මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බලය බෙදීම දේශපාලනඥයින් සඳහා නොව ජනතාව සඳහා බව ජනපති පවසයි

    ඔක්තෝබර් 22, 2017

    බලය බෙදීම දේශපාලනඥයින් සඳහා නොව ජනතාව ශක්තිමත් කරමින් ඔවුන්ගේ අවශ්‍යතා ඉටුකිරීම සඳහා විය යුතු බව ජනාධිපතිතුමා පවසයි.

    සෑම කෙනෙකුටම සංවර්ධනයේ සම ප‍්‍රතිලාභ ලබාදෙමින් සහ සම පහසුකම් සහිතව සාධාරණ සමාජයක ජීවත්විය හැකි පරිසරයක් නිර්මාණය කිරීම බලය බෙදීමේ අරමුණ බව පැවසූ ජනාධිපතිතුමා එය කිසිවිටෙකත් රට නොබෙදෙන සහ රට නොකැඩෙන වැඩපිළිවෙළක් විය යුතු බවද අවධාරණය කළේය.

    ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ වව්නියාව සෛවප‍්‍රගාස බාලිකා විද්‍යාලයේ පැවති වව්නියාව දිස්ති‍්‍රක් නිල මෙහෙවර ජනපති ජනතා සේවය වැඩසටහනේ සමාප්ති උත්සවය අමතමිනි.

    රටට අවශ්‍ය සංවර්ධනය මෙන්ම දේශපාලන ප‍්‍රතිසංස්කරණ සිදුකිරීමට වත්මන් රජය කැපවී සිටින බව මෙහිදී පැවසූ ජනාධිපතිතුමා ඒ සඳහා වූ වැඩපිළිවෙළ රජය කි‍්‍රයාත්මක කිරීමේදී විවිධ විරෝධතා මතුවන බව ද ප‍්‍රකාශ කළේය.

    රටට අවශ්‍ය දේශපාලන ප‍්‍රතිසංස්කරණ සිදු කිරීමේදී ඊට එරෙහිව කටයුතු කරන සියලු දෙනා අද දවසේ රට තුළ මතුව ඇති ගැටලුවල සැබෑ යථාර්ථය හඳුනාගෙන කටයුතු කළ යුතු අතර, අද දවසේ මෙම ගැටලුවලට විසඳුම් ලබා නොදීම තුළින් අනාගතයේ මතුවන ප‍්‍රශ්නවලට ඔවුන් සියලුදෙනා වගකිව යුතු වන බව ද ජනාධිපතිතුමා අවධාරණය කළේය.

    මෙම වැඩපිළිවෙළට එරෙහිව විවේචන සහ උද්ඝෝෂණ සිදුකරන කිසිවෙකු තුළ මෙම ප‍්‍රශ්නවලට ලබාදිය හැකි විසඳුම් පිළිබඳව කිසිදු යෝජනාවක් නොමැති බව සඳහන් කළ ජනාධිපතිතුමා අද දවසේ රට තුළ සිදුකළයුතු දේශපාලන ප‍්‍රතිසංස්කරණ පිළිබඳව යෝජනා ඉදිරිපත් කරන ලෙස තමා ඔවුන් සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බව ද පැවසීය.

    එමෙන්ම නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳව දළ කෙටුම්පතක්වත් තවම සකසා නොමැති අතර සියලුදෙනාගේ අදහස් හා යෝජනා ලබා ගනිමින් සංශෝධනයට මෙන්ම සංවාදයට යටත්ව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන වාර්තාවේ රටේ ඒකීයභාවය, බුදු දහමට හිමි විය යුතු නිසි තැන මෙන්ම රටේ සියලු ජනතාව අතර සහජීවනය සහ සමානාත්මතාවයෙන් යුත් සමාජයක් පිළිබඳ පැහැදිලිිව කරුණු ඇතුළත් කර තිබෙන බව ජනාධිපතිතුමා සඳහන් කළේය.

    එහි සඳහන් නොවන කරුණු ද පෙන්වා දෙමින් ඇතැමුන් ජනතාව තුළ වැරදි මතයක් ඇති කිරීමට උත්සාහ දරන බව ප‍්‍රකාශ කළ ජනාධිපතිතුමා අද ඇතැම් පුවත්පත් මෙන්ම මාධ්‍ය තුළ ද ජනතාව නොමග යවන ඉතා අසත්‍ය පුවත් පළවන බවත් රට වෙනුවෙන් තම වගකීම හඳුනාගෙන කටයුතු කරන ලෙස තමා ඔවුන් සියලුදෙනාගෙන් ඉල්ලා සිටින බවත් ප‍්‍රකාශ කළේය. ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් ජනතා ගැටලුවලට විසඳුම් ලබාදීම සඳහා ආරම්භ කළ නිල මෙහෙවර ජනපති ජනතා සේවා වැඩසටහනේ ප‍්‍රාදේශීය වැඩසටහන් 63 ක් අවසන් කර ජාතික වශයෙන් පැවැත්වූ තුන්වන ජාතික වැඩසටහන මෙලෙස වව්නියාව දිස්ති‍්‍රක්කය කේන්ද්‍රකර ගනිමින් පැවැත්විණි.

    මෙයට පෙර පොළොන්නරුව දිස්ති‍්‍රක්කයේ සහ ගාල්ල දිස්ති‍්‍රක්කයේ නිල මෙහෙවර ජනපති ජනතා සේවා වැඩසටහන ඉතා සාර්ථකව අවසන් කර තිබුණි. ඊළඟ වැඩසටහන යාපනය දිස්ති‍්‍රක්කය කේන්ද්‍රකර ගනිමින් පවත්වන බව ජනාධිපතිතුමා මෙහිදී සඳහන් කළේය.

    වව්නියාව දිස්ති‍්‍රක්කයේ ස්ථිර ඉඩම් ඔප්පු නොමැති ජනතාව වෙත ඉඩම් ඔප්පු 5000 ක් ප‍්‍රදානය කිරීම සංකේතවත් කිරීම, මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළ ලකුණු ලබාගත් සිසුන් සඳහා ත්‍යාග පිරිනැමීම, ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහන යටතේ පොල් සංවර්ධන මණ්ඩලය මගින් පොල් පැළ ලබාදීම, වියළි කාලගුණයෙන් පීඩාවට පත් ජනතාවට පානීය ජලය බෙදාදීම සඳහා අවශ්‍ය ජල බවුසර් දෙකක් ලබාදීම ඇතුළු වැඩසටහන් රැසක් මෙහිදී ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

    අනතුරුව නිල මෙහෙවර ජනපති ජනතා සේවය පැවති පරිශ‍්‍රයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ ජනාධිපතිතුමා එහිදී ඉදිරිපත් කෙරුණු ජනතා ගැටලු පිළිබඳව ද අවධානය යොමු කළේය.

    අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ, ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන, අමාත්‍යවරුන් වන ගයන්ත කරුණාතිලක, එස්.බී. නාවින්න, රිෂාඞ් බදුර්දීන්, රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන්, උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ, පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් වන කේ. කාදර් මස්තාන්, ඒ.එම්. සුමන්තිරන්, සෙල්වම් අඩෙයික්කනාදන් යන මහත්ම මහත්මීන් ඇතුළු පළාතේ මහජන නියෝජිතයින් ද දිස්ති‍්‍රක් ලේකම් එම්.බී.ආර්.පුෂ්පකුමාර මහතා ඇතුළු රාජ්‍ය නිලධාරින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya