මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උමා ඔය - විදේශීය විශේෂඥ සහාය ලබාගන්නවා - ජනපති

    ජූනි 29, 2017
    ජනතාවට සිදුවන හිරිහැරය වළක්වමින් උමා ඔය ව්‍යාපෘතිය ඉදිරියට ක්‍රියාත්මක කිරීම පිළිබඳ සොයා බැලීමට විදේශීය විශේෂඥයින්ගේ සහය ලබා ගැනීමට අපේක්ෂා කරන බව ජනාධිපතිතුමා පැවසීය.
     
    ඉංජිනේරුවන්ගේ උපදෙස් නොතකමින් දේශපාලන තීන්දු මත ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීම හේතුවෙන් මෙම අයහපත් ප‍්‍රතිවිපාකවලට ප‍්‍රදේශයේ ජනතාවට මුහුණදීමට සිදුව තිබෙන බව ප‍්‍රකාශ කළ ජනාධිපතිතුමා අද පැන නැගී තිබෙන ජනතා විරෝධතා හමුවේ, එම වැරදි දේශපාලන තීන්දු ගනිමින් කෝටි ගණන් මුදල් වංචා කළ පිරිස නිහඬ පිළිවෙතක් අනුගමනය කළද, වැරදි ඇස්තමේන්තු සකස් කරමින් ව්‍යපෘතියෙන් මූල්‍ය වංචා සිදුකළ අය පිළිබඳව ද වෙනම පරීක්ෂණයක් සිදු කිරීමට තමා ඉදිරියේදී අපේක්ෂා කරන බව ප‍්‍රකාශ කළේය.
     
    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ අද (28) පෙරවරවේ නුවරඑළිය ප‍්‍රදේශයේ පැවති උත්සවයකදීය.
     
    ජනතාව ප‍්‍රතික්ෂේප කළ මෙම ව්‍යාපෘතිය නවතා දැමීම පිළිබඳ වත්මන් රජය බලයට පත්විමෙන් පසු සොයා බැලුවද ඒ වන විට ව්‍යාපෘතියේ කටයුතු 2/3 ප‍්‍රමාණයක් අවසන්ව තිබීම හේතුවෙන් සහ ඒ සඳහා ඉරාන රජයෙන් ලබාගත් අතිවිශාල ණය මුදල හේතුවෙන් ගැටලු හමුවේ වුවද ව්‍යාපෘතිය ඉදිරියට කරගෙන යාමට රජයට සිදුවූ බව ජනාධිපතිතුමා කියා සිටියේය.
     
    මතුව ඇති තත්ත්වය හමුවේ ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ තමා පසුගිය දින කිහිපය තුළ දේශීය මෙන්ම විදේශීය විශේෂඥයින් සමග සාකච්ඡා පැවැත්වූ බව සඳහන් කළ ජනාධිපතිතුමා මේ වන විට ජර්මන් රජයේ කැණීම් කටයුතු පිළිබඳ විශේෂඥයෙකු මේ පිළිබඳ පරීක්ෂණ ආරම්භ කර තිබෙන අතර වැඩිදුර අධ්‍යයනය සඳහා තවත් සති කිහිපයකින් නෝර්වේ රජයේ විශේෂඥ කණ්ඩායමක් ද දිවයිනට පැමිණීමට නියමිත බව කියා සිටියේය.
     
    අද විදුලිබල සේවකයින් නිරතව සිටින විරෝධතා ව්‍යාපාරය පිළිබඳව ද මෙහිදි අදහස් දැක්වූ ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ පසුගිය රජය විදුලිබල මණ්ඩලයේ ඉහළ සේවකයින්ට පමණක් විශාල වශයෙන් වැටුප් වැඩිකළ අතර පහළ ශ්‍රේණිවල සේවකයින්ගේ වැටුප්වල වැඩිවීමක් සිදුනොවීම නිසා ඔවුන් එම විරෝධතාවල නිරතව සිටින බවයි.
     
    එසේම සයිටම්වලට එරෙහි විරෝධතා පිළිබඳව අදහස් දක්වමින් කියා සිටියේ එම ගැටලුව ද රටට නිර්මාණය කළේ පසුගිය රජයම බවයි.
     
    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ ෆේස් බුක් සහ ඇතැම් සමාජ වෙබ් අඩවි අද ජාතික සමගිය සහ ආගමික සංහිඳියාව ගොඩනැගීමේදී බාධාවක් වී ඇති බවයි.
     
    අන්තවාදී පිරිස් මේවා භාවිතා කරමින් සමාජය තුළ ගැටුම් ඇතිකිරීමට උත්සාහ දරමින් සිටින බැවින් මේ පිළිබඳ සියලුදෙනා අවබෝධයෙන් කටයුතු කළ යුතු බව ජනාධිපතිතුමා සඳහන් කළේය.
     
    වතුකරයේ තිබෙන සුන්දරත්වය එහි ජීවත්වන ජනතාවගේ ජීවිතවලට ද ගෙන ඒමේ වගකීම ඉටුකිරීමට රජය කැපවී සිටින බව සඳහන් කළ ජනාධිපතිතුමා එම ප‍්‍රදේශවල ජනතාව මුහුණ දී තිබෙන ප‍්‍රධාන ගැටලු වන දරුවන්ගේ මන්ද පෝෂණය තුරන් කිරීමට මෙන්ම මත් උවදුර මැඩලීමට රජය විශේෂ අවධානය යොමු කරමින් කටයුතු කරන බව ද කියා සිටියේය.
     
    නුවරඑළිය හයිලන්ඩ්ස් විද්‍යාලයේ 125 වන සංවත්සර උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් නුවරඑළිය හැටන් ඩී.කේ.ඩබ්ලිව්. වීරතුංග සංස්කෘතික මධ්‍යස්ථානයේ දී පැවැත්විණි.
     
    විද්‍යාලයේ විශිෂ්ටතා දැක්වූ සිසුන්ට තිළිණ ප‍්‍රදානය කිරීම මෙන්ම 125 වන සංවත්සරය වෙනුවෙන් සමරු මුද්දරයක් නිකුත් කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.
     
    නුවරඑළිය හයිලන්ඩ්ස් විද්‍යාලය සඳහා ලබාදුන් අක්කර 10 ක ඉඩමට අදාළ ඔප්පුව ද මෙහිදී ජනාධිපතිතුමා අතින් විදුහල්පතිවරයා වෙත භාරදෙනු ලැබීය.
     
    මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක, ප‍්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, රාජ්‍ය අමාත්‍ය පී. රාධක්‍රිෂ්ණන්, ආරුමුගම් තොණ්ඩමන්, සෙන්දිල් තොණ්ඩමන් යන මහත්වරුන් ඇතුළු පළාතේ මහජන නියෝජිතයින් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
     
    ඉන් අනතුරුව කොටගල දෙමළ මහා විද්‍යාලයේ ද නිරීක්ෂණ චාරිකාවක නිරතවූ ජනාධිපතිතුමා එම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු පිළිබඳ විමසා බැලීය.
     
    පසුගියදා තලවකැලේ ප‍්‍රදේශයේ කළ සංචාරයකදී තම පාසලේ අඩුපාඩු කිහිපයක් පිළිබඳ එම දරුවන් ජනාධිපතිතුමා වෙත කළ දැනුම්දීම අනුව එම අඩු පාඩු සපුරා දීමට ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි කටයුතු කර තිබුණි.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya