන්නන් පිළිබඳ තොරතුරු සෙවීමට යුද හමුදාවෙන් සහ ගුවන් හමුදාවෙන් ඩ්‍රෝන යානා මෙහෙයුම් ....

    පවතින තත්ත්වය පාලනය කිරීමට සංචරණ සීමා ජූනි 07 දක්වා දීර්ඝ කිරීමට රජය තීරණය කර තිබේ.

    කොවිඩි මර්දන විශේෂ කමිටුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (24) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී රැස් වූ අවස්ථාවේ දී මෙම තීරණයට එළැඹිණි.

    හෙට (25) අළුයම 4.00 සිට රාත්‍රී 11.00 දක්වා සංචරණ සීමා ලිහිල් කෙරේ. ඒ අනුව හෙට (25) දින විවෘතව තැබිය හැක්කේ තෝරාගත් සිල්ලර වෙළෙඳ සැල්, ඖෂධ සැල්, මාළු, මස්, එළවළු, බේකරි නිෂ්පාදන වෙළෙඳ සැල් හා ඉන්ධන පිරවුම් හල් පමණි.

    සීමා ලිහිල් කෙරෙන දිනවලදී අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ මිලදී ගැනීමට එක් නිවසකින් එක් අයෙකුට පමණක් ආසන්නම වෙළෙඳ සැලට යාමට අවසර හිමි වේ.

    සංචරණ සීමා බල පැවැත්වෙන සහ ලිහිල් කෙරෙන කාල සීමාව තුළ සුරා සැල් සම්පූර්ණයෙන් වසා තැබිය යුතුය.

    හෙට (25) දිනයේ දී නිවසින් බැහැර වීමේදී හැඳුනුම්පතේ අවසන් අංකය පිළිබඳ ක්‍රමය ක්‍රියාත්මක නොවේ. කිසිදු හේතුවක් මත වාහනවලින් පාරිභෝගික භාණ්ඩ මිලදී ගැනීමට වෙළෙඳ සැල් වෙත ගමන් කළ නොහැකිය.

    හෙට (25) රාත්‍රී 11.00 සිට මැයි 31 අළුයම 4.00 දක්වා නැවතත් පෙර පරිදි සංචරණ සීමා පැනවේ.

    මැයි 31 වන දින අළුයම 4.00 සිට රාත්‍රී 11.00 දක්වා යළි සංචරණ සීමා ලිහිල් කෙරේ.

    මැයි 31 රාත්‍රී 11.00 ට නැවත පැණවෙන සංචරණ සීමා ජූනි 04 අළුයම 4.00 දක්වා බල පැවැත් වේ.

    ජූනි 04 වන දින අළුයම 4.00 සිට රාත්‍රී 11.00 දක්වා යළි සංචරණ සීමා ලිහිල් කෙරේ.

    ජූනි 04 රාත්‍රී 11.00 ට නැවත පැණවෙන සංචරණ සීමා ජූනි 7 වන දින අළුයම 4.00 දක්වා ක්‍රියාත්මක කෙරේ.

    යුද හමුදාව සහ ගුවන් හමුදාව ඩ්‍රෝන යානා යොදා ගනිමින් සංචරණ සීමා කඩකරන්නන් පිළිබඳ තොරතුරු දිනපතා නිරීක්ෂණය කරයි.

    සංචරණ සීමා පනවා ඇති කාල සීමාව තුළ ජනතාවට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමේ පහසුව සඳහා ප්‍රාදේශීය මට්ටමින් ජංගම වෙළෙඳ රථ යෙදවේ.

    ජනතාව මුහුණ දෙන අපහසුතා පිළිබඳ දැනුම් දීමට සහ සම්බන්ධීකරණ තොරතුරු සේවාවක් ලෙස 1965 ක්ෂණික දුරකථන අංකය පැය 24 පුරාම ක්‍රියාත්මකය.

    ප්‍රාදේශීය මට්ටමින් ගොවීන්ට අළෙවි කරගත නොහැකි එළවළු අස්වනු රජය මගින් මිලදී ගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ද ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.

    සංචරණ සීමා කාලය තුළ මාර්ගවල ධාවනය වන වාහන සැබවින්ම අත්‍යාවශ්‍ය සේවාද යන්න සෝදිසි මෙහෙයුම් පොලීසිය විසින් ක්‍රියාත්මක කෙරෙනු ඇති.

    අමාත්‍යවරුන් වන පවිත්‍රා වන්නිආරච්චි, ගාමිණි ලොකුගේ, බන්දුල ගුණවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, රමේෂ් පතිරණ, ප්‍රසන්න රණතුංග, රෝහිත අබේගුණවර්ධන, නාමල් රාජපක්ෂ, රාජ්‍ය අමාත්‍යවරුන් වන සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, චන්න ජයසුමන, පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග යන මහත්වරු, අමාත්‍යාංශ ලේකම්වරු සහ රේඛීය ආයතන නියෝජිතයෝ සාකච්ඡාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya