අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බාහිර අතපෙවීම් අනුමත කරන්නේ නෑ : ශ‍්‍රී ලංකාවට දිගටම සහය

    ජූනි 26, 2014

    මාලදිවයින් ජනපති සහතික වෙයි


    “අප දෙරට ඉතා හොඳ අසල්වැසියන්. රටවල්වලට කෙරෙන අනිසි බාහිර අතපෙවීම් අප අනුමත කරන්නේ නෑ. එබැවින් අන්තර්ජාතික වේදිකාවේ දී මාලදිවයින් ශ‍්‍රී ලංකාව වෙනුවෙන් දිගටම පෙනී සිටියා. ඉදිරියටත් ශ‍්‍රී ලංකාව සමග උරෙන් උර ගැටී සහයෝගයෙන් වැඩ කිරීමට අප සූදානම්,. මාලදිවයින් ජනාධිපති අබ්දුල්ලා යමීන් අබ්දුල් ගයූම් (Abdulla Yameen Abdul Gayoom) මැතිතුමා ඊයේ (25) සවස මාලේ නුවර ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා ප‍්‍රමුඛ ශ‍්‍රී ලංකා දූත පිරිස සමග නිල සාකච්ඡාවට සහභාගී වෙමින් එසේ ප‍්‍රකාශ කළේය.


    දෙරටේ ජනාධිපතිවරුන් තනිව කළ කථාබහෙන් අනතුරුව දෙපාර්ශවය අතර සාකච්ඡා ඇරඹිණ. ශ‍්‍රී ලංකාව සහ මාලදිවයින් අතර දිගුකාලීන මිත‍්‍රශීලී හා අන්‍යෝන්‍ය වශයෙන් ප‍්‍රතිඵලදායී සබඳතා සමාලෝචනය කළ මේ සාකච්ඡාවේ දී ද්විපාර්ශවික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් හා වර්ධනය කළ හැකි ආකාරය විමර්ශනය කරනු ලැබීය. “අපේ කලාපය නොඉවසිය හැකි තරම් හිරිහැරයට ලක්ව තිබෙනවා. එය නතර කළ හැක්කේ එක්ව නැගී සිටීමෙන්“ මාලදිවයින් නායකයා පැවසීය.

     

    Sri Lanka and Maldives Hold Bilateral Discussions 1
    ජනාධිපති රාජපක්‍ෂ මැතිතුමා සිව් වරක් මාලදිවයිනට පැමිණ ඇති බව සිහිපත් කරමින් නිල සාකච්ඡා වටය ආරම්භ කළ අබ්දුල්ලා යමීන් ජනාධිපතිතුමා, ශ‍්‍රී ලංකාව තම රටට කර ඇති උපකාර වෙනුවෙන් කෘතඥතාව පළ කළේය.


    තමන් ඇතුළු ප‍්‍රමුඛ දූත පිරිසට ලැබුණු උණුසුම් පිළිගැනීම හා ආගන්තුක සත්කාරය පිළිබඳව ජනාධිපති රාජපක්‍ෂ මැතිතුමා සොම්නස පළ කළේය. “ඔබ පසුගිය ජනවාරි මස ශ‍්‍රී ලංකාවේ කළ චාරිකාව දෙරට අතර සබඳතා තවත් තහවුරු කිරීමට උපකාරී වුණා. ඔබ බලයට පත්වීමෙන් පසු මාලදිවයින නව ජවයකින් ඉදිරියට යන බව අප දකිනවා. සාර්ක් සංවිධානය තුළ මාලදිවයිනේ භූමිකාව ප‍්‍රශංසනීයයි“, යනුවෙන් සඳහන් කළ ජනාධිපතිතුමා අන්තර්ජාතික වේදිකාවල දී ශ‍්‍රී ලංකාවට දුන් සහයෝගය ගැන මාලදිවයින් රාජ්‍යයට ස්තුතිය පුද කළේය.


    දකුණු ආසියානු ජාතීන් අතර සහයෝගීතාව සහ මිත‍්‍රත්වය කලාපීය රටවලට පමණක් නොව සමස්ත ආසියාවේත් ලෝකයේත් සාමයට හා ස්ථාවරත්වයට ඉවහල් වන බව පෙන්වා දුන් ජනාධිපති රාජපක්‍ෂ මැතිතුමා, අප පොදු වේදිකාවක සිට එක් හඬින් කථා කළ යුතු යැයි සඳහන් කළේය. ද්විපාර්ශවික සබඳතා සැලසුම් සහගතව වර්ධනය කිරීම පිණිස ශ‍්‍රී ලංකා-මාලදිවයින් ඒකාබද්ධ කොමිසම උපයෝගී කර ගත යුතු බව ජනාධිපතිතුමා පැවසීය. කොමිසම ලබන අගෝස්තු මස රැස්වන බව අබ්දුල්ලා යමීන් ජනාධිපතිතුමා ඊට ප‍්‍රතිචාර වශයෙන් කීය.


    දැනටමත් පවත්නා ආර්ථික, වෙළෙඳ, සාමාජයීය හා සංස්කෘතික සබඳතා වර්ධනය කළ හැකි ක්‍ෂේත්‍ර ගණනාවක් නිල සාකච්ඡාවේ දී හඳුනාගන්නා ලදී. මාලදිවයින් හි රෝහල් සේවාව ශක්තිමක් කිරීම ඇතුළු සෞඛ්‍යය, අධ්‍යාපනය, ශිෂ්‍යත්ව ප‍්‍රදානය, තරුණ සංවර්ධනය, ක‍්‍රීඩා, වෘත්තීය පුහුණුව, සංස්කෘතිය, අපරාධ මර්දනය, ආරක්‍ෂාව සහ හමුදා භට පුහුණුව ඉන් කිහිපයක් ලෙස ජනාධිපති රාජපක්‍ෂ මැතිතුමා විසින් නම් කරනු ලැබීය.


    “අපට වෛද්‍යවරුන්ගේ විශාල හිඟයක් තිබෙනවා. විශේෂඥ වෛද්‍ය හිඟය ඉතාම බලවත්. එය විසඳා ගැනීමට අපට උදව් කරන්නැ“යි මාලදිවයින් නායකයා ඉල්ලා සිටි විට රාජපක්‍ෂ මැතිතුමා ඊට එකඟත්වය පළ කළේය. මාලදිවයින් හි රැකියාවල නිරත ශ‍්‍රී ලාංකික ශ‍්‍රමිකයනට විශ‍්‍රාම වැටුප් නොගෙවීමේ ගැටලුව ජනාධිපතිතුමා විසින් මතු කරනු ලැබීය. “දැන් ඒ ප‍්‍රශ්නය අවසන්“ අබ්දුල්ලා යමීන් ජනාධිපතිතුමා කීය.


    සාර්ක් සංවිධානය ශක්තිමත් කිරීම සඳහා සාමාජික රටවල් සමග සාකච්ඡා කිරීමට අදහස් කර ඇතැයි පැවසූ මාලදිවයින් ජනාධිපතිතුමා, තම රටට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ සාමාජිකත්වය ලබා ගැනීම සඳහා උදව් කරන්නැයි ශ‍්‍රී ලංකාවෙන් ඉල්ලීමක් කළේය.


    “මාලදිවයින නිදහස දිනා ගෙන ලබන වසරට අවුරුදු 50ක්. ඒ සමග ශ‍්‍රී ලංකා-මාලදිවයින් රාජ්‍ය තාන්ත‍්‍රික සබඳතාවටත් අවුරුදු 50ක් පිරෙනවා“ යයි පැවසූ අබ්දුල්ලා යමීන් ජනාධිපතිතුමා ඊට සහභාගී වන්නැයි ජනාධිපති රාජපක්‍ෂ මැතිතුමාට ඇරයුම් කළේය.


    මාලදිවයින් විදේශ ඇමතිනී දුන්යා මවුමූන් (Dunya Maumoon) මහත්මිය, ආරක්‍ෂක ඇමති කර්නල් (විශ‍්‍රාමික) මොහොමඩ් නසීම් (Mohamed Nazim), ආර්ථික සංවර්ධන ඇමති මොහොමඩ් සයීද් (Mohamed Saeed), සංචාරක ඇමති අහ්මඩ් අදීබ් අබ්දුල් ගෆූර් (Ahmed Adeeb Abdul Gafoor) සහ ආණ්ඩු පක්‍ෂ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක අහ්මඩ් නිහාන් හුසේන් මනික් (Ahmed Nihan Hussain Manik) ඇතුළු ඉහළ පෙළේ නියෝජිත පිරිසක් සාකච්ඡාවට එක් වූ මාලදිවයින් පාර්ශවයට අයත් වූහ.


    විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක, විදේශ අමාත්‍යාංශයේ අධීක්‍ෂණ මන්ත‍්‍රී සජින් ද වාස් ගුණවර්ධන, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන ඒ.එච්.එම්. අස්වර්, උදිත් ලොකුබණ්ඩාර, ලොහාන් රත්වත්තේ, රංජිත් ද සොයිසා සහ තේනුක විදානගමගේ, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග යන මහත්වරුන් ද, විදේශ අමාත්‍යාංශයේ ලේකම් ෂෙනුකා සෙනෙවිරත්න මහත්මිය සහ මාලදිවයින් හි ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් ඩික්සන් දෑල මහතා ද ශ‍්‍රී ලංකා පාර්ශවය නියෝජනය කළහ.

     

    HC/NP_PS&IMU_Pixs Sudath Silva

    Sri Lanka and Maldives Hold Bilateral Discussions 2

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya