මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගුරු සුබසාධන කටයුතු ඉහළ නැංවීමට විධිමත් වැඩපිළිවෙළක්

    ජූලි 18, 2014
    දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදීමට නම් ගුරුවරුන් යහපත් මානසිකත්වයකින් පසුවිය යුතු බව පෙන්වා දුන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ගුරුවරුන්ගේ සුබසාධන කටයුතු ඉහළ නැංවීමට විධිමත් වැඩපිළිවෙළක් කි‍්‍රයාවට නංවන ලෙස අධ්‍යාපන අමාත්‍යවරයාට සහ පළාත් ප‍්‍රධාන අමාත්‍යවරුන් වෙත උපදෙස් ලබා දුන්නේය. 
     
    ඇතැම් පළාත්වල පවතින ගුරු හිඟයට හේතු වී ඇත්තේ ගුරුවරුන් සඳහා විධිමත් සුබසාධන වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක නොවීම බව සඳහන් කළ ජනාධිපතිතුමා ඉදිරියේ දී ඒ කෙරෙහි විශේෂ අවධානය යොමු කර කටයුතු කරන ලෙස ද වැඩිදුරටත් උපදෙස් දුන්නේ ය.
     
    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා මෙම උපදෙස් ලබා දුන්නේ පළාත් ප‍්‍රධාන අමාත්‍යවරුන් සමඟ ඊයේ (17)  ජනාධිපති කාර්යාලයේ දී පැවතී විශේෂ සාකච්ඡාවකදීය.
     
    ගුරුවරුන්ට ස්ථාන මාරුවීම් ලබාදීමේදී වසර අවසානයේ එම මාරුවීම් සිදුකිරීමේ වැදගත්කම මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිතුමා වසර මැද එම මාරුවීම් ලබාදීම හේතුවෙන් දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට මෙන්ම විභාග කටයුතුවලට ද බාධා එල්ලවන බවද පැවසීය.
     
    එමෙන්ම ගුරුවරුන් බඳවා ගැනීමේදී පාසල් පාදක කර ගනිමින් එම බඳවාගැනීම් සිදුකිරීමේ අවශ්‍යතාව ද ජනාධිපතිතුමා පැහැදිලි කළේය. 
     
    අධ්‍යාපන, සෞඛ්‍ය, මහාමාර්ග, වාරිමාර්ග, කෘෂිකර්ම යන ක්ෂේත‍්‍රවල ඒ ඒ පළාත් මට්ටමින් ලබා ඇති ප‍්‍රගතිය සහ ඉදිරියේදී කි‍්‍රයාත්මක කිරීමට අපේක්ෂිත යෝජනා පිළිබඳ ව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. 
     
    එමෙන්ම උතුරු මැද පළාතේ වකුගඩු රෝගය පැතිරීම පාලනය සඳහා කි‍්‍රයාවට නංවා ඇති වැඩපිළිවෙළ පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය. වකුගඩු රෝගය පාලනය සඳහා මෙම වසරේ රුපියල් මිලියන 600ක් රජය වෙන් කර ඇති අතර ඉන් සියයට හැත්තෑ පහක් පමණ උතුරු මැද පළාතට ලබා දී ඇත. 
     
    වකුගඩු රෝගය පාලනය සඳහා පානීය ජල ව්‍යාපෘති කි‍්‍රයාත්මක කිරීම, ජංගම සේවා කි‍්‍රයාත්මක කිරීම සහ පාසල් මට්ටමින් කි‍්‍රයාවට නංවා ඇති වැඩපිළිවෙළ පිළිබඳ මෙහිදී කරුණු ඉදිරිපත් කෙරිණි. අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා පළාත් මට්ටමින් කි‍්‍රයාත්මක කර ඇති වැඩපිළිවෙළ පිළිබඳ ව ද සාකච්ඡා කෙරිණි. 
     
    ඒ ඒ පළාත්වලට බලපෑ ස්වභාවික ආපදාවලින් විපතට පත්වූ ජනතාවට සහන සැලසීමට ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳ ව ද ජනාධිපතිතුමා මෙහිදී කරුණු විමසීය. අග‍්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතා ඇතුළු මැති ඇමතිවරුන් ද, අමාත්‍යංශ ලේකම්වරුන්, පළාත් ප‍්‍රධාන ලේකම්වරුන් ද, ජනාධිපති කාර්ය මණ්ඩල ප‍්‍රධානී ගාමිණි සෙනරත් මහතා ඇතුළු නිලධාරිහු ද මීට එක්ව සිටියහ. 
     
    බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග, දකුණු පළාත් ප‍්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා, මධ්‍යම පළාත් ප‍්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, සබරගමු පළාත් ප‍්‍රධාන අමාත්‍ය මහීපාල හේරත්, වයඹ පළාත් ප‍්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර, උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත්, නැගෙනහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය අබ්දුල් නජීඩ් මජීඩ්  මහත්වරු සාකච්ඡාවට සහභාගී වූහ. 
     
    DB/ priu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya