දෙවැනි ලෝක සංග්‍රාමයෙන් පසු එකමුතුකම අරමුණු කරගත් රැසියානු සහ මොංගෝලියානු බෞද්ධ නායකයෝ අන්තර්ජාතික බෞද්ධ සංවිධානයක අවශ්‍යතාව කෙරෙහි අවධානය යොමු කළහ. එහි ප්‍රතිඵලයක් ලෙස 1970 ජුනි මස 13 වැනි දින මොංගෝලියාවේ උලන් බටාර් නගරයේ මහා විහාරයට රැස් වූ ගිහි පැවිදි බෞද්ධ නායකයෝ “ආසියානු බෞද්ධ සාම සම්මේලනයේ” ප්‍රථම සමුළුව පැවැත්වූහ. දෙවන සමුළුව ශ්‍රී ලංකාවේ පවත්වා තිබේ. මේ වන විට ලෝකයේ සියලු බෞද්ධ රටවල් මෙහි සාමාජිකත්වය ගෙන සිටී.
13 වන විධායක කවුන්සල සභා රැස්වීමේ සත්කාරක දායකත්වය ශ්‍රි ලංකාවට හිමිව තිබේ. කොරෝනා වසංගතය හමුවේ සත්කාරක රට වශයෙන් ක්‍රියා කිරීම මෙරට ලැබූ සුවිශේෂ ගෞරවයක් හා සෙසු රටවල් අතර සමීප සබඳතාවකට හේතු වනු ඇතැයි ආසියානු බෞද්ධ සම්මේලනය පෙන්වා දෙයි.
අද ඇරඹි විධායක කවුන්සිල සභා රැස්වීමට Zoom සන්නිවේදන තාක්ෂණය ඔස්සේ රටවල් 25ක නියෝජිතයෝ එක්ව සිටියහ.
විහාරස්ථානයට පැමිණි ජනාධිපතිතුමා විහාර මන්දිරය වෙත ගොස් ආගමික වතාවත්හි නිරතවීමෙන් අනතුරුව සමුළුවට සහභාගී විය.
මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ සමුළුවේ අරමුණ පැහැදිළි කළහ.
මල්වතු පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි නාහිමියෝ “කොවිඩ් - 19 හමුවේ බෞද්ධයන්ගේ කාර්යභාරය” යන මැයෙන් මුලසුන දේශනය කළහ.
පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා ප්‍රධාන දේශනය කළේය.
මොන්ගෝලියානු අග්‍රාමාත්‍ය උක්හාන් ජින් කුරේල්සුක් (Ukhnaagiin Khurelsukh) මහතා වීඩියෝ තාක්ෂණය ඔස්සේ සමුළුව ඇමතීය.
ආචාර්ය පූජ්‍ය මාඉටිපේ විමලසාර නා හිමියෝ සමුළුවේ ප්‍රථම භාගයේ අවසාන දේශනය කළහ.
සමුළුවේ සමාරම්භක අවස්ථාවෙන් පසු ශ්‍රී සම්බෝධි විහාරාධිපති පූජ්‍ය බොරලන්දේ වජිරඤාණ නායක හිමියන් බැහැදුටු ජනාධිපතිතුමා සුගන්ධ කුටියට ගොස් සර්වඥ ධාතූන් වහන්සේ වැඳ ආශිර්වාද ලබා ගත්තේය.
ත්‍රෛනිකායික මහා සංඝරත්නය, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහතා සහ දේශීය හා විදේශීය බෞද්ධ නියෝජිතයෝ ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියහ.