සැප්තැම්බර් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාවේ නව ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට සහය ලබාදෙනවා - ඔස්ට්‍රේලියානු අගමැති

    පෙබරවාරි 15, 2017

    ඉන්දීය සාගරයේ ආර්ථික හා මුල්‍ය කේන්ද්‍රස්ථානයක් බවට පත් වීමේ ප්‍රයත්නය සාර්ථක කර ගැනීම උදෙසා ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කරන නව ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට සහය ලබා දීමටත්, දෙරට අතර ආර්ථික, දේශපාලන හා සමාජයීය සබඳතා තව තවත් පුළුල් හා ශක්තිමත් කරලීමේ නව ප්‍රවේශයන් කරා එළැඹිමටත් ක්‍රියා කරන බව ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් (Hon. Malcolm Turnbull) මහතා පැවසීය.

    ඔස්ට්‍රේලියාවේ කැන්බරා නුවර පාර්ලිමේන්තු මන්දිරයේ දී ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන දූත පිරිස අද (15) හමුවෙමින් ටර්න්බුල් මහතා අවධාරණය කළේ දෙරට අතර වසර 70 ක රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සැමරීම නිමිති කොට ගෙන වික්‍රමසිංහ මහතා ගේ ඔස්ට්‍රේලියානු නිල සංචාරය සංවිධානය කරලීමට ලැබීම සතුටට කරුණක් බවයි.

     

    1954 වසරේ ශ්‍රීමත් ජෝන් කොතලාවල මහතා ඔස්ට්‍රේලියාවේ නිල සංචාරයක යෙදීමෙන් පසු ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයෙකු ඔස්ට්‍රේලියාවේ ද්විපාර්ශවික සාකච්ඡා සඳහා සහභාගී වූ ඓතිහාසික අවස්ථාව වෙනුවෙන් පාර්ලිමේන්තු මන්දිරයේ දී අභිමානවත් පිළිගැනීමේ උළෙලක් ද සංවිධානය කර තිබිණි.


    ආචාර වෙඩි මුර 19 ක් පැවැත්වීමෙන් පසු, ශ්‍රී ලංකා ජාතික ගීය වාදනය කෙරුණු අතර, වික්‍රමසිංහ මහතා වෙනුවෙන් ආචාර පෙළපාලියක් ද පැවැත්විණි. වික්‍රමසිංහ මහතා ආචාර පෙළපාලිය හා තූර්ය වාදක කණ්ඩායම නිරීක්‍ෂණයෙන් අනතුරුව ඔස්ට්‍රේලියානු අගමැතිවරයා විසින් සෙනෙට් සභාවේ සභාපති ස්ටීවන් පැරී (Hon. Stephen Parry), පාර්ලිමේන්තුවේ කතානායක ටෝනි ස්මිත් (Hon. Tony Smith), රාජ්‍ය තාන්ත්‍රිකයන්ගේ සභාපති සහ පැපුවා නිව්ගිනියා මහකොමසාරිස් ආචාර්ය කැත්රින් ලෙපානි (Dr. Katherine Lepani), විපක්‍ෂ නායක බිල් ෂෝර්ට්න් (Hon. Bill Shorten), ආරක්‍ෂක හමුදා ප්‍රධානී එයාර් චීෆ් මාෂල් මාර්ක් බින්ස්කින් (ACM Mark Binskin) ප්‍රධාන ඔස්ට්‍රේලියානු නියෝජිත පිරිස වික්‍රමසිංහ මහතා වෙත හඳුන්වා දෙන ලදී.

     

    වික්‍රමසිංහ මහතා විසින් ශ්‍රී ලංකා දූත පිරිස ටර්න්බුල් මහතා වෙත හඳුන්වා දෙනු ලැබූයේ ඉන් පසුවය.

     

    දෙරටේ අග්‍රාමාත්‍යවරුන් විශේෂ පීඨිකාවට ප්‍රවිශ්ඨ වීමෙන් පසු දෙරටේම ජාතික ගී වාදනය කෙරිණි. පසුව පාර්ලිමේන්තු මන්දිරය වෙත දූත පිරිස කැඳවාගෙන යනු ලැබූ අතර, වික්‍රමසිංහ මහතා සහ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය අමුත්තන්ගේ සටහන් පොතෙහි අත්සන් තැබූහ.


    දෙරටේ අග්‍රාමාත්‍යවරුන් අතර නිල සාකච්ඡා ඇරඹුණේ ඉන් අනතුරුවය.

     

    ආර්ථික වර්ධනය කරලීම සහ ජාතික සමගිය හා සංහිදියාව ඇති කරලීම සඳහා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමන් යටතේ ශ්‍රී ලංකාව නව මාවතකට ප්‍රවේශ වී තිබීම සම්බන්ධව අග්‍රාමාත්‍ය ටර්න්බුල් මහතා ප්‍රසාදය පළ කළේය. ශ්‍රී ලංකාවේ පැරණි මිතුරෙකු වශයෙන් සැම විටම ශ්‍රී ලංකාවට සහය ලබා දීමට මෙන්ම ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටීමට ක්‍රියා කරන බව ද ඔහු අවධාරණය කළේය.

     

    මෙහිදී ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ මහතා පැවසූයේ ඔස්ට්‍රේලියානු - ශ්‍රී ලංකා මිත්‍රත්වය වසර 100 කට අධික කාලයක් තිස්සේ පැවත එන බවය. ශ්‍රී ලංකාව අසීරු තත්වයන්ට මුහුණ දුන් අවස්ථාවන්හි පවා ඔස්ට්‍රේලියාව ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටීම සම්බන්ධයෙන් වික්‍රමසිංහ මහතා විශේෂ ස්තුතිය පළ කළේය. දෙවන ලෝක යුධ සමයේදීත්, පශ්චාත් යුධ සමයේත් දෙරට අතර පැවති සම්බන්ධතා සිහිපත් කළ වික්‍රමසිංහ මහතා කොළඹ ක්‍රමය වැඩ සැලැස්ම ක්‍රියාවට නැංවීමත් සමගම දෙරටේ සම්බන්ධතාවන් නව මානයකට එසැවුණු බව පෙන්වා දුන්නේය.

     

    මිනිස් ජාවාරම් වැළැක්වීම හා නිති විරෝධී සංක්‍රමණයන්ට වැට බැඳීම උදෙසා ශ්‍රී ලංකාව නිරතුරුවම ලබා දෙන සහයෝගය ටර්න්බුල් මහතාගේ පැසසීමට ලක්විය.

     

    කලාපීය වෙළඳ කටයුතු ඉහළ නැංවීම සහ පොදු රාජ්‍ය මණ්ඩලයීය කෝට්ටේ ප්‍රකාශනයට අනුව වෙළඳ සහ ආයෝජන අවස්ථා පුළුල් කරලීමේ හැකියාව පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කෙරිණි.

     

    ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර, කෘෂි ව්‍යාපාර, කැණීම්, බල ශක්ති, සංචාරක ආදී ක්ෂේත්‍රයන් තුළ ආයෝජන අවස්ථා වැඩි දියුණු කරලීම සම්බන්ධවත්, ඒ ඒ ‍ක්ෂේත්‍රයන්හි ගුණාත්මක භාවය හා තාක්‍ෂණික ශක්‍යතාවන් වැඩි දියුණු කිරීමේ අවස්ථාවන් සම්බන්ධවත් අදහස් හුවමාරු කර ගැනිණි.


    විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ නව කඩිනම් සංවර්ධන ක්‍රියාවලියට අවශ්‍ය බල ශක්ති උත්පාදනයේ දී ඔස්ට්‍රේලියාව වෙතින් ලබා ගත හැකි සහය සම්බන්ධව ද කරුණු පැහැදිලි කෙරිණි.

     

    අධ්‍යාපන හා ආරක්‍ෂක ක්ෂේත්‍රයන් තුළ දැනට පවත්වාගෙන යනු ලබන ද්විපාර්ශවික සහයෝගීතා වැඩපිළිවෙල අනාගතයේ දී මීටත් වඩා පුළුල් කළ යුතු බව දෙපාර්ශවයේම අදහස විය. විශේෂයෙන්ම සමුද්‍ර ආරක්‍ෂාව සම්බන්ධව ගත යුතු ඒකාබද්ධ ක්‍රියාමාර්ගයන් පිළිබඳව සැලකිල්ල යොමු විණි.


    ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් වෙතින්, ඔස්ට්‍රේලියානු ආර්ථිකය හා වෙනත් ක්ෂේත්‍ර නගා සිටුවීම සඳහා ලැබෙන දායකත්වය අගය කළ ටර්න්බුල් මහතා, ඔවුන්ගෙන් ශ්‍රී ලංකාවට ලබා ගත හැකි සේවාවන් සම්බන්ධව ද අවධානය යොමු කළ යුතු බව පැවසීය.

     

    ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ අයවැය කාර්යාංශයක් ස්ථාපිත කරලීමේ වැදගත්කම මෙහිදී අවධාරණය කෙරුණු අතර, ඒ සඳහා සහය ලබා දීමට ඔස්ට්‍රේලියාව සූදානම් බව ටර්න්බුල් මහතා පැවසීය.

     

    ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් සඳහා සහභාගී වන මෙන් වික්‍රමසිංහ මහතා ඔස්ට්‍රේලියානු අගමැති ටර්න්බුල් මහතාට ආරාධනා කළේය. දෙපාර්ශවයටම ගැලපෙන අවකාශයක තමන්ට ඒ සඳහා සහභාගීවීමට හැකි බව ටර්න්බුල් මහතා පැවසීය.

     

    ඔස්ට්‍රේලියානු පාර්ශවය නියෝජනය කරමින් අග්‍රාමාත්‍ය දෙපාර්තමේන්තුවේ සහ කැබිනට් මණ්ඩල ලේකම් මාර්ටින් පාර්කින්සන්, ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහකොමසාරිස් බ්‍රේ හචෙසන් ඇතුළු නිලධාරීහු මේ අවස්ථාවට සහභාගී වූ අතර, වාරිමාර්ග සහ ජල සම්පත් කළමනාකරණ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා, වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග, විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් සෝමසුන්දරම් ස්කන්ධකුමාර්, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි, ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා නියෝජ්‍ය මහකොමසාරිස් හිමාලී අරුණතිලක,  අග්‍රාමාත්‍ය විශේෂ සහායිකා සැන්ඩ්‍රා පෙරේරා යන මහත්ම මහත්මීහු ශ්‍රී ලංකා පාර්ශවය නියෝජනය කරමින් මේ සාකච්ඡාවට එක්වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya