අග්‍රාමාත්‍යවරයා අද (15) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් මේ බව ප්‍රකාශ කළේ ය.
මන්ත්‍රී වුණත්, අගමැති වුණත් නිකම් නිකම් මහින්ද රාජපක්ෂ වුණත් මම මහින්ද රාජපක්ෂයි. මම මෙහි ජනාධිපතිකම් අගමැතිකම් කරලා තිබෙනවා. ඒ නිසා මේ අගමැතිකම මට ලොකු නැහැ. මම කුඩා කාලයේ සිට මේ පාර්ලිමේන්තුවට ඇවිත් තිබෙනවා. ඉතිහාසයේ මේ පාර්ලිමේන්තුවේ ඊයේ තරම් අඳුරු දවසක් දැක්කේ නැහැ. කුඩා කාලයේ සිටම මා ඉපදුනු දවසේ සිටම පාර්ලිමේන්තුවට පැමිණ තිබෙනවා. ඒ නිසා ඇමැතිකම්, අගමැතිකම් ප්‍රශ්නයක් නැහැ. නව ආණ්ඩුවක් පිහිටුවීමේ අවශ්‍යතාවය ජනාධිපතිවරයා විසින් පැහැදිලි කර තිබෙනවා. පසුගිය ඔක්තෝබර් මාසය වනවිට ජනතාව සිටියේ විශාල පීඩනයකින්.
ඉන්ධන මිල සූත්‍රය, රුපියල කඩා වැටීම, ජීවන වියදම දිනෙන් දින වැඩිවීම, කිසිදාක අත්නොදුටු ආකාරයේ බදුබර, මහ බැංකු මංකොල්ලය නිසා දෙගුණයකින් වැඩිවුණු පොලී අනුපාතය, රටේ වරායවල්, ගුවන් තොටුපලවල්, රජයට අයත් ලාභදායී ව්‍යාපෘතී ඇතුළු සියලු රජයේ දේපල විදේශිකයන්ට විකිණීමට සැරසීම, ඉඩම් සින්නක්කරව විදේශිකයන්ට විකිණීමට නව නීති සැකසීම, විද්වතුන් හා දේශීය ව්‍යාපාරිකයන්ගේ මතය නොසලකා විදෙස් ගිණුම්වලට එළඹීම, ආයෝජකයන්ගෙන් මහා පරිමාණ අල්ලස් ඉල්ලීම වැනි කාරණා නිසා පැවැති ආණ්ඩුව ගැන රටේ විශාල අප්‍රසාදයක් තිබුණා. අපි අද රාත්‍රියේත් ඉන්ධන මිල පහත හෙළනවා. මම ඒ ඉන්ධන මිල අඩුකරන්න කියා ඇමැතිවරයාට උපදෙස් දෙනවා.
අපි දැක්කා ජනාධිපතිවරයා පසුගිය කාලයේ එක්සත් ජාතික පක්ෂයේ ආර්ථික කළමනාකරණ කමිටුව විසුරුවල රටට වෙමින් තිබෙන විනාශය අවම කරගන්න යම් උත්සාහයක් ගන්නවා. මේ කාරණා ගැන අගමැතිතුමා සමඟ කැබිනට් මණ්ඩලයේ බහින් බස්වීම් ගැනත් අපිට අහන්න ලැබුණා. ඒ අවස්ථාවේ තමයි පොලීසියේ පිරිසකුත් හවුල් වෙලා ජනාධිපතිවරයාවත් හිටපු ආරක්ෂක ලේකම්වරයාවත් ඝාතනය කරන්න එක්සත් ජාතික පක්ෂයේ පිරිසක් කුමන්ත්‍රණය කළායැයි කියන ආරංචිය පටිගත කරපු සාක්ෂිත් සහිතව අපිට අහන්න ලැබෙන්නේ. තත්ත්වය එතනට ගියාට පස්සේ තමයි ජනාධිපතිවරයා තීන්දු කළේ ආණ්ඩුවෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය පාර්ශවය ඉවත් කරගන්න.
එක්සත් ජනතා නිදහස් සන්ධානය ආණ්ඩුවෙන් ඉවත් වනවාත් සමඟම පැවතුණු සභාග ආණ්ඩුව විසිරුණා. ඒ අවස්ථාවේ දී ජනාධිපතිතුමා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඔහුට ලැබී ඇති බලතල අනුව මට ආරාධනා කළා අග්‍රමාත්‍යධූරය බාරගෙන ආණ්ඩුවක් පිහිටුවන්න කියලා. ඒ අවස්ථාවේ දී මට තෝරා ගැනීමක් තිබුණා එක්කෝ ඒ ආරාධනය පිළිගන්න, නැතිනම් ප්‍රතික්ෂේප කරන්න. මට ඕනිනම් කියන්න තිබුණා එක්සත් ජාතික පක්ෂය සමඟ අවුරුදු 4කට කිට්ටු කාලයක් හිටපු විදියට ඉතිරි ටිකත් හිටපුදෙන් කියලා. තව අවුරුද්දයි තිබුණේ. නමුත් අපි තමයි විපක්ෂයේ ප්‍රධාන බලවේගය. අපි තමයි රටේ ලොකුම දේශපාලන පක්ෂය.
අපිට යුතුකමක් තිබෙනවා මුළු රටටම වෙන්න ගිය මහා වින්නැහියක් වළක්වා ගන්න රටේ ජනාධිපතිතුමා අපිට රට බාරදෙනකොට ඒ වගකීම බාරදුන්නා. ඒ අනුව මම ඒ වගකීම බාරගත්තා. මම දිවුරුම් දුන් ගමන්ම රටතුළ නව බලාපොරොත්තු ඇතිවුණා. ඒ වගේම මට තිබුණු ප්‍රශ්නය තමයි එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව තවත් අවුරුද්දක් තිබුණා නම් රටට මොනවායින් මොනවා වෙයිද කියන එක. 2015 ජනවාරියේ සිට එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව විදේශ විනිමය ණය විතරක් ඇමෙරිකානු ඩොලර් බිලියන 21ක් ලබාගෙන තිබෙනවා. මේ ඉවත් බවක් නැති ණය ගැනිල්ල තමයි රටට වෙමින් තිබුණු ලොකුම විනාශය. අපි පිහිටෙවුවේ මහා මැතිවරණයක් පවත්වන තුරු අන්තර්කාලීන ආණ්ඩුවක් පමණයි.
ඒ නිසා තමයි, ඒකාබද්ධ විපක්ෂයේ සුළු පිරිසක් පමණක් ආණ්ඩුවේ ඇමැතිකම් බාර ගත්තේ. රට ප්‍රපාතයට යනවත් එක්කම අපි එ්කාබද්ධ හැටියට පසුගිය කාලයේ දිගින් දිගටම මහා මැතිවරණයක් ඉල්ලා සිටියා. නමුත් පැවැති ආණ්ඩුව මැතිවරණ සිතියම හකුලලයි තිබුණේ. 2015 වසරේ මාර්තු මාසයේ විසුරුවපු පළාත් පාලන ආයතවලට ඡන්දයක් පවත්වා ගන්න අවුරුදු තුනක් ගියා. පළාත් පාලන මැතිවරණ ක්‍රමය වෙනස් කරලා, සීමා නිර්ණය ගැටළු තිබෙනවා කියලා ඡන්දය කල් දැම්මා. උසාවියේ නඩු දාලා පළාත් පාලන ඡන්දය නොතියන තැනට වැඩ සලස්සන්න හදනකොට මැතිවරණ කොමිසමෙි සභාපතිවරයා සීමා නිර්ණ ගැටළු නැති පළාත් පාලන ආයතන සඳහා ඡන්දය පවත්වන්න සූදානම් වුනහම තමයි ආණ්ඩුව අවසානයේ දී ඒ මැතිවරණයත් පැවැත්වූයේ.
අද වනවිට සබරගමුව, උතුරු මැද හා නැගෙනහිර පළාත් සභා විරුසුවා අවුරුද්දකට වැඩි කාලයක් ගතවී තිබෙනවා. පසුගිය මාසය වනවිට උතුරු පළාත් සභාව ඇතුළු තවත් පළාත් සභා තුනක් විසිරිලා ගියා. නමුත් ඡන්ද නෑ. ජනාධිපතිතුමා ව්‍යවස්ථාවෙන් තමාට හිමි බලතල අනුව පාර්ලිමේන්තුව විසිරුවලා ඡන්දයක් කැදෙවුවාම, ලංකා ඉතිහාසයේ පළමු වතාවට එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු පක්ෂ
ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා තිබෙනවා මැතිවරණයක් පවත්වන්නට විරුද්ධව. මේ පාර්ශවම තමයි ගිය අවුරුද්දේ කිසිම හිරිකිතයක්, ලැජ්ජාවක් නැතිව පළාත් පාලන ඡන්දයත් පළාත් සභා ඡන්දයත් දින නියමයක් නැතිව කල් දාගන්න, වෙනත් කාරණාවලට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තිබුණු පනත් කෙටුම්පත්වලට කාරක සභා අවස්ථාවේ දී පස්සා දොරෙන් සංශෝධන ගෙනල්ලා ඡන්ද ක්‍රමයත් මුළුමනින්ම අවුල් කරලා එ් ඡන්ද කල් දාගත්තේ.
මේ රටේ ජනතාවගේ ඡන්දය දැමීමේ අයිතිය එදත් මේ පිරිස විසින්ම පැහැර ගත්තා. අද මම පාර්ලිමේන්තුවට එනකොට දැක්කා පෝස්ටරයක් "මහ මැතිවරණයකින් මූලික මිනිස් අයිතිවාසිකම් කැඩෙන්නේ කාගේ ද ?" මේක වැදගත් ප්‍රශ්නයක්. අපේ රටේ 1947, 1951, 1956, 1960 පත් වෙච්ච සියලුම පාර්ලිමේන්තු කලින් විසිරුවලා මහා මැතිවරණ තිබ්බේ ජනතාවට තම පරමාධිපත්‍ය බලය තුළින් තමාට කැමැති ආණ්ඩුවක් පත්කර ගන්න ඉඩ දෙන්නයි. ඒකෙන් තමයි ඒකාලේ ජනතාවගේ පරමාධිපත්‍යය බලය රැකුනේ. පැවැති ආණ්ඩුවට මේ රටේ ප්‍රශ්න විසඳන්න බැහැ කියලා අවබෝධ වුණු නිසා තමයි ජනාධිපතිතුමා මට රට බාරගන්න කියලා කිවුවේ. මම අගමැති හැටියට දිවුරුම් දීපු ගමන්ම රටපුරා නව බලාපොරොත්තු සහගත හැඟීමක් පැතිර ගියා.
අපේ කතානායකතුමා බටහිර තානාපති කාර්යාල හා තමන්ගේ පක්ෂය එක්ක එකතුවෙලා රටේ ව්‍යවස්ථාවටත්, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවලටත් පටහැනිව මට විරුද්ධව "ශබ්දය අනුව" විශ්වාසභංග යෝජනාවක් සම්මත කර ගත්තයි කියලා කියනවා. සද්දෙන් බැහැ යෝජනා සම්මත කරගන්න. වැදගත් විදියට ඡන්දයක් ගන්න තිබුණා. කතානායකවරයාගේ ඊනියා විශ්වාසභංගයෙන් පස්සේ හිටපු අගමැතිවරයා නැවතත් අගමැති වෙයි කියලා හිටපු ඇමැතිවරු ඒගොල්ලන්ට කලින් තිබ්බ අමාත්‍යාංශවලටත් ගිහිල්ලා තිබෙනවා. රටේ අගමැතිවරයා ඇතුළු ඇමැති මණ්ඩලය පත් කරන්නේ ජනාධිපතිතුමා. පාර්ලිමේන්තුවට හෝ කතානායවරයාට ඒ බලය ව්‍යවස්ථාවෙන් දීලා නැහැ.
නමුත් දැන් මෙතන පාර්ලිමේන්තුවේ දෙපාර්ශවයක් අතර මත ගැටුමක් තිබෙනවා. මේ ආරවුල පාර්ලිමේන්තුවේ ඉන්න 225 දෙනා අතරේ විසඳාගන්න හදන්නේ නැතිව මේ රටේ ලක්ෂ 150ක් ඉක්මවන ඡන්දදායක ජනතාවට බාරදෙමුයි කියලා මම යෝජනා කරනවා. ඒකයි පාර්ලිමේන්තු සම්ප්‍රදාය. දේශපාලඥයෝ හැටියට අපි හැමෝම තේරුම් ගන්න ඕන, අපේ ව්‍යවස්ථාවට අනුව පරමාධිපත්‍ය බලය තියෙන්නේ පාර්ලිමේන්තුවට නොවෙයි, ජනතාවටයි කියන එක. මම සන්තෝෂ වෙනවා ජනතා විමුක්ති පෙරමුණ ඊයේ කිවුවා පාර්ලිමේන්තුව විසුරුවලා ඡන්දයකට යන්න යෝජනාවක් ආවොත් ඒ ගොල්ලෝ ඒකට පක්ෂ වෙනවා කියලා.
එක්සත් ජාතික පක්ෂය ඒ ගැන දරන ස්ථාවරය මොකක්ද කියලා මේ පාර්ලිමේන්තුව තුළ අද ප්‍රකාශයක් කරයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ජනතාවට තමන්ගේ අභිමතය අනුව නව රජයක් තෝරා පත්කර ගන්න සාධාරණ, යුක්තිසහගත මැතිවරණයක් පවත්වන්න මා සමඟ අත්වැල් බැඳගන්නා ලෙස පාර්ලිමේන්තුවේ ගරු මන්ත්‍රීවරුන් 225 දෙනාගෙන්ම මම ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිනවා. විශ්‍රාම වැටුප් සම්බන්ධයෙන් හිතන්න එපා. කතානායකවරයා එක්සත් ජාතික පක්ෂය හා බටහිර තානාපති කාර්යාල එක්ව ව්‍යවස්ථාවටත්, රටේ නීතියට හා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවලටත් පටහැනිව කටයුතු කරනවා.
කතානායවරයා පත්කරන විට විපක්ෂයත් ආණ්ඩු පක්ෂයත් එක්වුණා. එයින් අපේක්ෂා කළේ ඔබ ස්වාධීන වෙයි කියලයි. ස්වාධීන කතානායකවරයෙක් අපි බලාපොරොත්තු වන්නේ. පක්ෂග්‍රාහී කෙනෙක් නෙවෙයි. එක්සත් ජාතික පක්ෂයේ හා බටහිර යාළුවන් වෙනුවෙන් කතානායකවරයා පෙනී සිටීම ගැන කණගාටුව පළකරනවා යැයි පැවසීය.