සැප්තැම්බර් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඔස්ට්‍රේලියා සරසවියකින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට සම්මාන ආචාර්ය උපාධියක්

    පෙබරවාරි 14, 2017

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු, ඇමතිවරයෙකු හා අගමැතිවරයෙකු වශයෙන් සිදු කළ දීර්ඝ කාලීන සේවාව සහ ආර්ථික, අධ්‍යාපන හා මානව හිමිකම් ක්ෂේත්‍රයන් ඉහළට ඔසවා තැබීමට සිදු කළ මෙහෙවර අගයමින්, ඔස්ට්‍රේලියාවේ ඩීකින් විශ්වවිද්‍යාලය (Deakin University) විසින් ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත සම්මාන ආචාර්ය උපාධියක් පිරිනැමිණි.

    14 වන දා ඩීකින් විශ්ව විද්‍යාලයේ ප්‍රධාන ශාලවේ පැවති උපාධි ප්‍රදානෝත්සවයේ දී එහි කුලපති මහාචාර්ය ජෝන් ස්ටැන්හෝප් (Prof. John Stanhope) මහතා විසින් සම්මාන ආචාර්ය උපාධිය පිරිනැමුණු අතර, ඒ සඳහා හේතු පාඨ දක්වමින් විශ්ව විද්‍යාලයේ උපකුලපතිනි මහාචාර්ය ජේන් ඩෙන් හොලැන්ඩර් (Prof. Jane Den Hollander) මහත්මිය පැවසූයේ ශ්‍රී ලංකාවේ නාමය අන්තර් ජාතික වශයෙන් ඔසවා තැබීම, කොටි ත්‍රස්තවාදීන් සාකච්ඡා මේසයට කැඳවා ගැනීමට උපායශීලී වීම, ජාත්‍යන්තර ප්‍රජාව වෙතින් මුල්‍ය සහය ලබා ගැනීමට පදනම සැකසීම, යහ පාලනය ස්ථාපිත කරලීමට කැපවීම ආදී කරුණු ගණනාවක් ද මෙහිදී සැලකිල්ලට ගත් බවය.

    සම්මාන ආචාර්ය උපාධිය පිරිනැමීමෙන් අනතුරුව ඩීකින් විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ උපාධීලාභීන් ප්‍රමුඛ උත්සව සභාව අමතමින් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ ජීවිත ගමනේ දී උත්සාහ කළ යුත්තේ නොවැටී සිටීමට නොව, වැටෙන වැටෙන හැම විටෙකම නැවත නැගී සිටීමේ ශක්තිය ජනිත කර ගැනීම බවය.

    ලෝකය සීග්‍රයෙන් වෙනස් වන බවත්, ඒ වෙනස් වීමට අනුව අපේ අනාගත ගමන් මාර්ගය ද වෙනස් විය යුතු බවත් පෙන්වා දුන් වික්‍රමසිංහ මහතා, ඒ වෙනස් වන ලෝකයේ උදාවන අවස්ථාවන් ග්‍රහණය කර ගැනීම සාර්ථක ජීවිතයක පදනම බව ද පැවසීය.
    මේ සියල්ලෙහි දී මනසෙහි මතුවන සිතුවිලි පාලනය කර ගැනීමේ වැදගත්කම අවධාරණය කරමින්, ධම්ම පදයෙහි එන “මනෝ පුබ්බංගමා ධම්මා” ගාථාව ද ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා උපුටා දැක්වීය.

    උත්සව සභාව අමතමින් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.

     “අද මා වෙත දැක්වූ ගෞරවය පිළිබඳව මා ඔබ සැමට ස්තුතිවන්ත වෙනවා. මම ඒ පිළිබඳ වඩාත් සතුටු වන්නේ ඩිකින් විශ්ව විද්‍යාලය සහ ශ්‍රී ලංකාව අතර විශේෂ සම්බන්ධතා ගණනාවක් ඇති නිසයි. මේ විශ්ව විද්‍යාලයට නම් තැබුණේ ඔස්ට්‍රේලියාවේ හිටපු අග්‍රාමාත්‍ය ඇල්ෆ්‍රඩ් ඩීකින් මහතා සිහිවීම පිණිසයි.

    ඩීකින් මහතා 1893 වසරේ දී ශ්‍රී ලංකාවට පැමිණියා. ඒ, වසර 1000 කට වඩා පැරණි ලාංකේය වාරි තාක්‍ෂණය පිළිබඳව අධ්‍යයනයක නිරත වීමටයි. මේ පිළිබඳව බොහෝ දෙනෙක් කරුණු දන්නේ නෑ. ඒ වගේම ඩීකින් විශ්ව විද්‍යාලයේ නීති පීඨය යටතේ ලංකාවේ වෘත්තීය නීතිවේදින් පුහුණුව ලබනවා. ලාංකේය සිසු සිසුවියන් ගණනාවකුත් මේ විශ්වවිද්‍යාලයේ ඉගැනුම ලබනවා. ඒ අතරින් කීප දෙනෙක් අද උපාධිය ලබා ගන්නවා.
    මමත් මගේ ජීවිතයට ආලෝකය ලබා ගත්තේ විශ්ව විද්‍යාලයෙන්. උපාධියක් ලබා ගැනීම කියන්නේ සීමා මායිම් නැති භූමියක දීර්ඝ මැරතන් තරගයකට පිවිසෙනවා වැනි කාර්යයක්.

    ඔබ අද ඩීකින් විශ්ව විද්‍යාලයේ සිට පිවිසෙන්නේ ජීවිත විශ්ව විද්‍යාලයටයි. ඒ විශ්ව විද්‍යාලයේ දී මුලින්ම අනුගාමිකයෙක් වෙන්න. නිහතමානී වෙන්න. අනුන් ගෙන් ඉගෙන ගන්න.

    අප ජය ගන්නා ඉලක්කය බොහෝ විට අපේ අපේක්‍ෂාවන්ට වඩා වෙනස් විය හැකියි. මෙය මටත්, මගේ සගයන් බොහෝ දෙනෙකුටත් පොදු කරුණක්.

    මේ 19 වන සියවස නෙවෙයි. ඒ යුගයේ අවස්ථාවන් සීමා වී තිබුණා. නමුත් දැන් නව තාක්‍ෂණය නිසා අද අවස්ථාවන් අලූතින් නිර්මාණය වී තියෙනවා. රැකියා අවස්ථාවන් වෙනස් වී පුළුල් වී තියෙනවා.

    අප නීතිය ඉගෙන ගන්නා කාලයේ මානව හිමිකම්, බුද්ධිමය දේපල, සමුද්‍ර නීතිය වැනි දේ ගැන සඳහනක් වත් තිබුණේ නෑ. ලෝක වෙළඳ සංවිධානය බිහි වී තිබුණේ නෑ. වෛද්‍ය විද්‍යාව ගත්තත්, හෘද සැත්කම්, ඉන්ද්‍රීය බද්ධ කිරීම් වැනි දෑ ගැන දැන හිටියෙත් නෑ. අපේ කාලයේ කොම්පියුටර කියා දෙයක් තිබුනෙත් නෑ.

    අද ලෝකය වෙනස් වෙලා. ඒ සමගම අපත් වෙනස් වෙලා. ඒ නිසා අවස්ථා ගණනාවක් අලූතෙන් උදා වෙලා. 4 වෙනි කර්මාන්ත විප්ලවය, අන්තර්ජාලය, වෛද්‍ය විද්‍යාවේ නව සොයා ගැනීම්, විද්‍යුත් මුල්‍ය ගනුදෙනු අද අප හමුවේ යථාර්ථයක් වෙලා. මේ වෙනස තවත් ඉදිරියට සිදු වෙනවා. තව තවත් විප්ලවීය වෙනස්වීම් අනාගතයේ අපට දකින්නට පුළුවන්. ඒ නිසාව නව රැකියා අවස්ථා මෙන්ම නව ආයෝජන අවස්ථාවනුත් නිර්මාණය වෙනවා. මේ අවස්ථාවන් ග්‍රහණය කරගැනීමට කිසිවිටෙක පසුබට වෙන්න එපා.
    ජීවිතය ජය ගැනීමට නම්, පරාජයට මුහුණ දීමට ඉගෙන ගන්න. සාර්ථකත්වය හමුවේ මෙන්ම අසාර්ථකත්වය හමුවේත් නොසැලී ඉන්න ඉගෙන ගන්න. පසුබෑම් වලට මුහුණ දෙන්න හැකියාව ලබා ගන්න. නොවැටී සිටීමට නොව වැටෙන වැටෙන හැම විටම නැවත නැගී සිටින්නට පුරුදු වෙන්න.

    අවසාන වශයෙන් ධම්ම පදයේ එන ‘මනො පුබ්බංගමා ධම්මා - මනෝ සෙට්ඨා මනෝමයා’ යන ගාථාව උපුටා දක්වන්නට මා කැමතියි. ඒ අනුව සියල්ලටම පදනම වන්නේ ඔබේ මනසයි. සියලූ ධර්මයන් උපදින්නේ ඔබේ මනස තුළයි. මනස තුළ උපදින සිතුවිලි යහපත් කර ගත හැකි නම්, ඔබේ ජීවිතය වඩාත් යහපත් වේවි. සාර්ථක වේවි.’ යැයි ද වික්‍රමසිංහ මහතා පැවසීය.
    වික්‍රමසිංහ මහතාගේ දේශනයෙන් අනතුරුව උපාධි ප්‍රදානෝත්සවය පැවැත්වුණු අතර, තුන්සියයකට ආසන්න උපාධිලාභීහු උපාධි සහතික ලබා ගත්හ.

    ඩීකින් විශ්ව විද්‍යාලයේ නිති වෘත්තීය කේන්ද්‍රයේ විධායක අධ්‍යක්‍ෂ අතුල පතිනායක මහතා පැවසූයේ මීට පෙර ඩීකින් විශ්ව විද්‍යාලය විසින් මැල්කම් ෆ්‍රෙෂර්, කෙනත් කවුන්ඩා සහ ජුලියා ගිලාඩ් යන අග්‍රාමාත්‍යවරුන් වෙත සම්මාන ආචාර්ය උපාධි පිරිනමා ඇති බවයි.  
    නමුත් ඒ කිසිදු අවස්ථාවක වෙනත් රටක ජාතික ගීතය ගායනා නොකෙරුණු බව පැවසූ පතිනායක මහතා, මේ උත්සවයේ ශ්‍රී ලංකා ජාතික ගීතය ගායනා කිරීම සුවිශේෂයක් බව ද පෙන්වා දුන්නේය. ඩීකින් විශ්ව විද්‍යාල ඉතිහාසයේ විදේශීය රටක ජාතික ගීතයක් ගායනා කෙරුණු මුල්ම අවස්ථාව මෙය බව ද, පතිනායක මහතා පැවසීය.

    උත්සවයෙන් අනතුරුව අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතා කැඳවූ වික්‍රමසිංහ මහතා උපදෙස් දුන්නේ, මේ ගෞරව උපාධි නාමය කිසි විටෙක තමාගේ රාජකාරි හෝ පුද්ගලික කාර්යයන් සඳහා භාවිත නොකළ යුතු බවය.

    මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය, වාරිමාර්ග සහ ජල සම්පත් කළමනාකරණ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා හා එන් පී ලියනගේ ද සොයිසා මහත්මිය, වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා, විදේශ කටයුතු නියෝජය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ඇතුලූව අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් සෝමසුන්දරම් ස්කන්ධකුමාර්, ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහකොමසාරිස් බ්‍රේ හචෙසන්, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි, මෙල්බර්න් නුවර ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් ඩබ්ලිව් ජී එස් ප්‍රසන්න සහ විශේෂ සහායිකා සැන්ඩ්‍රා පෙරේරා යන මහත්ම මහත්මීහු ද මේ අවස්ථාවට එක්වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya