අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති සහ නේපාල අගමැති හමුවෙයි

    සැප්තැම්බර් 22, 2017

    සාර්ක් සංවිධානයේ කටයුතු පිළිබඳ ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ කැපවීම සුවිශේෂී වන අතර ඒ පිළිබඳ සියලු සාර්ක් කලාපීය රටවල ස්තූතිය එතුමා වෙත පිරිනැමෙන බව නේපාල අග‍්‍රාමාත්‍ය ෂෙර් බහදුර් දෙඋබා මහතා (Sher Bahadur Deuba) පවසයි.

    එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 72 වන සැසිවාරය සඳහා සහභාගීවීමට ඇමරිකාවට ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ නේපාල අග‍්‍රාමාත්‍යවරයා අතර හමුවක්  ශ්‍රී ලංකා වේලාවෙන් ඊයේ (21) රාත්‍රි නිව්යෝර්ක් නුවරදී පැවැත්වුණු අතර එහිදී නේපාල අග‍්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

     

    දකුණු ආසියානු කටයුතු පිළිබඳව එක්ව කටයුතු කිරීමට ඇති පොදු සංවිධානය වන සාර්ක් සංවිධානයේ කටයුතු අඛණ්ඩව ගැටලුවකින් තොරව ඉදිරියට පවත්වාගෙන යාමේ අවශ්‍යතාවය මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිතුමා සාර්ක් සංවිධානයේ කටයුතු ශක්තිමත් කර ගැනීම පිළිබඳ තමා පසුගියදා ඉන්දියාවේ මෙන්ම පකිස්ථානයේ නායකයින් හමුවූ අවස්ථාවල ද සාකච්ඡා පැවැත්වූ බව සඳහන් කළේය.

     

    ශ්‍රී ලංකාව සහ නේපාලය අතර ද්විපාර්ශ්වික සබඳතාවලට 60 වසරක් සපිරෙන මෙම අවස්ථාවේ දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා සෑම ක්ෂේත‍්‍රයක් තුළින්ම තවදුරටත් වර්ධනය කර ගැනීම පිළිබඳව ද මෙහිදී නායකයින්ගේ අවධානය යොමු වූහ.

     

    ඒ අනුව දෙරට අතර ආර්ථික, වෙළෙඳ මෙන්ම ආගමික සහ සංස්කෘතික සබඳතා ද නව ප‍්‍රවේශයෙන් ඔස්සේ ඉදිරියට ගෙනයාම පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කළහ.

     

    පසුගියදා ශී‍්‍ර ලංකාවේ පැවති ජාත්‍යන්තර බෞද්ධ සමුළුව සඳහා සහභාගීවීමට නේපාල ජනාධිපතිනිය ශී‍්‍ර ලංකාවට පැමිණි අවස්ථාවේ දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීම පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවැත්වූ බව සිහිපත් කළ ජනාධිපතිතුමා එහිදී නේපාල ජනාධිපතිනිය සිදුකළ විශේෂ නිල ආරාධනය පරිදි තමා ලබන ඔක්තෝබර් මාසයේදී නේපාලයේ සංචාරයක නිරතවීමට අපේක්ෂා කරන බව ද සඳහන් කළේය.

    ශී‍්‍ර ලංකාවට අවශ්‍ය සෑම අවස්ථාවකම සහය දැක්වීමට සූදානම් බව මෙහිදී අවධාරණය කළ නේපාල අග‍්‍රාමාත්‍යවරයා මානව හිමිකම් පිළිබඳ කටයුතුවලදී ද සෑම විටම නේපාලය ශී‍්‍ර ලංකාවට සහය ලබාදුන් බව ප‍්‍රකාශ කළේය.

    පසුගියදා නේපාලයට බලපෑ භූමිකම්පාව හේතුවෙන් සිදුවූ පීඩාකාරී තත්ත්වය පිළිබඳව මෙහිදී සිය කණගාටුව පළ කළ ජනාධිපතිතුමා මිත‍්‍ර රාජ්‍යයක් ලෙස එම අවස්ථාවේ නේපාලයට ලබාදිය හැකි සෑම සහයක්ම ලබාදීමට ශී‍්‍ර ලංකාව කටයුතු කළ බව ද සඳහන් කළේය.

    එම අසීරු අවස්ථාවේදී සැබෑ මිතුරෙකු ලෙස ශ්‍රී ලංකාව නේපාලයට ලබාදුන් සහය පිළිබඳ ජනාධිපතිතුමා වෙත සිය ස්තූතිය පළ කළ නේපාල අග‍්‍රාමාත්‍යවරයා සාර්ක් කලාපය තුළ ඉතා වැදගත් රටවල් දෙකක් සේම ඉතා දිගු ඉතිහාසයකට හිමිකම් කියන මිත‍්‍ර රාජ්‍යයන් දෙකක් ලෙස අද මෙම හමුවීම පිළිබඳ ඉතා සතුටට පත්වන බව ද සඳහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya