අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වගා ණය සඳහා මිලියන 4,000ක්

    ජූලි 14, 2014
    ගොවීන්ගේ වගා කටයුතු සඳහා ණය ලබාදීම වෙනුවෙන් වෙන් කෙරෙන මුදල රුපියල් මිලියන 4,000 දක්වා වැඩි කිරීමට තීරණය කෙරේ. 
     
    මේ අනුව ගොවි වගා ණය ලබාදීම සඳහා ඉදිරියේදී මෙම මුදල් බැංකු වෙත නිකුත් කිරීමට නියමිතය. ගොවින්ගේ වගා කටයුතු සඳහා මෙතෙක් වෙන් කෙරුණේ ඉතා අඩු මුදලක් වන අතර ඒ පිළිබඳ අවධානය යොමු කළ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා මෙම තීරණයට එළඹ ඇත. 
     
    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා මෙම තීරණය ගෙන ඇත්තේ 2015 අය-වැය සඳහා ගොවි සංගම් හා වෙළෙඳ සංගම් නියෝජිතයින්ගේ අදහස් හා යෝජනා ලබා ගැනීම වෙනුවෙන් පැවැති සාකච්ඡාවකදීය.
     
    වැව් රක්ෂිතවල සිදු කෙරෙන ඉදිකිරීම් හේතුවෙන් ගොවි ජනතාවට සිදුව ඇති අවහිරතා පිළිබඳව ගොවි සංගම් නියෝජිතයින් ජනාධිපතිතුමා වෙත කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඒ පිළිබඳ අවධානය යොමු කළ ජනාධිපතිතුමා වැව් රක්ෂිතවල සිදු කෙරෙන ඉදිකිරීම්වලට එරෙහිව නීතිමට පියවර ගන්නා ලෙසට නිලධාරින්ට උපදෙස් දුන්නේය. 
     
    අනුරාධපුර, පොලොන්නරු ප‍්‍රදේශවලට බලපෑ නියඟය හේතුවෙන් පීඩාවට පත් වූ ගොවි ජනතාවගේ ඉල්ලීම් කෙරෙහිද මෙහිදී අවධානය යොමු කළ ජනාධිපතිතුමා එම සහන සැලසීම සඳහා අවශ්‍ය සියලු ප‍්‍රතිපාදන රජය මේ වන විට ලබාදී ඇති බවත් එය කඩිනමින් සහ විධිමත්ව කි‍්‍රයාත්මක කරන ලෙසත් අදාළ දිස්ති‍්‍රක් ලේකම්වරුන්ට උපදෙස් දුන්නේ ය. 
     
    වකුගඩු රෝගය පවතින ප‍්‍රදේශවල පානීය ජල ගැටලුව පිළිබඳව ද මෙහිදී ගොවි සංගම් නියෝජිතයින් ජනාධිපතිතුමා වෙත කරුණු ඉදිරිපත් කළහ. ඉදිරියේදි එම සියලු පළාත් සඳහා පිරිසිදු පානීය ජලය ලබාදීමේ වැඩපිළිවෙළ රජය මේ වන විටත් කි‍්‍රයාත්මක කර ඇති බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ ය. 
     
    පොහොර සහනාධාරය, බීජ සැපයුම, සහතික මිල හා අස්වනු කාලය තුළදී ඉහළ බදු මඟින් නිෂ්පාදකයින් ආරක්ෂා කර ගැනීම, ගොවීන් සඳහා ණය ලබාදීම ආදි කරුණු පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා විය. ක්ෂේත‍්‍රයේ ප‍්‍රගතිය සඳහා ගත යුතු කි‍්‍රයාමාර්ග පිළිබඳව ද නියෝජිතයින් අදහස් දැක්වූහ. 
     
    සියලුම දිස්ති‍්‍රක් නියෝජනය කරමින් ගොවි සහ වෙළෙඳ සංගම් නියෝජිතයින් මෙහිදී අදහස් දැක්වූ අතර ඔවුන්ගේ ඉල්ලීම් කෙරෙහි අවධානය යොමු කළ ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ මුළු රටටම එක සේ සැලකීම වත්මන් රජයේ ප‍්‍රතිපත්තිය බවයි.  ජනතාවගේ ගැටලු හඳුනාගෙන ඒවා කි‍්‍රයාත්මක කිරීමට රජය පියවර ගෙන ඇති බවද ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේය.
     
    අමාත්‍යවරුන් වන බැසිල් රාජපක්ෂ, මහින්ද යාපා අබේවර්ධන, ජොන්ස්ටන් ප‍්‍රනාන්දු, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන එච්.ආර්. මිත‍්‍රපාල, ඉන්දික බණ්ඩාරනායක යන මහත්වරුන් ද මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා ඇතුළු අමාත්‍යංශ ලේකම්වරුන්, දිස්ති‍්‍රක් ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප‍්‍රධානින් ඇතුළු රජයේ නිලධාරිහු ද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya