අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොරෝනා උවදුර ජය ගන්න සාක් කලාපීය වැඩසටහනක් සම්පාදනයට ජනපතිගෙන් යෝජනා

    මාර්තු 15, 2020


     සාර්ක් අමාත්‍ය මට්ටමේ හමුවක අවශ්‍යතාව ද එතුමාපෙන්වා දෙයි.


    කොරෝනා වෛරසය ව්‍යාප්ත වෙමින් ඇති රටවලට සහාය වනු පිණිස කලාපීය වැඩසටහනක් සකස් කළයුතුව ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා දකුණු ආසියානු කලාපීය සහයෝගීතා සංගමයේ (සාක්) රාජ්‍ය නායකයන්ට යෝජනා කරයි.

    උද්ගතව ඇති තත්ත්වය ගැන වැඩිදුර සාකච්ඡා කිරීමට සාක් අමාත්‍ය මට්ටමේ හමුවක් සංවිධානය කිරීමේ අවශ්‍යතාව ද ජනාධිපතිතුමා කලාපීය නායකයන්ට පෙන්වා දෙයි.

    අද (15) පස්වරුවේ දකුණු ආසියානු කලාපීය රාජ්‍ය නායකයන් සමග වීඩියෝ තාක්ෂණය ඔස්සේ සංවාදයකට සහභාගීවෙමින් ජනාධිපතිතුමා මේ යෝජනා ඉදිරිපත් කළේය.

    “Covid -19 හෙවත් නව කොරෝනා වෛරසයට එරෙහි සාක් නායක සටන - ලෝකයට පූර්වාදර්ශයක්” (SAARC Leaders on Combating COVID- 19, Settling an Example to the World) යන්න තේමා කර ගනිමින් සංවාදය පැවැත්විණ.

    වීඩියෝ සමුළුව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමාගේ අදහසකි. කලාපීය නායකත්වයේ අදහස්, අත්දැකීම් සහ තමන් මුහුණදුන් අභියෝග පිළිබඳව තොරතුරු හුවමාරු කර ගැනීමට අවස්ථාව ලැබීමෙන් කොරෝනා වසංගතයෙන් ජය ගැනීමට හැකිවනු ඇතැයි ජනාධිපති රාජපක්ෂ මැතිතුමා සඳහන් කළේය.

    කලාපීය යාන්ත්‍රණයක් නිර්මාණය කොට කඩා වැටීමට ලක්ව ඇති ආර්ථිකය මෙන්ම ජන ජීවිතය ද ගොඩනැගීමට කටයුතු කළයුතුව ඇතැයි ද එතුමා වැඩිදුරටත් කියා සිටියේය. තම රජය විධිමත්ව තත්ත්වය පාලනය කිරීමට හැකි සෑම උත්සාහයක්ම ගෙන ඇති බවත්, මහ මැතිවරණය පෙර සැලසුම් කළ පරිදි අප්‍රෙල් 25 වනදා පැවැත්වෙන බවත් ජනාධිපතිතුමා පැවසීය.

    සමාජයීය පාලනයක් මගින් වෛරසය පැතිරයාම නතර කිරීමට ගෙන ඇති ක්‍රියා මාර්ග රාජ්‍ය නායකයන්ට පැහැදිළි කළ ජනාධිපතිතුමා මෙරටට පැමිණෙන සෑම සංචාරයෙකුටම ස්වයං නිරෝධායනයට ලක්වීමට උපදෙස් දී ඇතැයි සඳහන් කළේය.

    මේ වන විට මුළු ලෝකයම භයානක අවදානමකට පත්ව ඇතැයි සමුළුව සංවිධාන කළ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමා සඳහන් කළේය. කලාපීය වශයෙන් එක්ව කටයුතු කිරීම ඉතා වැදගත් බව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා කියා සිටියේය.

    කලාපීය වශයෙන් කොරෝනා වසංගතයට මුහුණදීමට අරමුදලක් පිහිටුවීමේ වැදගත්කම පෙන්වා දුන් මෝදි මැතිතුමා එය ආරම්භ කරමින් ඩොලර් මිලියන 10ක පරිත්‍යාගයක් කරන බව පැවසීය.

    සාර්ක් සාමාජික රටවලට වෛරසය මර්දනයට අවශ්‍ය සියලු පහසුකම් හා සේවා සැලසීමට ඉන්දියාව සූදානමින් සිටින බවත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

    සාක් රටවලට පොදු රාමුවක හිඳිමින් ප්‍රශ්නය ජය ගත හැකි බව ඇෆ්ගනිස්ථාන ජනාධිපති අෂ්රොෆ් ඝානි මැතිතුමා සංවාදයට එක් වෙමින් පැවසීය.

    භූ ගෝලීය පිහිටීම අනුව තම රටට වාසිදායක තත්ත්වයක් තිබුණද, සංචාරක කර්මාන්තය බිඳ වැටීම නිසා මේ වන විටත් දැඩි ආර්ථික කඩා වැටීමකට තම රට මුහුණ දී ඇතැයි මාලදිවයින ජනාධිපති ඊබ්‍රාහිම් මෙහොමඩ් සොලී මැතිතුමා පැවසීය.

    වසංගත තත්ත්වයෙන් මිදීමට තම රටේ පූර්ණ සහාය ලබාදෙන බව සදහන් කළ බංග්ලාදේශ් අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා මැතිණිය එක්ව ක්‍රියා කිරීමේ වැදගත්කම පෙන්වා දුන්නාය.

    නේපාල අග්‍රාමාත්‍ය කේ.පී. ෂර්මා ඔලි මැතිතුමා තම රට සතු තාක්ෂණික දැනුම මෙන්ම සම්පත් දායකත්වය ද කෙරෝනා වෛරසය මර්දනය පිණිස ලබාදීමට සූදානම් බව සඳහන් කළේය.

    අප හමුවේ ඇති සතුරා අපගේ දෑසට නොපෙනන අතර එයට දේශ සීමාවක් නැති හෙයින් එක්ව සතුරා පරාජය කිරීමට ක්‍රියා කළ යුතු බව භූතාන අග්‍රාමාත්‍ය ලොටේයි ෂෙරින්ග් මැතිතුමා කියා සිටියේය. එක් රටකට මේ වසංගත තත්ත්වය සම්බන්ධයෙන් ඇඟිල්ල දිගු කළ නොහැකි බව පාකිස්ථාන සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය සෆර් මෙන්සා මහතා සඳහන් කළේය.

    කොරෝනා වෛරසය පාලනය කරමින් එය ජය ගැනීමට විටින් විට මෙලෙස අදහස් හුවමාරු කර ගැනීමේ අවශ්‍යතාව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමා සංවාදය අවසානයේ පෙන්වා දුන්නේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya