අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ත්‍රිකුණාමලයේ වැව් 25ක ප‍්‍රතිසංස්කරණ මෙම වසරේ නිම කරනවා - ජනපති

    ජූලි 21, 2017

    අතීත වාරි සංස්කෘතිය යළි රටට කැඳවාගෙන එමින් කෘෂි ආර්ථිකය ගොඩනැංවීමට රජය ක්‍රියාත්මක කර තිබෙන වැඩපිළිවෙළ යටතේ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ පමණක් වැව් 25 ක ප‍්‍රතිසංස්කරණ කටයුතු මෙම වසරේ නිමකර තිබෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි.

    ජනාධිපතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ දේශීය ආහාර නිෂ්පාදන වැඩසටහනේ 2016 විශිෂ්ටයින් ඇගයීම වෙනුවෙන් අද (21) ඓතිහාසික කන්තලේ ජලාශය අසල පැවති උත්සවය අමතමිනි.

    ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ වැව් අමුණු ප‍්‍රතිසංස්කරණය, මාර්ග සංවර්ධනය, අලි වැට ඉදිකිරීම, සෞඛ්‍ය සහ අධ්‍යාපන ක්ෂේත‍්‍රවල සංවර්ධනය සඳහා වසර 03 ක සැලැස්මක් යටතේ ක්‍රියාවට නැංවූ , සිරිසර පිවිසුම, දිස්ත්‍රික් වැඩසටහන සඳහා රුපියල් මිලියන 5,000 ක් ජනාධිපති කාර්යාලය හරහා වෙන් කිරීමට පියවර ගත් අතර ඒ යටතේ මේ වසර සඳහා ලබාදුන් රුපියල් මිලියන 1000 න් රුපියල් මිලියන 200 කට වැඩි මුදලක් වැය කරමින් මෙම වැව් 25 ප‍්‍රතිසංස්කරණය කෙරුණු බව ජනාධිපතිතුමා පැවසීය.

    මේ යටතේ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ කුඩා වැව් අමුණු 500 ක් ප‍්‍රතිසංස්කරණ කෙරෙන අතර වැවෙන් වැවට වතුර පිරෙන, වැසි ජලය අපතේ නොයන ජාලගත ඉපැරණි වාරි ක‍්‍රමයක් වන එල්ලංගාව වැව් ජාලය හරහා මෙම ප‍්‍රතිසංස්කරණ කටයුතු සිදු කෙරේ.

    මේ අනුව ප‍්‍රතිසංස්කරණ කෙරුණු කන්තලේ, ගංතලාව යුනිට් 12 වැව ජනතා අයිතියට පවරාදීම අද (21) පෙරවරුවේ ජනාධිපතිතුමා අතින් සිදු විය.

    ගම් වැසියන්, ගොවි සමිති සහ ගොවි නායකයින්ගේ සහභාගිත්වයෙන් ක්‍රියාත්මක වැඩසටහන සඳහ ශ්‍රී ලංකා යුද හමුදාවේ දායකත්වය හිමි වන අතර රුපියල් මිලියන 23 ක මුදලක් ඇස්තමේන්තුගත කර තිබු ගංතලාව යුනිට් 12 වැවේ ප‍්‍රතිසංස්කරණ කටයුතු මේ යටතේ රුපියල් මිලියන 05 ක මුදලකින් නිම කිරීමට හැකිවීම ද විශේෂත්වයකි.

    සමරු ඵලකය නිරාවරණය කර ප‍්‍රතිසංස්කරණය කෙරුණු වැව ජනතා අයිතියට පවරාදීම ජනාධිපතිතුමා අතින් සිදු විය.

    සිරිසර පිවිසුම, දිස්ත්‍රික් වැඩසටහන සඳහා යොදා ගැනීමට ට‍්‍රැක්ටර්, බවුසර්, ටේලර් යන්ත‍්‍ර සහ කැබ් රථ 05 ක් ශ්‍රී ලංකා යුද හමුදාවේ ඉංජිනේරු බලකාය වෙත නිල වශයෙන් භාරදීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.

    අනතුරුව කන්තලේ ජලාශය අසල පැවති දේශීය ආහාර නිෂ්පාදනයේ 2016 විශිෂ්ටයින් ඇගයීමේ උත්සවයට ජනාධිපතිතුමා සහභාගී විය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ මේ රටේ ඓතිහාසික පදනම සහ ඉතිහාසයේ සමෘද්ධිමත් යුගයන් පිළිබඳ සැලකීමේ දී රට ගොඩනැගිය හැක්කේ කෘෂිකර්මාන්තය පදනම් කර ගත් ආර්ථිකයක් තුළින් බවයි.

    කෘෂිකාර්මික ආර්ථිකයක් තුළ රට ගොඩනැගීමට නම් ගොවි ජනතාවට යහපත් ආර්ථික තත්ත්වයක් උදාකර දිය යුතු අතරම පිටරටින් ගෙන්වන බොහෝ දේ අපේ රටේ නිෂ්පාදනය කර ආහාරවලින් ස්වයංපෝෂිත විය යුතු බව පැවසූ ජනාධිපතිතුමා එම කටයුතු සඳහා ප‍්‍රමුඛත්වයක් දී කටයුතු කිරීම වත්මන් රජයේ ප‍්‍රතිපත්තිය බව ද කියා සිටියේය.

    මොරගහකන්ද ජලාශය යටතේ අනුරාධපුර, පොලොන්නරුව, ත්‍රිකුණාමලය සහ වයඹ වැව් 700 කට වැඩි ප‍්‍රමාණයක් ප‍්‍රතිසංස්කරණය කෙරන බවත් මොරගහකන්ද ජලාශයේ වැඩ නිම වීමෙන් පසුව දශක ගණනාවක් පුරා ජලය නොමැතිව පීඩාවිදී මෙම ප‍්‍රදේශවල ජනතාවගේ ජල ගැටලුවට ස්ථීරසාර විසඳුමක් ලැබෙන බවත් ප‍්‍රකාශ කළ ජනාධිපතිතුමා ඒ තුළින් කන්තලේ නගරයේ ජනතාවගේ පානීය ජල ගැටලුවට ද ස්ථීර විසඳුමක් ලැබෙන බව සඳහන් කළේය.

    “මෛත්‍රීර පාලනයක් – ස්ථාවර රටක්” ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේ සඳහන් සුරක්ෂිත ආහාර හා තිරසර ගොවිතැන සංකල්පය යටතේ දේශීය ආහාර නිෂ්පාදනයේ ප‍්‍රවර්ධනය වෙනුවෙන් කරන ලද විශිෂ්ට මෙහෙවර අගයමින් ගොවීන් 48 දෙනෙකුට ජනාධිපති සම්මාන ප‍්‍රදානය කිරීම මෙහිදී සිදු විය.

    ඒ යටතේ පළමුවැනි ස්ථාන දිනාගත් 17 දෙනෙකු ජනාධිපතිතුමා අතින් සම්මාන ලබා ගත්හ.

    පශු සම්පත්, ධීවර හා වැවිලි කර්මාන්ත අංශ 03 යටතේ මෙම සම්මාන ප‍්‍රදානය කෙරුණු අතර නවීන තාක්ෂණය සහ නවීන වගා ක‍්‍රම භාවිතය, රසායනික ද්‍රව්‍ය අවම කර කාබනික පොහොර නිෂ්පාදනය සඳහා යොමු වීම වැනි කරුණු මෙම ගොවීන් තෝරා ගැනීමේදී ප‍්‍රධාන නිර්ණායක කොට ගෙන තිබේ.

    අමාත්‍යවරුන් වන මහින්ද අමරවීර, දුමින්ද දිසානායක, දයා ගමගේ, නියෝජ්‍ය අමාත්‍ය අමීර් අලී, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම, නැගෙනහිර පළාත් ඇමතිනි ආරියවතී ගලප්පත්ති, නැගෙනහිර පළාත් සභා මන්ති‍්‍ර ති‍්‍රකුණාමල විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂ පි.ජයන්ත පතිරණ, සේරුවිල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දිස්ත්‍රික් සංවිධායක නලින් ගුණවර්ධන යන මහත්ම මහත්මීන් ඇතුළු පළාතේ මහජන නියෝජිතයින් ද, යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක, හිටපු ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya