අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කුරුණෑගලට අති නවීන රෝහලක්

    ජනවාරි 10, 2021

    කුරුණෑගල පළාත් මහ රෝහල අති නවීන රෝහලක් ලෙස අලුතින්ම ඉදිකර දෙන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (10 දින) පැවසීය.

    පළාත් මහ රෝහලේ හා දිස්ත්‍රික්කයේ අනෙකුත් රෝහල් ආශ්‍රිතව පවතින ගැටුලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ පැවැති හමුවේදී අග්‍රාමාත්‍යතුමා මේ බව සඳහන් කළේය.

    අලුතින් නව රෝහල ඉදිකර අවසන්වනතුරු අනෙකුත් රෝහල්වලට සමගාමීව කුරුණෑගල මහ රෝහලේ පවතින වෛද්‍ය, හෙද හා සෞඛ්‍ය කාර්ය මණ්ඩල හිඟය වහාම පියවන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රාදේවි වන්නිආරච්චි මහත්මියට උපදෙස් දුන්නේය.

    ඒ අනුව මසක කාලයක් තුළ කුරුණෑගල රෝහලේ පවතින වෛද්‍ය, හෙද හා සෞඛ්‍ය කාර්ය මණ්ඩල හිගය පියවන බව සෞඛ්‍ය ඇමැතිනි පවිත්‍රාදේවි වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.

    ශික්ෂණ රෝහලක් ලෙස හැඳින්වුවද කුරුණෑගල මහ රෝහල පළාත් මහ රෝහලක් ලෙස මේ දක්වා ක්‍රියාත්මකවන බව මෙහිදී අනාවරණය විය.

    වසරකට රෝගීන් මිලියන 1.2ක් පමණ මෙම රෝහල ඔස්සේ ප්‍රතිකාර ලබන අතර 2019 දත්ත අනුව එම වසරේදී භාහිර රෝගී අංශයෙන් පමණක් ප්‍රතිකාර ලබා ඇති රෝගීන් ගණන හයලක්ෂ තිස්දහසකි. මාසික නව දරු උපත් 1000ක් පමණ සිදු වේ.

    කොළඹ ජාතික රෝහලට හා මහනුවර රෝහලට පමණක් දෙවැනිවන කුරුණෑගල මහ රෝහල මෙරට තෙවැනි විශාලතම රෝහලයි. ඇඳන් 2374 කින් සමන්විත රෝහලේ වසරකට ශල්‍ය කර්ම 18000 කට ආසන්න සංඛ්‍යාවක් සිදු කරයි.

    ශල්‍යාගාර 06 ක් පමණ යොදාගනිමින් මෙම ඉලක්කය සපුරන බව කුරුණෑගල රෝහලේ වැඩබලන අධ්‍යක්ෂිකා වෛද්‍ය ප්‍රමිතා ශාන්තිලතා මහත්මිය පෙන්වා දුන්නාය.

    නව මාතෘ වාට්ටු සංකීර්ණය හා විශේෂඥ ශල්‍ය ඒකක සඳහා අවශ්‍ය ශල්‍යාගාර, විකලාංග හා අක්ෂි ශල්‍ය ඒකකයක්, නව ජන්ම ළදරු ඒකකයක් ඇතුළු රෝහලේ පවතින කාර්ය මණ්ඩල හිඟය සහ ඉදිරි සංවර්ධන සැළැස්ම පිළිබඳව කුරුණෑගල මහ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන කැදන්ගමුව මහතා මෙහිදී විස්තර කළේය.

    පිහිටීම අනුව ප්‍රධාන මාර්ග 5ක් එකිනෙකට සම්බන්ධවන නිසා වෙනත් දිස්ත්‍රික්කවල ජනතාව ද කුරුණෑගල රෝහලට ප්‍රතිකාර සඳහා යොමුවන බව පෙන්වා දුන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා වැඩිම ජාතික වටිනාකමක් සහිත කුරුණෑගල රෝහලට පසුගිය කාලයේ සිදුව ඇති හානිය විස්තර කළේය.

    මෙහිදී මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා කුරුණෑගලට අවශ්‍යවන්නේ පවතින රෝහල නවීකරණයට වඩා නගරයට ගැලපෙන නව රෝහලක් යැයි පවසමින් අලුතින් රෝහලක් ඉදි කර දෙන්නැයි අග්‍රාමාත්‍යතුමාගෙන් ඉල්ලා සිටියේය.

    ඒ අනුව නව රෝහලක් ඉදිවිය යුතු බව සිය අදහස බව පැවසූ අග්‍රාමාත්‍යතුමා අදාළ රෝහලේ මූලික සැලැස්ම මාස දෙකක් ඇතුළත දළ ඇස්තමේන්තු සහිතව තමන්ට ඉදිරිපත් කරන්නැයි දැනුම් දුන්නේය.

    මෙම හමුවේදී විශේෂ හෙළිදරුව්වක් කළ විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා 1948-2008 වසර දක්වා 600කට සීමා වී තිබු රටේ සමස්ත විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව 2008-2015 කාලයේදී එවකට පැවැති මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ පාලන කාලයේදී 2100 දක්වා ඉහළ දැමූ බවත් 2015-2020 කාලයේදී එම සංඛ්‍යාව 2086 දක්වා අඩුවී ඇති බවත් පෙන්වා දුන්නේය.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya