අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාවේ නැවත ගොඩනැගීම ඉතා ප‍්‍රශංසනීයයි

    සැප්තැම්බර් 22, 2017

    පශ්චාත් යුද සමය තුළ දේශපාලන, සාමාජීය සහ ආර්ථික වශයෙන් ශ්‍රී ලංකාවේ නැවත ගොඩනැගීම ඉතා ප‍්‍රශංසනීය බව එක්සත් ජනපදයේ දේශපාලන කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් තෝමස් ෂැනන් මහතා පවසයි.

    එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 72 වන සැසිවාරය සඳහා සහභාගීවීමට ඇමෙරිකාවේ නිල සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ එරට දේශපාලන කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් තෝමස් ෂැනන්ම (Thomas Shannon) මහතා අතර හමුවක් ශී‍්‍ර ලංකා වේලාවෙන් ඊයේ (21) පස්වරුවේ නිව්යෝර්ක් නුවරදී පැවැත්වුණු අතර එහිදී සහකාර රාජ්‍ය ලේකම්වරයා මේ බව ප‍්‍රකාශ කළේය.

    ශී‍්‍ර ලංකාව සහ එක්සත් ජනපදය අතර පවතින දීර්ඝකාලීන සබඳතාවයන් මෙහිදී සිහිපත් කළ ජනාධිපතිතුමා එක්සත් ජනපදය ශ‍්‍රී ලංකාවට දක්වන සහය පිළිබඳව ද සිය ස්තූතිය පිරිනැමීය.

    දශක තුනක යුද්ධයෙන් අනතුරුව රට තුළ ස්ථීරසාර සාමයක් ගොඩනැගීම සඳහා ගෙනයන සංහිඳියා වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම සඳහා මෙන්ම යුද්ධය පැවති ප‍්‍රදේශවල සංවර්ධන කටයුතු සඳහා එක්සත් ජනපදය ලබාදෙන සහය ද මෙහිදී ජනාධිපතිතුමාගේ ඇගයීමට ලක් විය.

    මෙහිදී අදහස් දැක්වූ සහකාර රාජ්‍ය ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ අද ශ්‍රී ලංකාවේ රාජ්‍ය පාලනය තුළ ඉතා හොඳ විදේශ ප‍්‍රතිපත්තියක් පවතින බවයි.

    ඉන්දියානු කලාපයේ වැදගත් ස්ථානයක පිහිටි රටක් ලෙස ශී‍්‍ර ලංකාව කලාපීය රටවල් සමග ගෙනයන සහයෝගීතා වැඩපිළිවෙළ ද අගය කළ තෝමස් ෂැනන් මහතා සියලු සහෝදර රාජ්‍යයන් සමග සහයෝගයෙන් කටයුතු කිරීම පිළිබඳ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මහඟු ආදර්ශයක් බව ද කියා සිටියේය.

    මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ ඉන්දියානු සාගරයේ වැදගත් ස්ථානයක ශී‍්‍ර ලංකාව පිහිටීම හේතුවෙන් ඉතා යහපත් තත්ත්වයන් මෙන්ම අභියෝගවලට මුහුණුදීමට සිදුව ඇති බවයි.

    කලාපීය ආරක්ෂාව පිළිබඳව ද ඉතා හොඳ සබඳතාවයක් පවත්වාගෙන යමින් මධ්‍යස්ථ විදේශ ප‍්‍රතිපත්තියක් තුළ ගැටලු ඇති නොවන ආකාරයෙන් සියලු මිත‍්‍ර රාජ්‍යයන් සමග යහපත් ද්වි පාර්ශ්වික සබඳතා පවත්වාගෙන යාමට අද ශ්‍රී ලංකාව සමත්ව ඇති බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.

    එමෙන්ම ඉන්දියානු සාගර කලාපයේ සාමය ගොඩනැගීමේ කාර්යය සඳහා ද ශී‍්‍ර ලංකාව කැපව සිටින බව ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේය.

    දශක 03 කට ආසන්න කාලයක් පැවති යුද්ධයෙන් අනතුරුව ශී‍්‍ර ලංකාව ආර්ථික වශයෙන් අර්බුදකාරී තත්ත්වයකට මුහුණදී සිටින බව පැවසූ ජනාධිපතිතුමා ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු සඳහා එක්සත් ජනපදයේ සහය අඛණ්ඩව අපේක්ෂා කරන බවත් ශ්‍රී ලංකාවේ සංචාරක, ධීවර සහ නාවික ක්ෂේත‍්‍රවල ප‍්‍රගමනයට තවදුරටත් එක්සත් ජනපදයේ සහය අවශ්‍ය බවත් සඳහන් කළේය.

    එමෙන්ම ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව ද අදහස් දැක්වූ ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ රටේ ප‍්‍රධාන දේශපාලන පක්ෂ දෙක අද සාමුහිකව කටයුතු කරමින් ගැටලුවකින් තොරව රජයේ කටයුතු ඉදිරියට පවත්වාගෙන යන බවයි.

    එක්සත් රාජධානිය ශ්‍රී ලංකාවට ලබාදෙන සහයෝගයේ කිසිදු අඩුවක් සිදු නොකරන බව මෙහිදී ජනාධිපතිතුමා වෙත සහතික වූ සහකාර රාජ්‍ය ලේකම්වරයා ලබන නොවැම්බර් මාසයේදී පමණ තමා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවීමට අපේක්ෂා කරන බව ද සඳහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya