අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මුළු රටම ආවරණය වන පානීය ජලය ලබාදීමේ වැඩපිළිවෙළක් ආරම්භ කරනවා

    ජූලි 16, 2014
    මාර්ග සංවර්ධනය කෙරෙහි මෙන් ම පානීය ජල පහසුකම් ලබාදීම කෙරෙහිත් රජයේ අවධානය යොමු ව ඇති බවත් පානීය ජලය සෑම ගමකටම, සෑම පවුලකටම ලබාදීම සඳහා පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වා මුළු රටම ආවරණය වන පරිදි පානීය ජලය ලබාදීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා පැවසීය.
     
    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (15) රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට සහභාගි වෙමිනි.
     
    "දිස්ත්‍රික්කයක ප්‍රගතිය සමාලෝචනය කිරීමේ කටයුත්තෙන් එම දිස්ත්‍රික්කයේ සියලු සංවර්ධන කටයුතු අවසන් බව කියන්න බෑ. අපි පහුගිය අවුරුදු ගණනාවකට වඩා විශාල සංවර්ධනයක් කෙටි කාලයක් තුළදී ක්‍රියාත්මක කොට තිබෙනවා. ඒ පිළිබඳ ව කාටවත් අභියෝග කළ නොහැකියි. විශේෂයෙන් ප්‍රදේශයේ දේශපාලන නායකත්වය හා රජයේ නිලධාරීන් ඉතා සමගියෙන් ඒ කටයුතු කළ නිසා එම සාර්ථකත්වය ලබාගැනීමට හැකි වුණා කියලා විශ්වාස කරනවා".
     
    කුමනාකාරයේ සම්පත් තිබුණ ද අතීතයේ දී රත්නපුර දිස්ත්‍රික්කය හම්බන්තොට, මොනරාගල වැනි දිස්ත්‍රික්ක හා සැසඳීමේ දී පහසුකම් අතින් ඉතාම පහළ මට්ටමක මෙන්ම දිළිඳු දිස්ත්‍රික්කයක් ලෙස සටහන්ව පැවැති බවත් පෙන්වා දුන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සෞඛ්‍ය, අධ්‍යාපනය, විදුලිය වැනි පහසුකම් ගත් කළ එදා තිබුණු තත්ත්වය වෙනස් වී ආර්ථික වශයෙන් වෙනස් වී ඇති බවත් පෙන්වා දුන්නේය.
     
    "ඉදිරියේ දී රත්නපුරට අධිවේගී මාර්ගයක් එනවා. ඒ හරහා ඉබේම වෙළෙඳපොළ හැදෙනවා. අධිවේගී මාර්ගය හරහා කර්මාන්ත ශාලාවලට, ගුවන් තොටුපළවල්වලට පහසුතා ඇති වෙනවා. කෙටි කාලයක් තුළ දිස්‍ත්‍රික්කයේ සංවර්ධනයක් වෙලා තියෙනවා. මේ දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය පහසුකම් ගත්තත් එදාට වඩා අද පහසුකම් වැඩි වෙලා තියෙනවා. ළමා හා මාතෘ මරණ සංඛ්‍යාව ජාතික මට්ටමටත් වඩා මේ දිස්ත්‍රික්කයේ අඩුවෙලා තියෙනවා". 
     
    පසුගිය අය - වැය හරහා රත්නපුර දිස්ත්‍රික්කයේ වතු නිවාස 50,000ක් සෑදීමට මුදල් වෙන් කළ බව සිහිපත් කළ ජනාධිපතිතුමා එම නිවාසවල ඉදිකිරීම් කටයුතු ක්‍රමානුකූලව කෙරීගෙන යන බවත් පැවසීය. යටිතල පහසුකම් සංවර්ධනයෙන් ජනතාවගේ ආර්ථික තත්ත්වය යහපත් වන බවත් සංවර්ධන කටයුතු සඳහා කෙරෙන සියලු වියදම් සැලසුමකින් යුතුව දැරිය යුතු බවත් ජනාධිපතිතුමා පැවසීය.
     
    "පසුගිය වසරේ දී ඉතිහාසයේ අන් කවරදාකවත් නැති තරමින් මාර්ග සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කළා.  ඒ වගේම ජලය ලබාදීමේ වැඩපිළිවෙළත් ක්‍රියාත්මක කරනවා. යටිතල පහසුකම් සංවර්ධනය තුළින් රැකියා අවස්ථා රැසක් බිහිවෙනවා. රත්නපුරට බලපෑ දැඩි සුළඟ හේතුවෙන් හානි සිදුවුවන්ට සහන ලබාදීමට ඉදිරියේ දී කටයුතු කරනවා". 
     
    රජයේ ඉඩම් බලහත්කාරයෙන් අල්ලා ගැනීමට ඉඩ නොදෙන ලෙස නිලධාරීන්ගෙන් මෙන්ම දේශපාලන බලධාරීන්ගෙන් ද ඉල්ලා සිටි ජනාධිපතිතුමා ඒ හරහා අනාගතයේදී රජයෙන් ඉඩම් ලැබිය යුතු පවුල්වලට අසාධාරණයක් වේවි යැයි විශ්වාස කරන බවත් ජනාධිපතිතුමා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya