අගමැතිවරයා ප්‍රකාශ කළේ ණය පාලනය කර ගත හැකි පදනම මේ වන විට සකස් කර තිබෙන බවයි.
කොළඹ මහජන පුස්තකාල පරිශ්‍රයේ ආරම්භ වූ 'කොළඹ ජාතික අධ්‍යාපන පොත් ප්‍රදර්ශනය සහ සල්පිල 'විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් අද (21) අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
අගමැතිවරයා වැඩිදුරටත් මෙසේ පැවසීය.
කොළඹ ජාතික අධ්‍යාපන පොත් සල්පිල සංවිධානය කොට ඇත්තේ කොළඹ මහජන පුස්තකාල සුබ සාධක සංවිධානය විසිනුයි. මෙරට පුස්තකාල පිළිබඳව සලකා බැලු විට එහි ආරම්භය සනිටුහන් වන්නේ කොළඹ මහනගර සභාව සතුවයි. මෙම පුස්තකාලය දියුණු කිරීමට අමතරව සුබ සාධක සංගමය විශාල වැඩ කොටසක් සිදු කරනවා.
ආර්. ප්‍රේමදාස මැතිතුමා අගමැති සමයේ මෙම මහජන පුස්තකාලය මෙම ස්ථානයේ පිහිටුවීමට ක්‍රියා කළා. ඉන් පසුව අදාළ අමාත්‍යාංශත්, පළාත් සභාවත් මෙහි දියුණුවට අතහිත දුන්නා. මෙම අධ්‍යාපන පොත් සල්පිල විවෘත කිරීමෙන් අධ්‍යාපනය ලබන සිසු සිසුවියන්ට මහත් පිටුවහලක් සැලසෙනු ඇති බව මගේ විශ්වාසයයි. මෙම පොත්පත් මිලදී ගැනීමෙන් මුද්‍රණ කර්මාන්තය දියුණුවට පත් වෙනවා මෙන්ම දැනුම සමාජගත කිරීමට අවස්ථාව ලැබෙනවා. වර්තමානයේ දී අපට දැනුම මූලික කර ගත් සමාජයක අවශ්‍යතාවය දැඩිව පෙනෙන්නට තිබෙනවා. අපට දැනුමෙන් ඈත් වී ඉදිරි ගමනක් යන්නට හැකියාවක් නැහැ. ඒ දැනුම ලබා ගන්නට නම් පොත්පත් අවශ්‍යයි. පොත්පත් කියවන්නේ නැතිනම්, පුස්තකාලයට යන්නේ නැතිනම් එලෙස කියවන පොතපතේ වැදගත් කරුණු අවබෝධ කර ගන්නට බැරි නම් අප ලබන අධ්‍යාපනයෙන් පලක් වන්නේ නැහැ.
පොත්පත් මුද්‍රණකරුවන්ට රජය උපකාර කරන්නේ කෙසේදැයි අප සලකා බලමින් සිටිනවා. පොත් මුද්‍රණ ශිල්පය ලෙහෙසි පහසු ව්‍යාපාරයක් නොවෙයි. එක් අතකින් අන්තර්ජාලය සමඟ තරග කරන්නට තිබෙනවා. එමෙන්ම මිල අධික වීමේ ප්‍රශ්න ද මතු වෙනවා. එවැනි තත්ත්වයක් හමුවේ මෙම සල්පිල සංවිධානය කිරීම සම්බන්ධව ස්තූතිවන්ත විය යුතුයි.
අධ්‍යාපන පොත් සල්පිල මහජන පුස්තකාල සුබ සාධක සංගමය විසින් සංවිධානය කළේ කොළඹ මහ නගර සභාවේ ද ආධාර, උපකාර ඇතිවයි. එම නිසා නගර සභාවෙන් කර ගෙන යන වැඩසටහනටත් මා විශේෂයෙන් ප්‍රශංසා කරනවා. කොළඹ නගරයේ ස්ථාන කිහිපයක පුස්තකාල ස්ථාපිත කළ යුතු දැයි අප තීරණයක් ගත යුතුව තිබෙනවා. ඒ තීරණය ගත් විට අදාළ කටයුතු කඩිනමින් සපුරා දීමට හැකියි.
අපට එක් පුස්තකාලයක් පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ. ලන්ඩන් නුවර නම් කෞතුකාගාර පුස්තකාලයට අමතරව පෞද්ගලික පුස්තකාල රැසක් තිබෙනවා. ලංකාවේ එතරම් පෞද්ගලික පුස්තකාල දක්නට නැහැ. විශේෂයෙන්ම මැද කොළෙඹ, උතුරු කොළඹ ප්‍රදේශවල පුස්තකාල පහසුකම් දියුණු කිරීම පිළිබඳව අවධානය යොමු කළ යුතුයි. එය නගර සභාවේ වගකීමක්. නගර සභාව මේ වැඩ කටයුතු සඳහා දායකත්වය ලබාදීම පිළිබඳවත් ස්තුති වන්ත විය යුතුයි. වර්තමානයේ දී නගර සභාවේ කාලය වැඩිපුර ගත වී ඇත්තේ විශාල ප්‍රශ්න දෙකක් විසඳීම සඳහායි. පළමු වැන්න කසල කළමනාකරණයයි. දෙවැන්න ඩෙංගු උවදුර පිටු දැකීමේ ක්‍රියාවලියයි. බස්නාහිර ප්‍රධාන ඇමැතිතුමාත් මෙහි සිටින නිසා ඒ පිළිබඳව අදහස් පළ කිරීමට මා කල්පනා කළා.
පසුගිය මාස දෙක ඇතුළත දී කසල කළමනාකරණය පිළිබඳව විශාල ප්‍රශ්න ඇති වුණා. නගර සභාවටත්, පළාත් සභාවටත්, ආණ්ඩුවටත් දොස් අහන්නට සිදු වුණා. කුණු කසල පාරේ හැම තැනම තිබෙන බවත්, ඒවා ඉවත් නොකරන්නේ ඇයිදැයි ප්‍රශ්න කළා.
අප උත්සාහ කළේ කසල ගැටලුව සඳහා මූලික විසඳුමක් ලබාදීමයි. දිගු කාලීන කසල කළමනාකරණය සඳහා ක්‍රමවේද සහ ස්ථාන සොයා ගැනීම අපගේ මූලික වැඩකටයුත්ත වුණා. එම තීරණ නොගෙන මේ ප්‍රශ්න විසඳන්න හැකියාවක් නැහැ. මෙම කසල ප්‍රශ්නය අප දැන් බොහෝ දුරට විසඳා තිබෙනවා.
1977 මැතිවරණයට පෙර කොළඹනගරය ඉතා කුඩා නගරයක් බව කිව යුතුයි. මේ අයුරින් කුණු කසල තිබුණේ නැහැ. කර්මාන්ත තිබුණේ නැහැ. ජනගහනය හිටියේ නැහැ. නගරය දියුණු වීමත් සමඟ කසල ප්‍රමාණය වැඩි වුණා. එම නිසා 1990 දශකයේ අපි මීතොටමුල්ලේ කසල කළමනාකරණ ස්ථානය තෝරා ගත්තා. එතැන් සිට මේ ප්‍රශ්නයට ස්ථිර විසඳුම කුමක්දැයි සොයා බැලුවා. 1994 වසරේ දී කසල ප්‍රශ්නය උග්‍ර වී උද්ඝෝෂණ ද පැවැත්වුණු හෙයින් මීතොටමුල්ලට තවත් කසල නොදමන බවට ආණ්ඩුව තීරණය කළා. ඒ වෙනුවට බ්ලුමැන්ඩල් ප්‍රදේශය ප්‍රයෝජනයට ගැනීමට තීරණය කළා. බ්üමැන්ඩල් ප්‍රදේශයට කසල බැහැර කිරීමත් තාවකාලික විසඳුමක් පමණක් වුණා. එම ස්ථානයේත් විවිධ ප්‍රශ්න මතු වුණා. මෙම ප්‍රශ්න හමුවේ ඇතැම් අය අධිකරණයට පවා ගියා. ඒ අනුව බ්ලුමැන්ඩල් ප්‍රදේශයට කසල බැහැර කිරීම වළක්වාලමින් අධිකරණ නියෝගයක් ලබාගත්තා.
අප වසර 8 – 9 ක් පමණ මේ ප්‍රශ්නයට විසඳුම් හෙව්වා. මා මීට පෙර අග්‍රාමාත්‍යවරයාව සිටිය දීත් මේ ප්‍රශ්නයට විසඳුම් ලබා ගැනීම සඳහා කටයුතු කළා. ආණ්ඩුව විසුරුවා හැරියේ එවැනි වැඩසටහනක් ක්‍රියාත්මක වෙමින් තිබියදී බව කිව යුතුයි. කෙලෙස හෝ අවසානයේ කසල ප්‍රශ්නයට විසඳුමක් ලබා ගැනීමට හැකි වුණේ නැහැ. අනතුරුව අධිකරණය බ්ලුමැන්ඩල් ප්‍රදේශයට කුණු බැහැර කිරීමට එපා යැයි නියෝගයක් දුන්නා. ඉන් පසුව කසල කළමනාකරණය සඳහා නැවතත් මීතොටමුල්ල තෝරා ගත්තා. එයත් තාවකාලික විසඳුමක් පමණක් වුණා. මීතොටමුල්ලේ සිට කසල ගෙන යන්නේ කොතනටදැයි ස්ථිර විසඳුමක් ලබාගත යුතුව තිබුණා. නමුත් එම ස්ථිර විසඳුම පසුගිය ආණ්ඩු විසින් ලබාගත්තේ නැහැ. කසල ඉවත් කිරීමට විවිධ සමාගම් යෙදවූවා. ත්‍රිවිධ හමුදාව යෙදවූවා. ඔවුන් යොදවා කසල ඉවත් කළත් කසල තැන්පත් කරන ස්ථානයක් පිළිබඳව අවසන් විසඳුමක් තිබුණේ නැහැ. එම නිසා මීතොටමුල්ලේ කුණු කන්ද වැඩි වෙන්නට පටන් ගත්තා. විශාල ප්‍රශ්න ඇති වුණා.
මීතොටමුල්ල කුණු කන්ද වටේ සිටින ජනතාව පාරට බැස උද්ඝෝෂණය කරන අවස්ථාවල දී ඔවුන්ට විරුද්ධව පොලිසිය මෙහෙයවූවා. මේ ප්‍රශ්න නිසා කුණු කන්ද වැඩි වෙන්න පටන් ගත්තා. මා විපක්‍ෂනායකවරයා ලෙස සිටින විට ජීප් රියකින් කුණු කන්ද උඩට ගොස් නිරීක්‍ෂණය කළ අයුරු මතකයි. කුණු කන්දට විසඳුමක් ලබාදීමට අපත් පොරොන්දු වී තිබුණා. අප බලයට පැමිණි පසුව කුණු බැහැර කිරීම සඳහා පුත්තලමේ ප්‍රදේශයක් ගැන අධ්‍යයනය කළා. එලෙස හඳුනා ගෙන තිබුණේ වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව සතු ඉඩමක්. වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවෙන් එම ඉඩම ඉවත් කර ගැනීමට කාලය ගත වන නිසා තවත් භඣමියක් එම ප්‍රදේශයෙන්ම සොයා ගත යුතු යැයි යෝජනා කළා. ඒ අනුව විකල්ප කිහිපයක් ගැන අධ්‍යයනය කළා. ඒ අතරතුර මීතොටමුල්ලෙන් කසල ඉවත් කොට තවත් ස්ථාන කිහිපයක තාවකාලිකව රැඳවීමට අප ක්‍රියා කළා. එවැනි ඇතැම් ස්ථානවල කසල බැහැර කිරීමට එරෙහිව අධිකරණ නියෝග තිබුණා. තවත් තැන්වල උද්ඝෝෂණ විරෝධතා ඇති වුණා. කසල ගෙන යන වාහනවලටත්, නිලධාරීන්ටත් හිරිහැර විදින්නට සිදු වුණා. එම නිසා නාගරික කොමසාරිස්තුමාටත් කුණු බැහැර කිරීමට සුදුසු ස්ථානයක් සොයා ගැනීමේ කාර්යය දුෂ්කර වූ බව කිව යුතුයි. මේ ක්‍රියාවලිය සිදුවන අතරතුර ඇද හැලුණු වැස්සත් සමඟ මීතොටමුල්ල කුණු කන්ද කඩා වැටුණා. එමගින් ජීවිත කිහිපයක් අහිමි වුණා. අප දන්නා හඳුනන අයගේ ජීවිතත් නැති වී තිබෙනවා.
ඒ අනුව 2017 අප්‍රේල් මාසයේ දී අප එක තීරණයක් ගත්තා. මේ කසල ගැටලුව විසඳීමට නම් මූලික ප්‍රශ්නයට විසඳුමක් දිය යුතුයි. කුණු කසල ප්‍රශ්නය තාවකාලිකව ඇති වුණත් කසල කළමනාකරණය සඳහා සුදුසු ස්ථානයක් සොයා ගත යුතුය යන තීරණයට අප එළැඹුණා. මේ වන විට මහ නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය පුත්තලමෙන් එම සුදුසු ස්ථානය ලබාගෙන තිබෙනවා. නමුත් ඒ සඳහා භූමිය සකස් කළ යුතුයි. හිතුමතේ ගොස් බිමට කුණු දාන්න හැකියාවක් නැහැ. ඒ භූමිය සැකසීමේ කටයුතු සඳහා වසර දෙකක්වත් අවශ්‍ය වෙනවා. වසර දෙකකින් පසු ඊළඟ වසර 10 සඳහා වන කසල කළමනාකරණය එම භූමියේ දී සිදු කිරීමට හැකියාව තිබෙනවා. එම වසර දහය ඇතුළත අපට තවත් අලුත් යෝජනා සලකා බලන්නට අවස්ථාව තිබෙනවා.
අදාළ භූමිය සකස් කිරීමට ගත වන වසර දෙකක කාලයේ දී අප කෙටි කාලීන විසඳුම් සෙවිය යුතුයි. නොයෙක් ස්ථාන නම් කළේ එම කෙටි කාලීන විසඳුම් සඳහායි. එවැනි ස්ථානවලට කුණු ලොරි යද්දී ඒවාට හිරිහැර කරන්නට ඇතැමුන් පෙළඹුණා. සමහර තැන්වල විශාල උද්ඝෝෂණ ඇති වුණා. අධිකරණයට ගියා. ඉන් පසුව පළාත් සභාව සමඟත් සාකච්ඡා කොට කරදියාන කසල අංගනය යොදා ගැනීමට තීරණය කළත් එය ප්‍රමාණවත් නැහැ. එම නිසා තවත් ස්ථාන අවශ්‍යයි. කසල බැහැර කිරීම සඳහා නීත්‍යානුකූල තහනමක් නොමැති ස්ථානවල කසල කළමනාකරණ වැඩසටහන් ආරම්භ කරනවා.
මේ අරඹන එක් වැඩසටහනකින් හෝ ජනතාවගේ සෞඛ්‍යයට බලපෑමක් සිදුවෙනවා නම් ඒ වැඩසටහන නතර කරනවා. ඒ වෙනුවෙන් පරිසර අධිකාරියෙන් වාර්තා ලබා ගන්නවා. සෙසු අවශ්‍ය සියලු වාර්තා ලබා ගන්නවා. ජනතා සෞඛ්‍යයට හානියක් නොවන අයුරින් වැඩ කටයුතු කරනවා. මේ වනවිට අධිකරණය විසින් ලබා දුන් තහනම් නියෝග රැසක් ඉවත් කර තිබෙනවා. මුතුරාජවෙල සම්බන්ධයෙන් තවත් එක් තහනම් නියෝගයක් තිබෙනවා. ඒ නඩුවත් ළඟදීම අවසන් වනු ඇතැයි මා බලාපොරොත්තු වෙනවා. එවිට ඒ ස්ථානයත් ලබා ගැනීමට හැකි වේවි. ඒ සමගම තවත් අලුත් ස්ථාන කෙරෙහි අවධානය යොමු කළ යුතුයි.
දැන් කෙටි කාලීන විසඳුමක් මෙන්ම දිගු කාලීන විසඳුමක් තිබෙනවා. එම නිසා කසල එකතු කිරීමේ කටයුතු කර ගෙන යාමට හැකියාව තිබෙනවා. එලෙස සැලසුම් නොතිබුණා නම් කසල එකතු කරන විට බැහැර කරන්නට ස්ථාන නොමැති වෙනවා. එවිට කොළඹ නගරය තුළම කසල කඳු කිහිපයක් බිහි වෙනවා. මෙම ප්‍රශ්නය කොළඹට පමණක් නොව, කොළොන්නාව, කෝට්ටේ, දෙහිවල – ගල්කිස්ස, මොරටුව, කඩුවෙල, මහරගම, බියගම, වත්තල, ජාඇල, කැලණිය යන ප්‍රදේශවලටත් බලපානවා. කසල බැහැර කිරීම සම්බන්ධයෙන් සමහරුන් ජනතාව උසිගන්වනවා. එම නිසා ජනතාවට මෙයින් ප්‍රශ්නයක් ඇති වේ දැයි සැකයක් මතු වෙනවා. මෙම තත්ත්වයන් කළමනාකරණය කර ගැනීමට අප්‍රේල් මාසයේ සිට මාස දෙකක කාලයක් ගත වුණා. ජූලි මාසයේ දී මේ දීර්ඝ කාලීන ප්‍රශ්නය විසඳා ගැනීමට හැකි වුණා.
දශක එකහමාරක් හෝ දෙකක් තිබූ ප්‍රශ්නය බොහෝ ආණ්ඩු විසින් යට ගැසුවා. අප ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ කමිටුවක දී මේ පිළිබඳව සාකච්ඡා කර ප්‍රශ්නය එකවර විසදිය හැකි නම් විසඳුමක් ලබාදීමට තීරණය කළා. ප්‍රශ්නය පැය 24 න් විසඳීමට හැකියාවක් තිබුණේ නැහැ. ඒ විසඳුම් සාකච්ඡා කොට ලබාගත යුතුව තිබුණා. දැන් එය ක්‍රියාත්මක වෙනවා.
කසල, ඉන්ධන බවට පත් කිරීමේ ව්‍යාපෘති කිහිපයක් ද අප යෝජනා කර තිබෙනවා. එම ව්‍යාපෘති අනුමත කර තිබෙන අතර එහි ප්‍රගතිය දෙස බලා ඊළඟ මාස දෙක ඇතුළත ප්‍රගතියක් පෙන්නුම් නොකළහොත් ඒවා අහෝසි වනු ඇති. එම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමටත් වසර එකහමාරක, දෙකක පමණ කාලයක් ඉල්ලා සිටිනවා.
විශේෂම ප්‍රශ්නය වී ඇත්තේ පළමු වසර දෙකේ දී කසල කළමනාකරණය කිරීමයි. මහනුවර මෙන්ම වෙනත් නගරත් මේ ප්‍රශ්නවලට මුහුණ දෙනවා. අප මුලින් උත්සාහ කරන්නේ කොළඹ ආශ්‍රිතව මේ වැඩසටහන් ක්‍රියාත්මක කරන්නටයි. කොළඹ මහ නගර සභාව සෙසු පළාත් පාලන ආයතන, අදාළ අමාත්‍යවරුන් සියලුම දෙනා එකට එක්වී වැඩ කටයුතු කර ගෙන යනවා. මේ සියලු දෙනාටම මා ස්තුතිය පළ කරනවා.
කසල එකතු කිරීම සිදු කෙරෙන්නේ මහ ඇමැතිතුමාත්, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයත්, නීතිය හා සාමය අමාත්‍යාංශයත්, නගර සභාවත් ඒකාබද්ධවයි. එලෙස එකතු කරන කසල කළමනාකරණය සඳහා බස්නාහිර මහ නගර අමාත්‍යාංශය විසින් බාර ගෙන දැන් ක්‍රමවේදයක් සකස් කර තිබෙනවා. එම ක්‍රමවේදය ක්‍රියාත්මක කරන තුරු අපට බැනුම් අසන්නට සිදු වුණා. මහ ඇමැතිතුමාට බැනුම් අසන්නට සිදු වුණා. කොළඹ මහ නගර සභාවටත් බැණුම් අහන්නට සිදු වුණා. මැතිවරණ පවත්වා කොළඹමහ නගර සභාව ක්‍රියාත්මකව තිබුණත් කුණු බැහැර කරන්නට ස්ථානයක් නොමැති නම් මේ ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ. එවිට සිදු වන්නේ මමත්, මැති ඇමැතිවරුනුත් අතරට නගර සභාවත් බැනුම් අසන්නට එක්වීමයි. කෙලෙස හෝ නගර සභාව තිබීම හොඳයි. නගර සභාව, පළාත් සභා, මහ ආණ්ඩු කුමන දේ තිබුණත් මේ ප්‍රශ්නයට අවසන් විසඳුමක් නොමැතිව අරමුණු ඉටු කර ගන්නට හැකි වන්නේ නැහැ. කුණු එකතු කිරීම පහසුයි. නමුත් එය කළමනාකරණය කරන්නේ කෙසේදැයි තීරණය කළ යුතුයි. ඩෙංගු ප්‍රශ්නය විසඳීමට නම් මේ ප්‍රශ්නය විසදා ගත යුතුයි. මේ ප්‍රශ්නය විසඳන්නේ නැතිව ඩෙංගු ප්‍රශ්නයට අත ගසන්නට හැකියාවක් නැහැ. පසුගිය මාසයේ දී අපගේ සම්පූර්ණ අවධානය යොමු කළේ මේ සඳහා විසඳුමක් ලබා ගැනීමටයි. මේ වන විට ඒ විසඳුම ලබා ගෙන තිබෙනවා.
මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මූලිකත්වයෙන් අප ජාතික ආණ්ඩුවක් නිර්මාණය කළේ මෙතෙක් නොවිසිඳුණු ප්‍රශ්න විසඳීම සඳහායි. එක් පැත්තකින් කුණු කන්ද තිබෙනවා. අනෙක් පැත්තෙන් ජාතික ණය නැමැති මඩ වගුර තිබෙනවා. එක් පැත්තකින් මඩ වගුර දෙස බැලිය යුතුයි. අනෙක් පැත්තෙන් කුණු කන්ද දෙස බැලිය යුතුයි. මේ ආකාරයේ කුණු කඳු ගණනාවක් තිබෙනවා. ජාතික ආණ්ඩුවක් බිහි කළේ මේ ප්‍රශ්නවලට විසඳුම් ලබාදීමටයි. තනි පක්‍ෂයක් තිබෙන ආණ්ඩුවලටත් මේ ප්‍රශ්න විසදා ගන්නට බැරි වුණා. දැන් පක්‍ෂ එක්ව පිහිටවූ ආණ්ඩුවෙන් අප ඉතා අසීරුවෙන් මේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙමින් සිටිනවා. කෙසේ හෝ මේ ප්‍රශ්න විසඳීමට අප තීරණය කර තිබෙනවා. එක්වර සියලුම ප්‍රශ්න විසඳන්න හැකියාවක් නැහැ. ඩෙංගු උවදුර පිළිබඳවත් මා පසුව කතා කරනවා.
අධ්‍යාපනය දියුණු කිරීම, ආර්ථිකය නැංවීම ආදී කාර්ය භාරයන් රැසක් අප හමුවේ තිබෙනවා. අපේ උත්සාහය වන්නේ මේ වසර කිහිපයේ දී මූලික පදනම දැමීමයි. ණය පාලනය කර ගත හැකි පදනම මේ වන විට සකස් කර තිබෙනවා. කසල කළමනාකරණයටත් අවසන් විසඳුම ලබා දී තිබෙනවා. කුණු කඳු, වගුරු බිම් ශුද්ධ පවිත්‍ර කර ගෙන ඉදිරියට යමු.