නොවැම්බර් 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනතාව තැබූ විශ්වාසය කඩවීමට කිසිසේත් ඉඩ නොතබමි - ජනපති

    පෙබරවාරි 02, 2017

    නව රජය බලයට පත් කර ගනිමින් මේ රටේ ජනතාව තැබූ විශ්වාසය කඩවීමට කිසිසේත් ඉඩ නොතබන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි.

    කුමන දේශපාලන මතයක් දැරුවද රජයේ වැඩපිළිවෙළට සහය දැක්වීම සියලු දේශපාලන පක්ෂවල වගකීම බව ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ ඊයේ (01) පස්වරුවේ එරාවුර් අලිහාර් කි‍්‍රඩාංගණයේ පැවති ජන හමුව අමතමිනි.

     

    බලයේ සිටිමින් රාජ්‍ය වත්කම්, රාජ්‍ය දේපළ සහ භාණ්ඩාගාරය පුද්ගලිකව පරිහරණය කළ උදවිය උත්සාහ ගන්නේ නැවත බලයට පැමිණ එම වරප‍්‍රසාද දිනා ගැනීමට බව පැවසු ජනාධිපතිතුමා වසර 05 කින් පසු එන මැතිවරණයකදී ජනතා කැමැත්තෙන් මිස ආණ්ඩු වෙනස් කිරීමට කිසිවෙකුට නොහැකි බව ද කියා සිටියේය.

     

    වත්මන් රජය වසර ගණනක් ඉක්ම ගිය රජයක් නොව තවම වසර දෙකක් ගතවූ නව රජයක් බව පැවසු ජනාධිපතිතුමා අලුත් ආණ්ඩුවක් ලෙස වැඩකරගෙන යාමට කාලය පැවතියද රටත්, ජනතාවත් වෙනුවෙන් අද ඉටුකළයුතු වගකීම් අදම ඉටු කරන බව ද ප‍්‍රකාශ කළේය.

     

    ශක්තිමත් රජයක් ලෙස ඉදිරියට යමින් සංවර්ධනය වූ රටක් ලෙස රට ගොඩනගන බව ප‍්‍රකාශ කළ ජනාධිපතිතුමා තමා ජනාධිපතිවරයා ලෙස දුප්පත් මිනිසුන්ගේ හඬට ඇහුම්කම් දීමට සෑමවිටම සුදානම් බව ද කියා සිටියේය.

     

    රටේ ජනතාව නව රජයක් බලයට පත් කර ගත්තේ පැවති රජය සිදුකළ ආකාරයේ දූෂණ වංචා සිදුකරමින් වැරදි කිරීමට නොවන බව ද මෙහිදී අවධාරණය කළ ජනාධිපතිතුමා පැවති රජයේ මෙන්ම වත්මන් රජයේ ද එවන් කි‍්‍රයාවන් පිළිබඳ ජනතා මතය අනුව යම් යම් තීන්දු තීරණවලට එළැඹීමට තමාට ඉදිරියේදී සිදුවන බව ද කියා සිටියේය.

     

    තිරසර යුගයක තෙවසර ඇරඹූම නැගෙනහිර පළාත් ජන හමුව නමින් මෙම ජන හමුව සංවිධානය කර තිබූ අතර නැගෙනහිර පළාතේ ජනතාව වෙත නිවාස ණය ප‍්‍රදානය, නිවාස හිමිකම් ලබාදීම ඇතුළු වැඩසටහන් රැසක් ද කි‍්‍රයාවට නැංවිනි.

     

    තිරසර යුගයක තෙවසර ඇරඹුම ජාතික වැඩසටහන යටතේ පැළ බෙදාදිමක් ද සිදු කෙරුණු අතර එය සංකේතවත් කරමින් ජනාධිපතිතුමා අතින් අඹ පැළයක් රෝපණය කෙරිණි.

     

    විපක්ෂනායක ආර් සම්බන්ධන්, අමාත්‍යවරුන් වන රාජිත සේනාරත්න, දයා ගමගේ, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ඔස්ටින් ප‍්‍රනාන්දු, ප‍්‍රධාන අමාත්‍ය නසීර් අහමඩ් යන මහත්වරුන් ඇතුළු නැගෙනහිර පළාත් මහජන නියෝජිතයින් රැසක් ද පළාතේ ජනතාව විශාල පිරිසක් ද මෙම ජන හමුවට එක්ව සිටියහ.

     

    මේ අතර අද පෙරවරුවේ නැගෙනහිර පළාතට ගිය ජනාධිපතිතුමා එහි ප‍්‍රදේශ කිහිපයක නිරික්ෂණ චාරිකාවක නිරතවෙමින් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව සොයා බැලීය.

     

    පළමුව ජනාධිපතිතුමා ගියේ සමන්තුරේ මුස්ලිම් මහා විද්‍යාලය වෙතයි. අනපේක්ෂිත අයුරින් තම පාසල වෙත පැමිණි ජනාධිපතිතුමා එම දරුවන් විසින් මහත් සෙනෙහසින් යුතුව පිළිගත් අතර දරුවන් සමග සුහද කථා බහක නිරත වූ ජනාධිපතිතුමා පාසලේ අඩු පාඩු පිළිබඳව ද විමසා බැලීය.

     

    ඉන් අනතුරුව කල්මුණේ මහමුද් කාන්තා විද්‍යාලය වෙත ගිය ජනාධිපතිතුමා එහි දරුවන්ගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව ද විමසීය.

     

    නව ශ‍්‍රවණාගාරයක් ලබා ගැනීම, කි‍්‍රඩාංගණය ඉදිකර ගැනීම, මෙන්ම පරිගණක පහසුකම් ලබා ගැනීම පිළිබඳව දරුවන් ජනාධිපතිතුමා දැනුවත් කළ අතර ඒ සඳහා අවශ්‍ය පියවර ගැනීමට අධ්‍යාපන අමාත්‍යවරයා වෙත උපදෙස් ලබාදෙන බව ජනාධිපතිතුමා සඳහන් කළේය.

     

    අනතුරුව අක්කරෙයිපත්තුව මූලික රෝහලේද නිරික්ෂණ චාරිකාවක නිරත වූ ජනාධිපතිතුමා එහි අඩු පාඩු සොයා බලමින් රෝහල් කාර්ය මණ්ඩලය සමග සුහද කථා බහක නිරත විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya