මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාව පිවිසිලා තියෙන්නේ දකුණු ආසියාවේ ආර්ථික සාර්ථකත්වයේ මාවතට

    ජූනි 20, 2014

    ශ්‍රී ලංකාව; දකුණු ආසියාවේ ආර්ථික සාර්ථකත්වයේ මාවතට පිවිස තිබෙන බව මෙරටට පැමිණ සිටින ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති නකාඕ මහතා පවා පවසා ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය සහයෝගීතා පිළිබඳ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය, මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා  පාර්ලිමේන්තුවේදී අද (20) ප්‍රකාශ කළේය.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද පාර්ලිමේන්තුවේදී මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශයේ 2013 වාර්ෂික වාර්තාව පිළිබඳ ව ආණ්ඩු පක්ෂය විසින් ඉදිරිපත් කරන ලද සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව පිළිබඳ විවාදයේ පිළිතුරු කතාව කරමිනි.


    අමුණුගම අමාත්‍යවරයා විවාදය අවසන් කරමින් මෙසේ කරුණු ඉදිරිපත් කළේය. "මේ රටේ ආර්ථිකය ගැන සාරගර්භ විවාදයකට අවශ්‍ය සියලු වාර්තා අද ආණ්ඩුව විවාදයට ඉදිරිපත් කළා. මහ බැංකු වාර්තාව, ආසියානු සංවර්ධන බැංකුව, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල, එස්කැප් වැනි හැම ආයතනයක් ම අපේ ආර්ථිකය විග්‍රහ කරලා තියෙනවා. ඒ ලෝකයේ සාමාන්‍යෙයන් පිළිගත් ආර්ථික සිද්ධාන්ත අනුවයි. ඒ වගේ ම විවිධ පිළිගත් ආයතන මහජනතාවට, විශේෂඥයන්ට ආර්ථික විද්‍යාඥයන්ට ඒ තොරතුරු ඉදිරිපත් කරලා තියෙනවා.  ඒ නිසා මේ දත්ත විග්‍රහ කිරීමට හොඳ පදනමක් අපි දමා තිබෙනවා.


    මීට පෙර මේ වගේ වාද විවාද තියෙනකොට මේ තරම් ශාස්ත්‍රීය විමර්ශන තිබුණේ නැහැ. නමුත් අද වෙනසක් තිබෙනවා. අද දත්ත අනුව විවාදයට එළැඹෙන්න අවස්ථාව තියෙනවා. මේක අලුත් තත්ත්වයක්. ඉස්සර මේ වගේ වාර්තා පිළිබඳ ව වෙනම විවාද තියන්නේ නැහැ. අපි කැමතියි අපි ආර්ථිකය ගැන මේ ගරු සභාවේ විමර්ශනයක් කිරීම ගැන.


    පහුගිය දවස්වල ආසියානු සංවර්ධන බැංකුවේ මූලිකයා, එහි සභාපති නකාඕ මහතා ලංකාවට ආවා. දේශීය මෙන් ම අන්තර්ජාතික පර්යේෂණ හා විග්‍රහයන් පිළිබඳ  දත්ත සියල්ල අරගෙන ඔහු ලංකාවට ආවා. අපේ මූල්‍ය හා පර්යේෂණ ආයතනයේ දේශනයක් කරන්න අපි ආරාධනා කළා. එතුමා මීට පෙර ජපානයේ මුදල් ඇමැතිතුමා. මධ්‍යස්ත අපක්ෂපාතී අර්ථ ශාස්ත්‍රඥයෙක් ලෙස මෙරට ආර්ථිකය ගැන විග්‍රහයක් කළා. මොකක්ද එතුමාගේ විමර්ශනය.


    ශ්‍රී ලංකාව පිවිසිලා තියෙන්නේ දකුණු ආසියාවේ ආර්ථික සාර්ථකත්වයේ මාවතට. එතුමා පැවසුවේ එතුමාගේ අදහස අනුව අද වන විට ශ්‍රී ලංකාව සාර්ථකත්වයේ මාවතට පිවිස තිබෙනවා. එතුමා අපේ ආර්ථිකය ගැන කාරණා කිහිපයක් ම අවධාරණය කරා.

    එතුමාගේ විග්‍රහය අනුව ශ්‍රී ලංකාව,


    ප්‍රාථමික මට්ටමේ සිට ද්විතීයක මට්ටම දක්වා පරිවර්තනය වීම ප්‍රගතිය 98%යි. මේ ආසියාවේ ඉහළම සාර්ථකත්වය.


    වැඩිහිටි සාක්ෂරතාව: දැනට සාමාන්‍ය අගය ලෙස සලකන්නේ 71%යි. නමුත් අපේ වැඩිහිටි සාක්ෂරතාව 92%යි.


    ළදරු මරණ අනුපාතිකය දාහකට 70 සිට 8 දක්වා අඩුවෙලා තියෙනවා. එය ජාත්‍යන්තර වාර්තාවක්.


    පිරිසිදු පානීය ජලය 90%කට සපයා තිබෙනවා. මේවා දියුණු රටවල්වල තත්ත්වයන්ට සමකළ හැකියි. ඒ සමාජ සංවර්ධන පැත්ත ගැන. ඒ පැත්ත අයින් කරලා රටටම බලපාන ආර්ථික සංවර්ධන සාධක මොනවාද කියා බලමු.


    2010 සිට 2011 ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය ඉහළට ගිහින් තිබෙනවා. 2013 දී ආර්ථික වර්ධනය 6.3%කට අඩුවුණත් මේ වනවිට එය ඉතා ඉක්මනින් ම 7.4%කට ළඟාවෙලා තියනවා. ඒක තවත් ඉදිරියට යනවා.


    උතුරු නැඟෙනහිර පළාත් ගත්තම එම පළාත්වල ආර්ථික වර්ධන ක්‍රියාකාරකම් ඉතා වේගයෙන් ක්‍රියාත්මක වෙලා තියෙනවා. එම පළාත් දෙකේ දළ දේශීය නිෂ්පාදිතය අනෙක් පළාත්වල වගේ දෙගුණයක්. ඒ වගේ ම සංහිඳියාව හා ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය වේගවත් වෙලා තියෙනවා. කතාවක් තියෙනවා අල්ප දැනුම ඉතාම භයානක දෙයක් බව. ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති නකාඕ මහතා පූර්ණ දැනුමක් ඇති කෙනෙක්. එතුමායි මේ විග්‍රහය කරන්නේ. එතුමා කියනවා ශ්‍රී ලංකාවට හැකි වෙලා තියෙනවා පොදු ප්‍රාග්ධන ආයෝජන හොඳ මට්ටමක පවත්වා ගෙන යාමට. මම විශ්වාස කරනවා රජය ඉතාමත් වැදගත් භූමිකාවක් රඟ දක්වන්න අවශ්‍යයි ආර්ථික සංවර්ධනය සඳහා යටිතල පහසුකම් සංවර්ධනයට. ඉතා හොඳ මට්ටමේ ප්‍රාග්ධන ආයෝජනයක් අවශ්‍ය වෙනවා රටක ආර්ථික සංවර්ධනයට. මේක එක්තරා විදියක ආශ්චර්යයක්. ඒවාට කියන්නේ පුරෝගාමී ආර්ථික කියලා. අද ඉන්දියාව, දකුණු අප්‍රිකාව, බ්‍රසීලය වැනි රටවල ආර්ථික වර්ධනය අඩුවෙලා. නමුත් ශ්‍රී ලංකාව, ඉන්දුනීසියාව, වියට්නාමය වගේ රටවල් ඉදිරියට එමින් සිටිනවා.


    මේ සුභ පණිවිඩයයි ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති නකාඕ මහතා ගෙනහැර දැක්වූවේ. හැමකෙනාටම කල්පනා කිරීමට අවශ්‍ය දේ එතුමා මේ දේශනයෙන් දීලා තිබෙනවා. වසර පහකට පෙර යුද්ධය ජයගත් රටක් මෙවැනි තත්ත්වයක් අත්කර ගැනීම ගැන එතුමා ප්‍රශංසා කළා. අපි යන පාර මුළු ජාත්‍යන්තරයම ප්‍රශංසාවට ලක් කරනවා"යැයි අමුණුගම මහතා පැවසීය.


    HC/NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya