මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොවිඩ් මර්දන එන්නත් පළමු තොගය ලබන 27 දිවයිනට- එන්නත් කිරීම පසුදින සිටම

    ජනවාරි 23, 2021

    Ø රටේ ස්වෛරීභාවයට හානිවන ආකාරයෙන් කිසිදු සම්පතක් වෙනත් රටකට දෙන්නේ නැහැ .... රට ගැන වැරදි මතයක් ලෝකයට දෙන්නෙත් නැහැ ....

    Ø ආයතනවල දූෂණ හා අක්‍රමිකතා නතර කිරීමට දැඩි තීරණ ගන්න වෙනවා .... යට්ටපාත “ගම සමග පිළිසඳරේදී” ජනපති කියයි.

    ඉන්දීය රජය නොමිලේ දෙන කොවිඩ් මර්දන එන්නත් පළමු තොගය 27 බදාදා දිවයිනට ගෙන එන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි.

    සෞඛ්‍ය හා ආරක්ෂක අංශ සාමාජිකයන් එන්නත් කිරීම පසුදිනම (28) ආරම්භ කරන බවද ජනාධිපතිතුමා සඳහන් කරයි.

    ඉන්දියාව, චීනය සහ රුසියාව සමග දැනටමත් සාකච්ඡා කර ඇති පරිදි අවශ්‍ය එන්නත් ප්‍රමාණය කඩිනමින් ගෙන්වා ගැනීමට සියලු පියවර ගෙන ඇතැයි ද එතුමා කියා සිටී.

    අද (23) පෙරවරුවේ කලුතර, වලල්ලාවිට, යට්ටපාත ග්‍රාමයේ පැවති “ගම සමග පිළිසඳර” හත් වැනි වැඩසටහනට සහභාගී වෙමින් ජනාධිපතිතුමා මේ බව පැවසීය.

    ජනතා ප්‍රශ්න විමර්ශනයට පෙර රැස්ව සිටී පිරිස ඇමතූ ජනාධිපති රාජපක්ෂ මැතිතුමා වර්තමානයේ සමාජයේ කතා බහට බඳුන්ව ඇති මාතෘකා කිහිපයක් පිළිබඳව රජයේ ස්ථාවරය සාධක සහිතව පැහැදිළි කළේය.

    කොළඹ වරාය, නැගෙනහිර පර්යන්තය පිළිබඳව සිදුවන කතිකාව ගැන අවධානය යොමු කළ එතුමා පසුගිය රජය නැගෙනහිර පර්යන්තය විෂයය කොට ගෙන ඉන්දියාව සමග අවබෝධතා ගිවිසුමක් අත්සන් කර ඇතැයි පෙන්වා දුන්නේය.

    රාජ්‍යයන් දෙකක් අතර අත්සන් තබා ඇති ගිවිසුමක් අත්තනෝමතිකව අහෝසි කිරීමට නොපිළිවන. පසුගිය රජය පිළිගෙන තිබූ MCC ගිවිසුම සම්බන්ධ සිය රජයේ පිළිවෙත අමරිකානු රජයට පැහැදිලි කර දෙනු ලැබීය. ගිවිසුම්වලට එළඹීමේ දී රටේ ස්වෛරීභාවයට හානිවන අයුරින් කිසිදු සම්පතක් වෙනත් රටකට නොදෙන බව ජනාධිපතිතුමා අවධාරණය කළේය.

    ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු ඉන්දියාවේ කළ පළමු චාරිකාවේ දී නැගෙනහිර පර්යන්ත ගිවිසුම ගැන මෝදි අග්‍රාමාත්‍යතුමා සමග දීර්ඝ වශයෙන් සාකච්ඡා කරමින් ශ්‍රී ලංකා රජයේ ස්ථාවරය පැහැදිළි කර දුන් බව ජනාධිපතිතුමා කීය.

    නැගෙනහිර පර්යන්තය යනු කුමක්ද සහ එහි කාර්ය භාරය කවරේද යන්න විස්තර කළ ජනාධිපතිතුමා නැගෙනහිර පර්යන්තයේ ප්‍රධාන ආදායම් මූලාශ්‍රය ප්‍රති අපනයන ක්‍රියාවලිය බව පෙන්වා දුන්නේය.

    ප්‍රතිඅපනයන 66%කටම දායක වන්නේ ඉන්දියාවයි. එබැවින් නැගෙනහිර පර්යන්තය සංවර්ධනයෙන් සපුරා ගැනීමට අපේක්ෂා කරන ව්‍යාපාරික කාර්යය අවබෝධ කොටගෙන ඉදිරි පියවර සැලසුම් කළයුතුය.

    ආයෝජන වැඩසටහන යටතේ පර්යන්තයේ පරිපාලනය සහ 51%ක කොටස් හිමිකම ශ්‍රී ලංකා වරාය අධිකාරියට හිමි වේ. ඉතිරි 49%ක කොටස් ආයෝජනයට ඉන්දියාව, ජපානය හා ශ්‍රී ලංකාවේ සමාගම් කිහිපයක් ඉදිරිපත්ව සිටී.

     

    ජනතාව තමා බලයට පත් කළේ විශාල බලාපොරොත්තු රැසක් ඇතිව බවත්, වැඩකරනවා මිස ඝෝෂා කිරීම තම ක්‍රමය නොවන බවත් ජනාධිපතිතුමා කියා සිටියේය. ඉතිරිව ඇති සිව් වසරක කාලය තුල ජනතා අපේක්ෂා මල් ඵල ගැන්වීමට කැපවන බව ද එතුමා අවධාරණයෙන් කීය.

    රාජ්‍ය සේවයේ අකාර්යක්ෂමතාව නැති කිරීම ජනතාවගේ ප්‍රධාන ඉල්ලීමකි. රේගුවේ අකාර්යක්ෂමතාව සහ දූෂණය පිටුදැකීමට පියවර රැසක් ගෙන තිබේ. එය සාර්ථක කර ගැනීමට බාධාවක් වන සියලුම නිලධාරීන් ඉවත් කර හෝ අකාර්යක්ෂමතාව සහ දූෂණය නතර කරන බව ජනාධිපතිතුමා කියා සිටියේය.

    සියලු රාජ්‍ය ආයතනවල හොඳ නිලධාරීහූ ද සිටිති. දූෂණයෙන් තොර කාර්යක්ෂම රාජ්‍ය සේවාවක් ඇති කරන ලෙස ඔවුන් ද තමාගෙන් ඉල්ලා සිටින බව පෙන්වා දුන් ජනාධිපතිතුමා රාජ්‍ය සේවකයන් නඩත්තු වන්නේ මහජන මුදලින් බව සිහිපත් කළේය. තමා භාරගත් කාර්යය මැනවින් ඉටු කළ නිසා ජනතාව මන්ත්‍රී ධූර 150ක පාර්ලිමේන්තු බලයක් තමාට ලබාදුන් බව ජනාධිපතිතුමා සඳහන් කළේය.

    “ගම සමග පිළිසඳර” වැඩසටහනේ හත් වැන්නට සහභාගීවීමට යට්ටපාත, උපසේන ක්‍රීඩාංගණයට පැමිණි ජනාධිපතිතුමා රැස්ව සිටී ජනතාවගේ ගැටළුවලට සවන් දුන්නේය.

    උපසේන ක්‍රීඩාංගණය සංවර්ධනය කර දෙන ලෙස කළ ඉල්ලීම හෙට සිටම ක්‍රියාත්මක කිරිමට ජනාධිපතිතුමා එකඟත්වය පළ කළේය.

    ජනතාවගෙන් ඉදිරිපත් වූ ඉඩම් ගැටළුවලට සවන් දුන් රාජපක්ෂ මැතිතුමා නිසි අයුරින් මැනුම් සිදුකර ඉඩම් ඔප්පු ප්‍රදානය කඩිනම් කළයුතු බව කීය.

    “කිසිඳු වත්කමක් නැති අය කලක සිට යම් ඉඩමක පදිංචිව සිටින්නට හෝ වගා කරන්නට හෝ පිළිවන්. එවැනි අවස්ථා හොඳින් අධ්‍යයනය කොට ඉඩම් අයිතිය ලබා දීම කළ යුතුයි. ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් ඉඩම් සඳහා ඔප්පු නිකුත් කිරීම ඉදිරි මාස 06 ඇතුළත අවසන් කළයුතුයි”, නිලධාරීන්ට උපදෙස් දෙමින් ජනාධිපතිතුමා පැවසීය.

    නෙහිරිහේන - යට්ටපාත මාර්ගයේ වෑවැල්ල නෙහිරිහේන කි.මි 4.2ක කොටස කාපට් අතුරා සංවර්ධනය කිරීම ද ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

    2020 සැප්තැම්බර් 25 වන දින බදුල්ල දිස්ත්‍රීක්කයෙන් “ගම සමග පිළිසඳර” වැඩසටහන ආරම්භ විය. මාතලේ, රත්නපුරය, අනුරාධපුරය, අම්පාර සහ පොළොන්නරුව දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි පසුගිය වැඩසටහන් සංවිධාන කෙරිණ. මෙතෙක් නිසි අවධානයට ලක් නොවූ නගරයෙන් බැහැර දුෂ්කර ගම්මානවල ජනතාව හමුවී, ඔවුන්ගේ ගැටළු විමසා ඒ මොහොතේම නිලධාරීන්ගේ අවධානය යොමු කර විසඳුම් දීම ජනාධිපතිතුමාගේ අරමුණයි. විසඳීමට කල්ගතවන ගැටළු පසුව ආමන්ත්‍රණය කරනු පිණිස සටහන් කර ගනු ලැබේ.

    ගමේ ජනතාව අතරට පැමිණ ඔවුන්ගේ ප්‍රශ්න විමසා ඔවුන්ගේම යෝජනා තුළින් පිළියම් සෙවීම ගම සමග පිළිසඳර වැඩසටහනේ අපේක්ෂාවයි. ඒ සඳහා සෑම සෙනසුරාදාවකම තමා දුෂ්කර ගම්මානයක් වෙත යන බව ජනාධිපතිතුමා පැවසීය.

    නීති රීති සම්පාදනය කොට ඇත්තේ ජනතාවගේ හිත සුව පිණිසය. එබැවින් ජන ජීවිතය පහසු කිරීමේ අභිප්‍රාය ඇතිව නීති රීති ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා විසින් අවධාරණය කරනු ලැබීය.

     

    කලුතර නගරයේ සිට කි.මි 64ක් පමණ දුරින් පිහිටි වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් යට්ටපාත ග්‍රාමය බස්නාහිර පළාතේ එක් කෙළවරක, දකුණු පලාතේ නෙළුව ගම්මානයට මායිම්ව පිහිටා තිබේ. මණ්ඩගල, ගුලනවත්ත, වීරකන්ද, රණේපුරගොඩ, යට්ටපාතට මායිම්ව ඇති සෙසු ග්‍රාම සේවා වසම්ය. පවුල් 1530කින් සමන්විත මේ ග්‍රාම සේවා වසම් 05 ජනගහණය 5748කි. වී, තේ, රබර් සහ කුරුඳු වගාව මෙන්ම කිතුල් ආශ්‍රිත කර්මාන්තය ඔවුන්ගේ ප්‍රධාන ජීවනෝපාය වේ.

    “ගම සමග පිළිසඳර” වැඩසටහන ආරම්භයේ දී අනුශාසනාවක් කළ වලල්ලාවිට, කටුදොර ශ්‍රී විමලාරාමාධිපති, පස්දුන් කෝරළයේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය කෙවිටියාගල ජිනසිරි හිමි “ජනතාව ජනාධිපතිතුමා කෙරෙහි තැබූ අපේක්ෂාවන් දෙස තවදුරටත් විශ්වාසයෙන් බලා සිටින බව” සඳහන් කළහ. කොවිඩ් වසංගතය හමුවේ ඇති වූ අඩාලවීම් ජය ගෙන ජනතාව ජනාධිපතිවරණයේ දී තැබූ අපේක්ෂා ඉටුකිරීමට සියලුදෙනා කැපවනු ඇතැයි ද උන්වහන්සේ විශ්වාසය පළ කළහ.

     

    ශ්‍රී ලංකා ටෙලිකොම්, මොබිටෙල් ආයතනය යට්ටපාත කණිෂ්ඨ විද්‍යාලයට පරිත්‍යාග කළ සුහුරු පංතිකාමරය, පරිගණක සහ ඩයලොග් ආයතනය පිරිනැමූ දිගුකාලීන සබඳතාවක් සහිත රූපවාහිනි යන්ත්‍රය ජනාධිපතිතුමා විසින් විදුහල්පතිවරයාට ප්‍රදානය කෙරිණ.

    යට්ටපාත විද්‍යාලයට ගොඩනැගිල්ලක් ඉදිකර දීම බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ් ද එයා ෆෝස් රොෂාන් ගුණතිලක මහතා විසින් භාර ගනු ලැබීය. විද්‍යාලයේ ක්‍රීඩාපිටිය ඇතුළු මතුගම කලාපයට අයත් පාසල් ක්‍රීඩා පිටි 52ක් සංවර්ධනය කර දෙන ලෙස ජනාධිපතිතුමා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. කලාපයේ පාසල්වල ගුරු හිඟයට පිළියම් යොදන ලෙසත්, යටිතල පහසුකම් අවශ්‍යතා සම්පූර්ණ කර දෙන ලෙසත් ජනාධිපතිතුමා විසින් නියම කරනු ලැබීය.

    පැලවත්ත - බදුරලිය, නෙළුව - බදුරලිය මාර්ග සහ ග්‍රාමීය අතුරු මාර්ග සංවර්ධනය කිරීමට ද තීරණය කෙරිණ. ව්‍යාපෘති අධීක්ෂණය ප්‍රදේශයේ මහජන නියෝජිතයන්ට පැවරිණ. විධිමත්ව සහ කඩිනමින් සංවර්ධන කටයුතු සිදු නොකරන කොන්ත්‍රාත්කරුවන් ඉවත් කිරීමට වහා පියවර ගන්නා ලෙස ද ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.

    ප්‍රදේශයේ සෞඛ්‍ය, පානීය ජල සම්පාදන සහ වැව්, ඇල, වේලි ඉදිකිරීම් ඇතුළු ජනතා අවශ්‍යතා කඩිනමින් සපුරාදීම අදාළ රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට පවරන ලදී.

    අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන, රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක, බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ් ද එයා ෆෝස් රොෂාන් ගුණතිලක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සංජීව එදිරිමාන්න, අනූප පැස්කුවල්, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග යන මහත්වරු සහ ජනතා නියෝජිතයෝ, අමාත්‍යාංශ ලේකම්වරු, රාජ්‍ය ආයතන ප්‍රධානීහු ඇතුළු පිරිසක් යට්ටපාත “ගම සමග පිළිසඳර” වැඩසටහනට එක්ව සිටියහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya